දහඅට වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් රටට ආඥාදායකයකු ඒකාධිපතියකු බිහිවන තත්ත්වයක් තිබියදී එය වැළැක්වීමට ගෙන ආ 19 වැනි සංශෝධනයෙන් සිදුවූයේ රට දේශපාලන වශයෙන් අස්ථාවර වීම බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබිණි. මේ සමඟම 18, 19 ව්‍යවස්ථා සංශෝධන දෙකම අවලංගු කළ යුතු යැයිද ජනපති පවසයි. මේ ගැන පළවූ මාධ්‍ය වාර්තා හේතුවෙන් පසුගිය සතියේ අලුත් දේශපාලන සංවාදයක් නිර්මාණය විය. ඒ අනුව පිළිගත් දේශපාලන පක්ෂ කිහිපයකින් සහ මේ කරැණ අරභයා අදහස් දක්වන ප්‍රසිද්ධ චරිත කිහිපයකින් අපි මත විමසුමක් කළෙමු.
19 විකාරය නිසා රට අස්ථාවර වුණා
අනුර ප්‍රියදර්ශන යාපා ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී
මේ ව්‍යවස්ථාවේ තිබෙන මූලික අර්ථයක් තමා විධායක ජනාධිපති ක්‍රමය. ^78 ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ක්‍රමය ගෙන ඒමත් එතෙක් කල් කොට්ඨාස ක්‍රමයට පැවැති මැතිවරණ ක්‍රමය සමානුපාතික ක්‍රමයට ගෙන ඒමත් තමයි මූලික වශයෙන් සිදුවූයේ. මෙතැනදී විධායක ජනාධිපතිවරයා ශක්තිමත් වුණා පමණක් නොව පාර්ලිමේන්තුව බහුතර බලයක් නොලබන තැනක් වුණා. එමනිසා පක්ෂ එකතු වුණ සන්ධාන හරහා පාර්ලිමේන්තුව පාලනය වෙන්න පටන් ගත්තා.
මෙවැනි ව්‍යවස්ථාවක් වෙනස් කිරීම සංශෝධන මගින් කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නෑ කරනවා නම් මුළු දේහයම වෙනස් කරන්න ඕනෑ. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන ගේනකොට ඊට කොන්දේසියක් වශයෙන් ඉදිරිපත් කරලා තිබුණේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරු තේරීමේ ක්‍රමය ආසන ක්‍රමයට සහ මිශ්‍ර ක්‍රමයකට ගෙන එනවා කියන කාරණය. එක්සත් ජාතික පක්ෂය ඒක පොරොන්දුවක් හැටියට දුන්නා. නමුත් ඒ පොරොන්දුව ඉටුකළේ නෑ. ඒ නිසා රට පාලනය එක්තරා අස්ථාවර භාවයක ඇද වැටුණා. දැන් තිබෙන තත්ත්වය අනුව රට පාලනය කරන්නේ කවුද කියලා කාටවත් තේරුම් ගන්න බෑ.ඒ නිසා පැලැස්තර දැමීමෙන් මේ කටයුතු කරන්න බෑ කියලා අවබෝධ කරගත යුතුයි. එක්කෝ අපි විධායක ජනාධිපති ක්‍රමය තියාගන්න ඕනෑ. මම නම් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතුයි කියලා විශ්වාස කරන කෙනෙක්. මම ඒකට කැමතියි. නොඑසේනම් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුව තුළ ජයග්‍රහණය කරන පක්ෂයට බහුතර බලයක් ලැබෙන විදිහට මැතිවරණ ක්‍රමය වෙනස් කරන්න. මේ දෙක නොකර කරන හැම දෙයකින්ම අතුරු ප්‍රතිඵල ඇති වෙනවා.
