දරුවන් මෙලොවට බිහි කරනවා සේම දරුවන් යන්නේ එන්නේ කොහේද? කරන්නේ මොනවාද යන්න සෙවීමත් දෙමාපියන්ගේ පරම වගකීමකි. දරුවන්ද දෙමාපියන්ගේ උපදෙස් අනුශාසනා එපරිද්දෙන්ම පිළිපැදීමද සිදුකළ යුතුව ඇත. එය එසේ වුවත් කරදඬු උස්මහත් වෙනකොට කුඩා කළ සිටම තමන්ට කවාපොවා උස්මහත් කළ දෙමාපියන්ගේ අවවාද අනුශාසනා වහකදුරු වැනි යැයි සිතනා දරුවන්ද මෙලොව නැත්තේ නොවේ. එවැනි දරුවෝ යන්තම් කරදඬු උස්මහත් වෙනකොට වැඩිහිටියන්ගේ අවවාද පසෙකලා තමන්ගේ යැයි ලොවක් ගොඩනගා ගැනීමට උත්සාහ කරති.
තිස්සමහාරාම ප්‍රදේශයෙන් වාර්තා වෙන මේ පුවතද එවැනි එකකි. 25 වංගුව, බෝගහවැව, තණමල්විල පදිංචිව සිටි මුණසිංහගේ වාසනා සඳමාලි 23 හැවිරිදි වියේ පසු වූ තරුණියකි. නිවසේ තිබූ අගහිඟකම් නිසාවෙන්ම සාමාන්‍ය පෙළ විභාගයෙන් සිය අධ්‍යාපනය අවසන් කරන ඇය ගෙදරට බරක් නොවී තමන්ගේ හෝ වියදමට කීයක් හරි හොයාගැනීමේ අටියෙන් කොළඹ ප්‍රදේශයේ රැකියාවකට ගියාය. තණමල්විල හා කොළඹ ප්‍රදේශවල විවිධ රැකියාවල නිරත වූ සඳමාලි ජීවිතයේ කප්පරක් බලාපොරොත්තු ඇතිව විවිධ කටයුතුවල නියැලුණද ඇයට එක් තැනකදී ජීවිතය වැරදුණි. ඒ සිදු වූ වරද කියන්නට කෙනෙක් ඇයට නොවීය. හැඬූ කඳුළින් බෝඩිං කාමරයට වී ජිවිතය පිළිබඳව නොයෙකුත් සිතුවිලි අතරේ පිනුම් ගැසූ ඇය තීරණයක් ගන්නේ සිය ජීවිතය කෙසේ හෝ ගොඩ දමාගන්නටය. ඒ සඳහා ඇය තෝරාගන්නේ සමාජය කිසිසේත් අනුමත නොකරන ක්‍රමවේදයකි. සල්ලි සොයන සරල හා පහසු ක්‍රමයක් තෝරාගත් ඇයට තිස්සමහාරාම, කතරගම මෙන්ම කොළඹ අවට ප්‍රදේශ රැසකද මිතුරෝ ඇති තරමට වූහ. ඇයට නවාතැන් පොළවල්ද නොසෑහෙන්න වූයේ ඇයගේ කවුරුත් වසඟ කරන රූ සපුව නිසාය. නිවැසියන්ට මෙන්ම සිය ඥාති මිත්‍රාදීන්ටද හොර රහසේ ඇය සිය කටයුතු කරගෙන ගියත් එක් තැනකදී ඇයට වැරදිණි. වැරදි මගක් තෝරාගත් ඇයට ජීවිතයේ තරුණ වයසෙන්ම ජීවිතයෙන් සමුගන්නට වෙන්නේ දෛවයේ සරදමකට මෙනි.
