2019 ජුනි 29 වන සෙනසුරාදා

ක්‍රිකට් අනාවැකි කියන ගංඟා සුදර්ශනී මෑණියන්ගේ අලුත්ම අනාවැකිය

 2019 ජුනි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 178

මේ ක්‍රිකට් වසන්ත සමයයි. අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය මෙම වසරේ පැවැත්වීම උදෙසා සත්කාරකත්වය සපයනු ලබන්නේ එංගලන්තය හා වේල්සය විසිනි. ලෝකයේ රටවල් දහයක් එක්ව එක කුසලානයක් උදෙසා තරග වදිනා මේ මොහොතේ ලෝකයේ ක්‍රිකට් ලෝලීහු තම රටවල ජයග්‍රහණය වෙනුවෙන් බොහෝ ප්‍රීතිඝෝෂා පවත්වති. මේ අතර ඇතැම් දෙනා මෙම රටවල්වල ජයග්‍රහණයන් වෙනුවෙන් බොහෝ අනාවැකිද පවසති.

1996 වසරේදී අර්ජුන රණතුංගගේ නායකත්වය යටතේ ලෝක කුසලානය හිමිකර ගත්තද ඉන්අනතුරුව එවැනි විජයග්‍රහණයක් ඕවර 50 ලෝක කුසලානයක දී ලබාගැනීමට ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමට හිමිකම් නොතිබුණි. මේ වෙනුවෙන් බොහෝ දෙනා විවිධ අදහස් පළකළහ. ඇතැමුන් මේ පරාජයන් හමුවේ ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත ඇඟිල්ල දිගු කළද ඇතැම්හු ක්‍රීඩා තේරීම් කමිටුවටත්, ක්‍රීඩා ඇමති ක්‍රීඩා නිලධාරින් වෙතටත් චෝදනා එල්ල කළහ. කවුරුන් කාහට බෝලය පාස්කළද අවසානයේදී සිදුවූයේ එවැනි විජයග්‍රහණයක් අත්පත් කර ගැනීමකින් තොරවම ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමට මව්බිමට පැමිණීමට සිදුවීමය. 

අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් රටවල් දහයක් තරග වදින මොහොතක බොහෝ රටවල්වලින් අනාගතය පිළිබඳව, ක්‍රිකට් ජයග්‍රහණ පිළිබඳව විවිධ අනාවැකි පළවෙමින් පවතිද්දී මෙරට සිටින ප්‍රකට අනාවැකි කියන්නියක වන ගංගා සුදර්ශනී මෑණියන් ද ක්‍රිකට් අනාවැකි පළකරයි. හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් පිළිබඳව ද ඇය මීට පෙර කළ අනාවැකියක් පිළිබඳව බොහෝ දෙනා බොහෝ කතා පැවසූහ.

“මුල සිටම මේ ක්‍රිකට් ක්‍රීඩාවට අපල බව කිව්වේ මමයි. ඒක මම මගේ මනසින් දැකපු දෙයක්. එදා මෙදාතුර 2009 වසරෙන් පසුව අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට බලාපොරොත්තු නොවූ ආකාරයට නොයෙකුත් ප්‍රශ්න ඇතිවුණා. ඒ නිසා අපේ පළමු තැනට හිටපු ක්‍රිකට් කණ්ඩායම බලාපොරොත්තු නොවූ ආකාරයෙන් හැමතැනින්ම උපහාසයට ලක්වුණා. මේ විශ්වය පුදුමාකාරයි. මම මේ විශ්වය එක්ක සම්බන්ධ වෙලයි කටයුතු කරන්නේ. ඒ අනුව දැකලයි මම මේ අනාවැකි පළකළේ.”

යැයි ගංගා සුදර්ශනී මෑණියන් දේශය සමඟ සංවාදයට මුලපුරමින් පැවැසුවාය.

ඇය දැඩි ලෙස ක්‍රිකට් ක්‍රීඩාවට ඇළුම් කරන්නීය. ඇය පවසන පරිදි කුඩා කල සිටම අද වනතුරු ආසා කළ, ඇළුම් කළ ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඇය තරම් අපහාස විඳි අවලාද ඇසු වෙනත් චරිතයක් නැති තරම්ය. ස්ත්‍රියක් ලෙස ඇය එම අභියෝගය බාරගැනීමට සූදානම්ව සිටියාය. ඇය අභියෝගය බාර ගත්තාය. ඉවත්ව සිටිනා ක්‍රිකට් නායකයාගේ කාලයේදී පහුගිය පකිස්තානු තරගාවලිය ශ්‍රී ලාංකික ක්‍රිකට් කණ්ඩායමට ජයග්‍රහණයක් ලබාගත හැකිබවට ඇය අනාවැකියක් පැවසුවාය.

“මම ළඟට හිටපු ක්‍රිකට් නායක දිනේෂ් චන්දිමාල් ආවා. “පුතා මම ඔයාට ආශිර්වාද කරනවා. ඒ වගේම ඔයාට නායකත්වයත් ලැබෙනවා.” කියලා මම චන්දිමාල් දරුවාට එදා කිව්වා. නමුත් මට නොයෙක් විදිහට අන්තර්ජාලයෙන්, පුවත්පත්වලින්, අපහාස සිදුවුණා. ඒත් අනිවාර්යයෙන්ම නායකත්වය ලැබෙනවා කියලා මම එයාට ආශිර්වාදය කළා..” 

ගංගා සුදර්ශනී මෑණියන් වැඩිදුරටත් දේශයට පැවසීය.