මේ ඔක්කොම එක එක කාලවල එක් එක් පුද්ගලයන්ගේ මනසේ ඇතිවෙන මනඃකල්පිත අදහස්වලින් නිර්මාණය වෙච්ච දේවල්. උදාහරණයක් විදිහට ලංකාවේ ස්වාධීන කොමිෂන් සභාවල පැවැත්ම ගත හැකියි. අද එය අසාර්ථක තත්ත්වයකට පත්වෙලා තිබෙනවා. පොලිස්පතිවරයා පත් කරනවා. ඉවත්කරන කෙනාව කවුරුත් දන්නේ නෑ. ඔහු දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්නේ. ඉවත් කරන විදිහ පැහැදිලි නෑ කියන්නේ මුළුමනින්ම මේ සංශෝධන ගැටලු සහගතයි.
19 ගේන්න ඕනෑ කියලා ජනාධිපතිවරයා තද ස්ථාවරයක හිටියේ. විධායක බලය සම්පූර්ණයෙන්ම ඉවත් කරන්න ඕනෑ කියලා තමා එතුමා කිව්වේ. නමුත් ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වා ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වන්න ඕනෑ කියලා. ඒ නිසා ජනමත විචාරණයක් අනවශ්‍ය කොටස් ටිකයි සංශෝධන වුණේ. ඉතින් මේක හරිම විකාරයක් දැන් මෙය නතර කළ යුතුයි. රටේ ජනාධිපතිවරයා බලයට පත්වෙලා මගේ බලය ඉවත් කරන්න ඕනා කියන්න රටක් ලෝකේ නෑ. ඒක වැරදියි. මේ ඇතිවෙලා තිබෙන විකෘති නිසා සම්පූර්ණයෙන්ම රට ආපස්සට ගිහිල්ලා තියෙන්නේ. අද රට පාලනය කරන්න තුන්දෙනෙක් ඉන්නවා. ජනාධිපතිවරයා අගමැතිවරයා වගේම කතානායකවරයා තව පැත්තකින් ඉස්සරහට ඇවිල්ලා රට පාලනය කරන්න උත්සාහ දරනවා.
18ට අත් උස්සලා 19 එපා කීම ජනවරමට පයින් ගැසීමක්
නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී
මේ රටේ ජනතාව ලක්ෂ හැට දෙකක් 2015 ජනාධිපතිවරණයේදී ඡන්දය දුන්නේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ඇතුළත් නව ආණ්ඩුව ක්‍රමයක් මේ රටට ගෙන ඒමට. එහිදී ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය අතරේදී තමයි 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන සම්මත වුණේ. ජනාධිපති ධූරය අහෝසි කරන්න යම් කාලයක් ගතවෙනවා. එම සංක්‍රාන්තිය කාලය තුළදී ජනාධිපතිවරයාගේ බලතල යම් ප්‍රමාණයකට අඩු කරන්න තමයි මේ සංශෝධන හැදුවේ. මේ සංශෝධන අහෝසි කරන්න ඕනෑ කියලා ජනාධිපතිවරයා දැන් කියනවානම් ඒකෙන් පෙන්නුම් කරන්නේ ඔහු තමන්ට ලැබුණු ජනවරම කොතරම්දුරට නොසලකා හරිනවාද කියන එක.
මේ ප්‍රකාශ හරහා හෑල්ලු වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන කියන පුද්ගලයා පමණක් නොවෙයි. ඒ වෙනුවෙන් ඡන්දේ දුන්න ලක්ෂ හැට දෙකක ජනතාවත් මේ හරහා නිග්‍රහයට පත්වෙනවා. ජනාධිපතිවරයාට ඉදිරි මාස තුන හතර ඇතුළතදී තමන්ට භාර දීපු රාජකාරි හරියට ගන්න බැරිනම් තමන් ඡන්දේ දීපු ජනතාවට අපහස නොවෙන විදිහේ ප්‍රකාශ නොකර ඉන්නවා නම් හොඳයි කියලයි මම නම් හිතන්නේ. මේ ප්‍රකාශ එතරම් බරපතළ මුග්ධ ප්‍රකාශයක්.