පසුගිය 13 වැනි දින දහවල් 12ට පමණ මද්දුම පටබැඳිගේ දිනේෂ් හසන්ත කුමාරට දුරකතන ඇමතුමක් ආයේ සුපුරුදු දුරකතන අංකයක් වූ සඳමාලිගේ දුරකතනයෙනි. දිනේෂ් හසන්ත යනු 39 හැවිරිදි වියේ පසු වන අවිවාහක පුද්ගලයෙකි. ඔහු තිස්සමහාරාම නගරයේ කුලී පදනම මත ලබාගත් ස්ථානයක කාමර කුලියට දෙන ස්ථානයක් පවත්වාගෙන යන්නෙකි. දිනේෂ්ට හදිසියේම සඳමාලිගෙන් දුරකතන ඇමතුමක් ආවේය. “අයියේ මට දවස් දෙකක් තුනක් ඉන්න කාමරයක් ඕනේ. මගේ අතේ සල්ලි නම් නෑ හැබැයි.” යැයි සඳමාලි දුරකතනයෙන් දිනේෂ්ට පැවසුවාය. “හරි හරි නංගි එන්නකෝ එහෙනම්” යැයි දිනේෂ් පිළිතුරු දුන්නේය. එහිදී සඳමාලි දිනේෂ්ගෙන් තවත් ඉල්ලීමක් කළේය. “අයියේ මගේ අතේ සල්ලි නෑ. මම එන ත්‍රිවිල් එකට සල්ලි දෙන්න ඕනේ. ඔයාට ඒ උදව්ව කරන්න පුළුවන් නේද අයියේ” යැයි විමසූ පැනයට පිළිතුරු දුන් දිනේෂ් කීවේ හරි හරි බලමු නංගි කියාය. දිනේෂ්ගෙන් ලද පිළිතුරත් සමගින් අම්බලන්තොටින් ත්‍රීරෝද රථයක් හයර් එකට ගන්නා සඳමාලි පස්වරු 2.10ට පමණ දිනේෂ්ගේ ලැගුම්හලට පැමිණියේය. ඇය පැමිණි ත්‍රීරෝද රථය සඳහා හයර් එක ලෙස රුපියල් 1800ක මුදලක් හෝටල් හිමිකරු වූ දිනේෂ් විසින්ම දෙන්නේ ඇය හා තිබු මිතුරැකම නිසාමය.
හෝටලයට තරමක අපහසුවෙන් ආ සඳමාලිගෙන් “ඇයි නංගී අසනීපෙන් වගේ” යැයි විමසූ පැනයට සඳමාලිගෙන් පිළිතුරු ලෙස ලැබුණේ “අයියේ ඇබෝෂන් එකක් කළා දැන් ටික දවසක් මට මෙහේ ඉන්න ඕනේ” කියාය. ඒ අනුව හෝටලේ හිමිකරු වූ දිනේෂ් ඇයට හෝටලයේ අංක 16 ලෙස සටහන් කර තිබූ කාමරය සකස් කර දුන්නේය. ඒ අනුව 13, 14 හා 15 දින තුනේම හෝටල් කාමරයට වී සිටින සඳමාලි විටින් විට විවිධ අමාරුකම්වලටද ලක් වන්නේ සිදුකළ ගබ්සාව හේතුවෙනි. 15 දින සවස වනවිට ඇයට තරමක් අමාරු විය. එහිදී ඇය හෝටලයේ අයිතිකරු වූ දිනේෂ් ලවා විවිධ බෙහෙත් වර්ග මෙන්ම කෑම වර්ගද ගෙන්වා ගත්තාය. ඒ දුරකතනයෙන් ඇයට ලැබුණු උපදෙස් අනුවය. ඇය තම අමාරුකම් කිසිවකුට නිතර නිතර දුරකතනයෙන් කතා කර කර කීවේය. දුරකතනයෙන් ලැබෙන උපදෙස් අනුව ඇයද විවිධ කෑම වර්ග හා බෙහෙත් වර්ගද ගත්තේය.