ගංගා සුදර්ශනී මෑණියන් දිනේෂ් චන්දිමාල් පිළිබඳ පැවසූ තවත් අනාවැකි ද අද වනවිට සැබෑවී හමාරය. මෙවර අයි.සී.සී. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට දිනේෂ් චන්දිමාල් ඇතුළත්ව නොසිටීම එකකි. ගංගා සුදර්ශනී මෑණියන් කියන්නේ ඇයගේ ආශීර්වාදය නිසි ලෙස දිනේෂ් චන්දිමාල් පිළිපැද්දා නම් 2019 ලෝක කුසලානය ලංකාවට ගෙන ඒමේ වාසනා මහිමයක් පවා දිනේෂ්ට තිබුණු බවය.

“මම විශ්වය එක්ක සම්බන්ධ කෙනෙක්. මම එංගලන්තයේ තරගය ජයග්‍රහණය ලබලා දෙන්න පුළුවන් කියලා එදාත් කිව්වා. ඕනෑතරම් ක්‍රීඩකයෝ මේ වගේ අනාවැකි කියන තැන්වලට යනවා. ක්‍රිකට් ක්‍රීඩාව අවිනිශ්චිතයි. විශ්වයේ ශක්තිය සමඟ ඇති අයහපත් බලපෑම් ඉවත් කරන්න ඕනේ.” යැයි ගංගා මෑණියෝ තවදුරටත් පැවසීය.

ක්‍රිකට් ක්‍රීඩකයන් ක්‍රීඩා කරනා මොහොතේදී අයහපත් බලපෑමක් ඇතිවේ නම් එවැනි බලපෑම් ඉවත් කිරීමට තමාට හැකියාව ඇති බව ඇය පවසන්නීය. ලාංකීය ක්‍රිකට් කණ්ඩායම ඉදිරියට යාම ඇයගේ පැතුම වේ. ඒ වෙනුවෙන් ඇයට දැඩි අධිෂ්ඨානයක් ඇත. මෙවැනි අවිනිශ්චිත ක්‍රීඩාවක් දිනා දීමට හැකි බව ඇය පවසන්නීය. ඇයගේ ආශීර්වාදය පවතින කාලවකවානුවෙහි දිනේෂ් චන්දිමාල් නායකත්වයෙන් කුසලාන දෙකක් රැගෙන ආ බවද ඇය පවසන්නීය.

ගංගා සුදර්ශනී මෑණියන් පවසන පරිදි හිටපු ඇමති එස්.බී. දිසානායක මහතා ඉතාමත් වාසනාවන්ත ක්‍රීඩා ඇමැතිවරයෙකි. ඔහුගේ කාලයේදී නොයෙක් ක්‍රීඩාවලින් මේ රටට ගෞරවයක් අත්පත් කර දුන් බව ඇය මතකයට නංවයි.

පසුගියදා පැවති එංගලන්තය හා ශ්‍රී ලංකාව අතර තරගයෙන් ශ්‍රි ලංකාව ජය ගන්නා බවද ගංගා මෑණියන් අනාවැකියක් ප්‍රකාශ කර තිබිණි. නමුත් මුල් අවස්ථාවේදී ශ්‍රී ලංකාව පරාජයට පත්වන තත්ත්වයක් තිබියදී ගංගා මෑණියන්ට බොහෝ දෙනා විවිධ චෝදනා එල්ල කළහ. බොහෝ දෙනා වෙබ් අඩවි හරහා ගංගා මෑණියන්ට අපහාස උපහාස කළහ. නමුත් ගංගා මෑණියන් කිසිවිටෙකත් සැලුණේ නැත. අවසානයේදී එංගලන්තය පරදවා අවසන් මොහොතේදී ශ්‍රී ලංකාව ජය අත්පත් කොට ගත්තේය. කෙනෙකුගේ දක්ෂතාවයන් පමණක් නොව ආශීර්වාදයද තරගයක් ජයගැනීමට අවශ්‍ය බව ඇය පවසන්නීය.

“මට අනිවාර්යයෙන්ම ශ්‍රී ලංකාව අවසාන රටවල් හතර අතරට ගන්න පුළුවන්. ඒකේදී මේ ක්‍රීඩාවට අදාළ යම්කිසි අයහපතක් තියෙනවා නම්, ඒ අයහපත දුරුකළ යුතු බවට විශ්වාසයක් තිබිය යුතුයි. ඒ සඳහා අපේ රට වෙනුවෙන් මා වෙත පැමිණ ඒ ආශීර්වාදය ලබාගැනීම ලජ්ජාවට කාරණාවක් නෙමේ. එහෙම වුණොත් අපේ ශ්‍රී ලංකාව අවසන් කණ්ඩායම් හතරට ගැනීමේ හැකියාව තියෙනවා.” යැයි ගංගා සුදර්ශනී මෑණියන් සඳහන් කරන්නීය. පසුගියදා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සහභාගි වූ තරඟ දෙකක්ම වර්ෂාව නිසා නොපැවැත්වුණු අතර එයින් කණ්ඩායමට ප්‍රසාද ලකුණු හිමිවිය. මේ පිළිබඳවද බොහෝ ක්‍රීඩා ලෝලීහු විවිධ කරුණු ඉදිරිපත් කළහ. බොහෝ ක්‍රිකට් ලෝලීන්ට වර්තමාන ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායම පිළිබඳව එතරම් පැහැදීමක්ද නැත. අතැමුන් ක්‍රිකට් තරග නැරඹීම පවා අද ප්‍රතික්ෂේප කරන්නේ එබැවිනි. එවැනි වකවානුවක ගංගා සුදර්ශනී මෑණියන් පැවසූ අනාවැකිය සැබෑ වන්නේ නම් එය අනාගත ක්‍රිකට් ක්‍රීඩාවට හොඳ කලදවසක් උදාවන්නෙකි.

► දිශානි ජයමාලි කරුණාරත්න