මෛත්‍රීපාල සිරිසේන වගේ ජනාධිපති වෙන්න හීනෙන්වත් නොහිතපු කෙනෙකුට ජනාධිපති වෙන්න අවස්ථාව සැකසුණේ ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන ජනතාව නිසයි. ඔය මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඉන්න කාලේ 18 වැනි සංශෝධනයට අත් දෙකම උස්සපු කෙනෙක්. ඒ සියල්ල අමතක කරලා ජනතාව ඔහුව ජනාධිපති පුටුවේ වාඩි කෙරෙව්වා. නමුත් දැන් ඔහු තමන් කවුද කියලා ඕනවටත් වඩා පෙන්නුම් කරමින් යනවා. අපිට පේනවා චේන් සෝ තහනම සහ 19 ව්‍යවස්ථා සංශෝධන ඉවත් කිරීම අතර වෙනසක් ඔහුට තේරෙන්නේ නෑ කියලා.
20 වැනි සංශෝධන පිළිබඳ ජනාධිපතිවරයාගේ පැත්තෙන් තමයි අදහස් මතුවුණේ. එතැනදී කතා කළේ අලුත් මැතිවරණ ක්‍රමයක් පිළිබඳව. ඉතින් පළාත් පාලන මැතිවරණයට අලුත් මැතිවරණ ක්‍රමයක් හඳුන්වලා දුන්නා. ඒත් අලුත් ක්‍රමය අනුව පළාත් සභා ඡන්ද නොතියා ඉන්නේ කවුද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අපිට තිබුණේ ඊළඟ පියවරට ගිහිල්ලා අලුත් ඡන්ද ක්‍රමයක් හදලා පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන්න. ඒ සියල්ලට අකුල් හෙළලා දැන් විසිවෙනි සංශෝධනක් ගැන කතාකරලා වැඩක් නෑ. මේ ජනාධිපතිවරයාට බලය දුන්නේ විධායක ක්‍රමය අහෝසි කරලා පාර්ලිමේන්තුවට බලය පවරන අලුත් ඡන්ද ක්‍රමයක් හදලා මේ රට ප්‍රජාතන්ත්‍රවාදීව වෙනස් කරන්න. ඒවා නොකර දැන් බොරැවට කෑගහලා වැඩක් නෑ.
මේක ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නොවේ. පුද්ගලයාගේ ප්‍රශ්නයක්
අජිත් පී. පෙරේරා බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය ඇමැති
නටන්න බැරි මිනිහාට පොළොව ඇදයි කියන්නේ ඔය වගේ ප්‍රකාශවලට තමයි. 18 වැනි සංශෝධන නරකයි නපුරැයි අපි ඒක ඉවත් කළා. ඒ වගේම 19 වැනි ව්‍යවස්ථා සංශෝධන මගින් අධිකරණ ව්‍යවස්ථාදායකය විධායක කියන ආයතන තුනට පුරවැසියාට තිබෙන බලය වැඩිකරලා එක ආයතනයක් හිතුවක්කාරී ලෙස රට පාලනය කිරීම වැළැක්වූවා. අධිකරණයේ ස්වාධීනත්වය ඇතිවුණා. ව්‍යවස්ථාදායකය ශක්තිමත් වුණා. විධායකය මත සංවරණ සහ තුලන හඳුන්වා දුන්නා. මේවා ඉතා යහපත් ප්‍රවණතා. අපි අවස්ථා ගණනාවකදී ඒවාහි වැදගත්කම දුටුවා.