අංක 16 කාමරේ සිටි ඇය 16 වැනි දින උදෑසනම හෝටල් හිමිකරු වූ දිනේෂ්ගෙන් උදව්වක් ඉල්ලීය. “අයියේ අද මට නාන්න හොඳයි කියලා ඩොක්ටර් කිව්වා. මට නාගන්න උදව්වක් දෙන්න” කියාය. ඇයගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට දිනේෂ්ට හැකියාවක් තිබුණේ නැත. ඒ මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳමාලිගෙන් දිනේෂ්ටද ශරීර උදව් ලැබී තිබූ නිසාය. සඳමාලිගේ ඉල්ලීම අනුව 16 දින උදෑසන 6.30ට විතර දිනේෂ් සඳමාලිව නෑවීම සිදු කළේය. නාගෙන ආ සඳමාලිට කාමරයට වී ඉන්න කියා දිනේෂ් ඇයට පිටිකිරි කෝප්පයක්ද හදා දුන්නේ උදේ කෑමට පෙරය. පිටිකිරි කෝප්පයද බිවු සඳමාලි ඇඳ මත වැතිර සිටියේ තරමක් අමාරුවෙනි.
දිනේෂ් සඳමාලිට කාමරයට වී ඉන්න කියා කුස්සියට යන්නේ දෙදෙනාට කෑමට මොනවා හෝ හදන්නටය. කෑම හදන්න කුස්සියට ගිය දිනේෂ් නැවතත් විනාඩි කිහිපයකට පසු සඳමාලි හිටි කාමරයට යළි ආවේය. කාමරයට ආ දිනේෂ්ට දැකිය හැකිවූයේ ඇස් අදහාගත නොහැකි දෙයකි. සඳමාලි කාමරයේ බිම ඇද වැටිලාය. වහා ඇය අසලට ගිය දිනේෂ් සඳමාලිට කතා කළද ඇය කිසිවක් කතා කළේ නැත. ඒ නිසාම කලබලයට පත් වූ දිනේෂ් අසල තිබු ත්‍රිරෝද රථයක් ගෙන්වාගෙන ඇයව වහා දෙබරවැව මූලික රෝහලට ඇතුළත් කළේය. ඒ වනවිට වේලාව පෙරවරු 08ට පමණය. එහිදී ඇයව පරික්ෂා කළ වෛද්‍යවරුන් පැවසුවේ සඳමාලි මියගොස් ඇති බවයි.
මේ හදිසි මරණය සම්බන්ධයෙන් රෝහල් බලධාරීහු පොලිසිය දැනුවත් කිරිමට පියවර ගත්හ. ඒ අනුව තිස්සමහාරාම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ජී.අයි.එස්.කේ.එන්. මල්දෙණිය මහතා ඇතුළු නිලධාරින් පිරිසක් අදාළ සිදුවීම සම්බන්ධයෙන් වූ පරීක්ෂණ ආරම්භ කළේ උසස් පොලිස් නිලධාරීන්ගේ උපදෙස් පරිදිය.
