2019 ජුනි 28 වන සිකුරාදා

අතරමගදී වහන්නේ නැත්නම් ජ්‍යොෂ්ඨ පුරවැසි සිනමා සහනය මසුරන්

 2019 ජුනි 28 වන සිකුරාදා, පෙ.ව. 08:19 56

එදා ඔවුන් දැරූ තනතුරු සියල්ල අද ඊළඟ පරපුර වෙත මාරු වී තිබේ.

එබැවින් වර්තමානයේ ඔවුන් සහමුලින් ගිලන්ව නිවෙස්ගත වන්නට පෙර එදා ඔවුන් පදවි තානාන්තර ඉසිලූ ආයතන වෙතින් සේවාවක් සපයා ගන්නට ගියවිට ඔවුන්ට වචනයේ පරිසමාප්තයෙන්ම ජ්‍යෙෂ්ඨත්වයක් පිරිනැමේ නම් සැබවින්ම එය කෘතගුණ සැලකීම මුල්කොට ගත් බුදුදහම ප්‍රචලිත රටක් ලෙස ද පැසසිය යුත්තකි.

මෑත කාලයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා අප රටේ විවිධ ව්‍යාපෘති ආරම්භ වී තිබේ.

ඒ අතරින් අලුතින්ම හඳුන්වා දුන් ජ්‍යෙෂ්ඨ පුරවැසි සහන සේවාව වන්නේ අවුරුදු හැටට වැඩි සෑම ජ්‍යෙෂ්ඨ පුරවැසියකු සඳහාම ඕනෑම සිනමාහලක ඕනෑම දර්ශනයක් සම්පූර්ණ ටිකට් පතෙන් අඩ මුදලක් ගෙවා නොහොත් බාග ප්‍රවේශපත්‍රයක සහන මුදලකින් නැරඹීමට අවස්ථාව සලසා තිබීමය.

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් සලසා ඇති එම සහනය දෙස අප බැලිය යුත්තේ පසුගිය සමයේ අප සමාජයට මුදාහැරුණු විවිධ ජ්‍යෙෂ්ඨ පුරවැසි සහන ව්‍යාපෘතීන් සහ ඒවායේ සංයුතිය හා වර්තමාන තත්ත්වය යන කරුණු සැලකිල්ලට ගෙනය. මෙතෙක් එළි දැක්වුණු බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසි සහන සේවාවන් ක්‍රියාත්මක වූයේ ඇතැම්විට ඉහළ පරිමාණයේ රාජ්‍ය මට්ටමින් ද, තවත් විටෙක පෞද්ගලික අංශයේ ප්‍රවර්ධනාත්මක වැඩසටහන් ලෙස ද වර්ගීකරණය වෙමිනි. මෙහිදී බැංකු ක්ෂේත්‍රය සිය පුරවැසි ව්‍යාපෘතින් පෙළගැස්වූ ආකාරය සාධනීය ලක්ෂණ පෙන්නුම් කළ අතර ජ්‍යෙෂ්ඨ පුරවැසි යනුවෙන් නම් කෙරුණු බැංකු කවුන්ටර පවා ඇතැම් බැංකුවල වෙනම විවෘත කෙරිණි.

වයෝවෘධ වයසේ පසුවන තම පාරිභෝගිකයන් වැඩි වේලාවක් පෝලිම්වල සිටුවා නොතැබීමටත් ඔවුන් සතු ජ්‍යෙෂ්ඨත්වයට කිසියම් ගරුත්වයක් එක්න සුළු හෘදයාංගම බවකින් එම පාරිභෝගික අවශ්‍යතා ඉටුකර දෙන අයුරුත් එම ව්‍යාපෘතීන් හඳුන්වා දුන් මුල් යුගයේ දක්නට ලැබුණි. එහෙත් පහු වනවිට ඇතැම් ආයතනවල තිබූ ජ්‍යෙෂ්ඨ පුරවැසි කවුලු පවා කාටත් හොර රහසේම වැසී ගියේය. එහෙත් එදා ආරම්භක අවධියේ මෙන්ම අදත් එම සේවාවන් එලෙසම පවත්වාගෙන යන ආයතන කීපයක් තවමත් පවතින බව එම අතලොස්සක් දෙනා හට කරන ගෞරවයක් වශයෙන් මෙහි ලා සඳහන් විය යුතුය.

ජාතික චිත්‍රපට සංස්ථාව මගින් අලුතින්ම හඳුන්වා දී ඇති මෙම නව ව්‍යාපෘතියට අනුව වයස හැට සම්පූර්ණ කළ ඕනෑම වැඩිහිටියකු හට තම ජාතික හැඳුනුම්පත හෝ සමාජ සුභසාධන අමාත්‍යංශය මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා නිකුත් කොට ඇති නිල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ඕනෑම සිනමාහලක ඕ.ඩී.සී හෝ බැල්කනි බාග ප්‍රවේශ පත්‍රයක් යටතේ තමා කැමති ඕනෑම චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව හිමි වී තිබේ.

වත්මන් චිත්‍රපට සංස්ථා සභාපතිනිය අනූෂා ගෝකුල මහත්මියගේ සංකල්පයක් ලෙසින් සහ සිනමා ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයන්ගේ පූර්ණ එකඟතාවයෙන් මෙම 2019 වසරේ ජූනි මස 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා එම සහනය සලසන ලෙස ජාතික චිත්‍රපට සංස්ථාව මේ වනවිට ලංකාවේ සියලුම සිනමාහල් වෙත ලිඛිතව දැනුම් දී තිබේ.