රටේ ව්‍යවස්ථාව අවබෝධ කොට නොගෙන වරදවා අර්ථ ගන්වා ගනිමින් කටයුතු කරන්න යාම තුළින් ලජ්ජාවට පත්වුණ අය තමයි මේ වගේ අදහස් දක්වන්නේ. ඒකාධිපතිත්වයක් ඇති කරන්න 18 වැනි සංශෝධන අරගෙන ආපු අය තමයි දැන් 19 ට විරුද්ධව හඬ නගන්නේ. එම නිසා 18ත් 19ත් අවශ්‍ය නෑ කියන මේ කතාව ප්‍රායෝගිකවත් වැරදියි. සදාචාරය සම්මතයන්ට අනූව බැලුවත් වැරදියි. නීතිය අනුව බැලුවමත් වැරදියි. අද පුරවැසියා ශක්තිමත්. පහුගිය මාස කිහිපය ඇතුළේ සිදුවුණ වැරැදි ව්‍යවස්ථාවේ වැරැදි නෙවෙයි. බෝම්බ පිපිරුවේ ව්‍යවස්ථාවේ ප්‍රශ්න නිසා නෙවෙයි. ලැබී තිබූ තොරතුරු බුද්ධිමය තොරතුරු මතට යා කිරීමට අවශ්‍ය නියෝගයන් බලය ඇති බලධාරීන් නොදීම. බෝම්බ පිපිරැවේ පාලකයා තමන්ට ඇති බලය නිසිලෙස පාවිච්චි නොකරපු නිසා. පාලකයන්නේ අඩුපාඩුකම් වහගන්න ජනතා විජයග්‍රහණ නැවත පාවා දෙන්න බෑ. 19 වැනි සංශෝධනයෙන් නම් දේශපාලන අස්ථාවරභාවයක් නිර්මාණය වුණේ නෑ. දේශපාලන අස්ථාවරභාවක් ඇතිවෙලා තියෙන්නේ යම් ප්‍රතිපත්තියක් මත බලයට පත්වෙලා තිබෙන ජනාධිපතිවරයා ඒ ප්‍රතිපත්තියෙන් බැහැරව කටයුතු කිරීම හරහා. මේක ව්‍යවස්ථාවේ ප්‍රශ්නයක් නෙවෙයි පුද්ගලයෙක් සම්බන්ධ ප්‍රශ්නයක්.
19 හොඳ නෑ කියන්නෙ දේශපාලන අසමත් බව නිසයි
රෝහණ හෙට්ටිආරච්චි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන නිසා කිසිම අස්ථාවරත්වයක් ඇතිවෙලා නෑ අපට අනුව නම්. 19න් කිව්වේ ව්‍යවස්ථාදායකයත් විධායකයත් එකතුවෙලා සාකච්ඡාවෙන් සම්මුතියෙන් රට පාලනය කරන්න කියලා. විධායකයට ව්‍යවස්ථාදායකය අභිබවා යන්නත් බෑ. ව්‍යවස්ථාදායකයට විධායකය අභිබවා යන්නත් බෑ. දැන් මේ 19 හොඳ නෑ කියන එක එන්නේ දේශපාලන අසමත්භාවය තුළින්. ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අසමත් වෙනවා එක මේසයකට ඇවිල්ලා රටේ පොදු න්‍යාය පත්‍රයකට වැඩ කරන්න. මොකද ඒ දෙන්නම දේශපාලන පක්ෂවල නායකයෝ. ජනාධිපති වුණාම දේශපාලන අතහරිනවා කියලා කිව්වාට එහෙම අතහැරීමක් අපිට පේන්නේ නෑනේ. ඒ නිසා මේක 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි.
මේ සංශෝධන හරහා මොනවද කරපු දේවල් කියලා බලමුකෝ. තොරතුරු ලබාගැනීමේ අයිතිය තහවුරු කළා. ඒක කොහොමද රාජ්‍ය පාලනයට අයහපත් වෙන්නේ? ජනාධිපතිවරයාගේ බලතල අඩුකළා අවුරුදු හයක කාලය අවුරුදු පහට අඩු කළා. කැමති වාර ගණනක් තරග කරන්න තිබ්බ එක වාර දෙකට සීමා කළා. පාර්ලිමේන්තුව විසුරුවන්න තිබ්බ බලය අවුරුදු හතර හමාරක් යන කල් නැති කළා. ඒ බලය තිබුණා නම් ඔක්තෝබර් 26 වැනිදා ඔහු පාර්ලිමේන්තුව විසුරුවා හරිනවා. බැලූ බැල්මට අපි හැමෝටම පේන්න පුළුවන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා තමයි පාර්ලිමේන්තු විසුරුවා හරින්න බැරි වුණේ, පොලිස්පතිවරයා ඉවත් කරගන්න බැරිවුණේ කියලා. ඇයි බැරිවීම ගැන සංවාදයක් එන්නේ. මේ නායකයෝ දේශපාලන න්‍යාය පත්‍රයකට වැඩ කරන නිසා.