පළමුවෙන්ම අදාළ හෝටලයට ගිය පොලීසිය ඇය නතර වී සිටි කාමරය පරීක්ෂාවකට ලක් කළේය. එහිදී ඇය සතුව තිබූ බෙහෙත් වර්ග කිහිපයක් ලේ සහිත රෙදි කැබලි කිහිපයක් හා ඇයගේ ජාතික හැඳුනුම්පත හා ඇයගේ ගමන් බෑගයද පොලිස් බාරයට ගත්තේය. එහිදී ඇයගේ මුදල් පසුම්බිය පරික්ෂා කළ පොලීසියට වැදගත් සාක්ෂි කිහිපයක්ම එහි තිබී සොයාගැනීමට හැකි විය. ඇයගේ මුදල් දමන පසුම්බියේ තිබී පොලීසියට හමු වූ බස් ටිකට් කිහිපයක් කෙරෙහි පොලීසියේ විශේෂ අවධානය යොමු වීය. ඒවා නිසි පරිදි අධ් යනය කළ පොලිස් නිලධාරින්ට මියගිය සඳමාලි සමඟ තවත් අයකු කොළඹට ගොස් ඇති බවත්, නැවත දිනකට පසු එලෙසම කිසියම් අයකු සමඟ මාතර දක්වා පැමිණ ඇති බවටත් අනාවරණය කරගැනීමට පොලීසිය සමත් විය. 11 වැනි දින තණමල්විල සිට කොළඹ දක්වා වූ මගී බස් ටිකට් දෙකින් හා 13 වැනි දින කොළඹ සිට මාතර දක්වා අධිවේගී මාර්ගයේ පැමිණීමේදී ලබාගෙන තිබු බස් ටිකට් පත් දෙකක් මේ සඳහා උපකාරි විය. මාතරට පැමිණ ඇති සඳමාලි හා කිසියම් අයකු එතැන් සිට බස් රථයකින් පැමිණ ඇති බවත්, පසුව අම්බලන්තොට ප්‍රදේශයේදී සඳමාලිට දැඩි වේදනාවක් ඇතිවීම නිසා බස් රථයෙන් බැස එතැන් සිට ත්‍රිරෝද රථයකින් තිස්සමහාරාමයේ සිය හිතවතාගේ හෝටලයට සඳමාලි පමණක් පැමිණ තිබූ බවටත් පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට අනාවරණය කර ගැනීමට හැකිව තිබේ.
පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරින්ට තිබූ එක් ගැටලුව වූයේ මියගිය සඳමාලි කුමන ස්ථානයකින් කුමන පුද්ගලයකු ලවා මෙම ගබ්සාව සිදුකරවා ගත්තේද, මේ ගමන සඳහා සඳමාලි සමඟ ගියේ කවුරැන්ද යන්න පිළිබඳවයි. පරීක්ෂණ පවත්වන පොලිස් නිලධාරීහු මේ පිළිබඳවද දැඩි අවධානයක් යොමු කළහ. එහිදී මියගිය සඳමාලිගේ දුරකතනයේ තිබි සොයාගත් දුරකතන අංක කිහිපයක් කෙරෙහිද පොලීසියේ විශේෂ අවධානය යොමු වී තිබේ. සඳමාලි මියයන්නට ආසන්නයේදීම පවා දුරකතනයෙන් කතා කළ බව කියන වෛද්‍යවරයාගේ බවට සැකකරන දුරකතන අංකයක් ඇතුළු දුරකතන අංක කිහිපයක් සම්බන්ධයෙන් මේ වනවිට පොලීසිය විශේෂ පරීක්ෂණයක්ද සිදුකර ඇති අතර එහිදී තවත් කරුණු රැසක් අනාවරණය කරගැනීමටද සමත් වී තිබේ.
ජීවිතයේ වැරදිමග ගිය සඳමාලිට අන්තිමේදී සිදුවූයේ ජිවිතයෙන් පවා වන්දි ගෙවන්නටය. හෝටලයේදී මියගිය සඳමාලි දෙබරවැව රෝහලට රැගෙන යනවිටත් ඇය මියගොස් සිටියාය. ඇය සිදුකර තිබු ගබ්සාව හේතුවෙන් ලේ වැඩි වශයෙන් වහනය වීම නිසා අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇය හෝටලය තුළම මැරී වැටි තිබුණේ ඉතා අවාසනාවන්ත ලෙසය.
තංගල්ල කොට්ඨාස බාර පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල්, තිස්සමහාරාම සහකාර පොලිස් අධිකාරී ජයශාන්ත ද සිල්වා, තිස්සමහාරාම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ඩී. කාරියවසම් යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි තිස්සමහාරාම පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.ජී.අයි.එස්.කේ.එන්. මල්දෙණිය, පොලිස් කොස්තාපල්වරැන් වන (38003) පුෂ්පකුමාර, (69551) කෝනාර, (91147) සඳරැවන් ඇතුළු නිලධාරීන් පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
► සටහන හා සේයාරූ - සූරියවැව නුවන් ජයසේකර