පාස්කු ඉරිදා ප්‍රහාරය වෙලා රට අර්බුදයකට ගියාම කොහොමද මේ රටේ නායකයෝ හැසිරෙන්න ඕනෑ. ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා එක මේසෙකට එන්න ඕනෑ. රට මුහුණදෙන ප්‍රශ්නයට සාමූහිකව විසඳුම් හොයන්න ඕනෑ. මේ එක නායකයෙක්වත් එහෙම කරන්න අසමත් වෙනවනේ. ඔවුන්ට එහෙම කරන්න උවමනාවක් නෑ. මේ අය කල්පනා කරන්නේ ඊළඟ මැතිවරණ ජයග්‍රහණය ගැන.
රටක ජනාධිපති ක්‍රමයක්ද පාර්ලිමේන්තු ක්‍රමයක්ද කියලා ක්‍රියාත්මක වෙන්නේ කියන දේ පිළිබඳ බලද්දී මැතිවරණ ක්‍රමයේ යම් බලපෑමකුත් තිබෙනවා. යම් දේශපාලන පක්ෂයකට පාර්ලිමේන්තු බහුතරය ලබාගැනීමේ හැකියාව තියෙන්න ඕනේ. එහෙම වුණොත් මේ අර්බුදය මෙච්චර බරපතළ වෙන්නේ නෑ. 20 වැනි සංශෝධන එක්ක මේක එකට ගියා නම් යම් සාධනීය තත්ත්වයකට මේක යන්න තිබ්බා. ඒක වුණේ නැති නිසා යම් ගැටලුවක් තිබෙනවා. හැබැයි දේශපාලනඥයෝ අවංක නම් ඔවුන්ගේ න්‍යාය පත්‍රයේ අංක එකට තියෙන්නේ තමන්ගේ රට නම් පවතින තත්ත්වය යටතේ වුණත් මේක කරගෙන යන්න පුළුවන්කම තිබෙනවා.
තුලන හා සංවරණය තුළින් අපිට ගමනක් යන්න බෑ කියන එකනෙ මේ කියන්නේ. අපිට සාකච්ඡා කරලා තීන්දුවක් ගන්න බෑ කියන එකනේ මේ කියන්නේ. අපි දක්ෂ නෑ හැකියාව නෑ සාකච්ඡාවක් ඇතුළේ තීන්දුවක් ගන්න කියන එක තමා මේ කියන්නේ. ඡන්දේ දෙනකොට මේ ගොල්ලෝ ඇවිල්ලා කිව්වේ මොකක්ද? අපි දෙන්නා එකතුවෙලා මේ රට ගොඩනගනවා කියලා. සැලසුම් හැදුවේ එකට. ඒක ක්‍රියාත්මක කරගන්න බැරිවීම ඡන්දදායකයාගේ වරදක්ද? ඒ නිසා නටන්න බැරි මිනිහාට පොළොව ඇදයි කියනවා වගේ මේකට ව්‍යවස්ථාව ප්‍රශ්නයක් කියලා තමා මේ අය මතුකරන්න හදන්නේ.
දුර්දාන්ත පාලනයකට 19න් පාර හැදුණා
රියර් අද්මිරාල් සරත් වීරසේකර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී
ඔය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරන්න විශාලම බලපෑමක් කළේ ජනාධිපතිතුමා. මන්ත්‍රීවරු රැස් කරලා මේක කොහොම හරි අනුමත කරන්න කියලා කීවේ ජනාධිපතිතුමා. එදා මම ඒකට විරුද්ධ වුණා. අද ඒ විරෝධය පෑම ගැන මම සතුටට පත්වෙනවා.
අද වෙලා තියෙන දේ බලන්න. මේ රජය මොනතරම් දුර්දාන්ත විදිහට රට පාලනය කළත් ජනාධිපතිතුමාට අවුරුදු හතරහමාරක් යන කල් ආණ්ඩුව වෙනස් කරන්න බෑ. අද රටේ නායකයා කවුද කියන්න කවුරුත් දන්නේ නෑ. අගමැතිතුමා ජනාධිපතිතුමාට කියන්නේ නැතිව ජිනීවාවල 30.1 යෝජනාවට සම අනුග්‍රහය දක්වනවා. ඇමෙරිකාව එක්ක ඇක්සා ගිවිසුම සෝෆා ගිවිසුම එම්සීසී ගිවිසුම් අත්සන් කරන්න යනවා. මම හිතන්නේ නෑ ජනාධිපති හෝ කැබිනට් මණ්ඩලය දන්නවා කියලා. විදේශ සමාගම්වලට රට විකුණන්න හදනවා. රට බෙදන්න හදනවා. ත්‍රස්තවාදය නැගිටිනවා. ආර්ථිකය අගාධයට වැටෙනවා. හැබැයි ජනාධිපතිතුමා එන අවුරුද්දේ පෙබරවාරි වෙනකල් උඩ බලාගෙන ඉන්න ඕනා ආණ්ඩු විසුරුවන්න, මේ 19 වැනි සංශෝධන නිසා.
චන්ද්‍රිකා මැතිණිය 2003 රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසුරුවා හැරියා. මොකද කොටි ත්‍රස්තවාදීන් එක්ක ගිවිසුම් ගහලා රට අනතුරුට ලක්කරන කොට. ඒ තීරණය නිවැරදි කියලා ඔප්පු වුණා. මොකද ඊළඟට තිබුණ මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහට අන්ත පරාජයක් අත්වුණා. ජනතාව තමා ප්‍රතික්ෂේප කිරීම කළේ. ඇත්තවශයෙන්ම ජනාධිපති කෙනෙක්ට ඒ වගේ බලයක් තියෙන්න ඕනා. රට ආරක්ෂා කරගන්න.
අද ජනාධිපතිවරයා කියන කිසිදෙයක් කවුරුත් අහන්නේ නෑ. ව්‍යවස්ථාදායක සභාව කියලා එකක් තිබෙනවා සංවේදී තනතුරැවලට සහ කොමිෂන් සභාවලට එතැනින් තමයි පත්වීම් සිද්ධවෙන්නේ. ජනාධිපතිවරයාගේ අනුමැතිය ලොකුවට අදාළ වෙන්නේ නෑ. ඒ හරහාත් අර්බුදය නිර්මාණය වෙලා තිබෙනවා. ජනාධිපතිට තිබුණ බලය තමයි අගමැතියි විපක්ෂනායකයි බුක්ති විඳින්නේ. ඒ දෙන්නා දිස්ත්‍රික්ක දෙකක් නියෝජනය කරන්නේ. ජනාධිපති සමස්ත රටම නියෝජනය කරන්නේ. රටේම ජනතාව ජනාධිපතිට දුන්න බලය දිස්ත්‍රික්ක දෙකක පුද්ගලයෝ දෙන්නෙක් බුක්තියේ විඳිනවා. මං මේකට විරුද්ධ වෙන්න තිබුණ ප්‍රධානම හේතුව ඒකයි.
දැන් විසිවැනි සංශෝධනය ගේන්න හදන්නේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ විධායක ජනාධිපතිගේ බලය නැති කරන්නනේ. ඒකෙන් වෙන්නේ මේ රට පෙඩරල් වෙන එක. මොකද 13 වැනි සංශෝධන ඉවත් කරන්නේ නැතිව ජනාධිපතිගේ විධායක බලය ඉවත් කිරීමෙන් වෙන්නේ ඒ දේ තමයි.
සටහන - චමිඳු නිසල් ද සිල්වා