මෙය වත්මන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සම්බන්ධයෙන් ඉතා වැදගත් යෝජනාවක් බව රහසක් නොවේ. මන්ද යත් විශාම වැටුපෙන් තම දරුවන් හට පවා හැකි පමණින් මුදලින් උදව් කරමින් ඇතැම් අඩු ආදායම්ලාභී බොහොමයක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද ගතකරන්නේ එතරම් සරු ආර්ථික වටපිටාවක නොවීම හේතුවෙනි. එබැවින් අධික මුදලක් ගෙවා සිනමා නිර්මාණයක් රසවිඳීම යනු ප්‍රායෝගිකව ඔවුන් හට කළ හැක්කක් නොවේ. තත්ත්වය එසේ හෙයින් දුවා දරුවන් ද නිවෙස්වල නොමැති දිවා කාලය බොහෝ විට හුදෙකලාව ගෙවන මෙම වැඩිහිටියන් හට සහනදායී මුදලකට චිත්‍රපටයක් නැරඹීමට අවස්ථාව සැලසේ නම් එය ඉතා වැදගත් වරප්‍රසාදයක් බව මේ පිළිබඳව අදහස් දැක්වූ බොහෝ වැඩිහිටියන්ගේ ද මතය විය.

අදින් වයස හැටක් හැත්තෑවක් යනු පනහේ දශකයට ආසන්න යුගයයි. ශ්‍රී ලංකාවේ පනහේ දශකයේ උපත ලැබූ අයකුගේ තරුණ වයස වූයේ 70 දශකයයි.

හැත්තෑව දශකය යනු අප රටේ සිනමාවේ පමණක් නොව සංගීතය, නාට්‍ය, ලේඛන කලාව ආදී සියලු කලාවන්හි ස්වර්ණමය යුගය බවට විවාදයක් නැත. එම නිසා එකී විප්ලවීය වෙනසට උරදුන් තරුණ කණ්ඩායම අද වත්මන් ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ලෙස මම ව්‍යාපෘතියේ ඉලක්ක සමාජ නියැදිය බවට පත්ව සිටීම සුළුකොට තැකිය හැකි කාරණාවක් නොවේ.

එපමණක් නොව එදා ඔවුන්ගේ තරුණ වයසේ කළුසුදු චිත්‍රපටයකින් සෑහීමකට පත්වූ අද ජ්‍යෙෂ්ඨයන් හට වර්තමාන තරුණයන් රස විඳිනා නවීන ඩිජිටල් සලසා කීම අතිශය සාධාරණ සමාජ යුතුකමක් වන්නේ කරුණු රැසක් නිසාය.

එනම් එදා පනහේ දශකයේ උපන් තැනැත්තා යනු මෙරට කුප්පි ලාම්පු, හුළු ඇතු එළිය පසුකොට විදු එළියටත්, කළු සුදු චිත්‍රපටයේ පටන් වර්ණ චිත්‍රපටය දක්වාත්, කළු සුදු රූපවාහිනියේ සිට පැතලි රූපවාහිනිය හා පරිගණකය දක්වාත්, අංක කරකවන දුරකථනයේ සිට ස්මාර්ට් දුරකථනය දක්වාත්, 1965 ඓතිහාසික ගංවතුරේ සිට 2004 සුනාමිය දක්වාත්, වසර තිහක එල්.ටී.ටී.ඊ කුරිරු යුද්ධයේ සිට වර්තමාන ඉස්ලාම් අන්තවාදී අයි.එස්.අයි.එස්. ව්‍යසනය දක්වාත් අතිශය පරස්පර අත්දැකීම රැසකට මුහුණ දුන් ඓතිහාසික ජ්‍යෙෂ්ඨ ජනතා බලඝනය වන්නේ වත්වන් ජ්‍යෙෂ්ඨ පුරවැසි කණ්ඩායම නිසාය.

එබැවින් සම්පූර්ණ ටිකට් පතක් බාග ටිකට් පතක් ලෙස අලෙවි වීම ව්‍යාපාරික දෘෂ්ඨි කෝණයෙන් බැලූ බැල්මට ඇතැම් විට අලාභදායී පියවරක් ලෙස පෙනී යා හැකිය. එහත් ළමා ළපටින් පෙරැත්ත කළද ඔවුන් සමඟ චිත්‍රපටයක් බැලීමට යාම බහුතර වැඩිහිටියන් හට යම් අභිප්‍රේරණාත්මක කුලුගැන්වීමක් මෙම ව්‍යාපෘතිය හරහා උදාවී  තිබීම සුලුකොට තැකිය හැක්කක් නොවේ.

එබැවින් කාලෝචිතව ඉදිරිපත්ව ඇති මෙම ජ්‍යෙෂ්ඨ සිනමා රසික සහන ව්‍යාපෘතිය සිනමා කර්මාන්තයට ශක්තියක් කරගැනීමට සිනමාහල් හිමියන් ලෙස උත්සාහ කළ යුත්තේ සතියේ දින පහේ ඉතා අඩු ප්‍රේක්ෂක ඝනත්වයකින් යුතුව බහුතර හිස් ආසනවලට චිත්‍රපට පෙන්වමින්, සති අන්තයේ පමණක් ජනාකීර්ණ වන වත්මන් සිනමාහල්වලට සතියේ දිනවල නිවෙස්ගතව සිටිනා ජ්‍යෙෂ්ඨ සිනමා රසික රසිකයන් තමුන් වෙත කැඳවා ගැනීමට මෙමගින් අනගි නිමිත්තක් උදා වී ඇති නිසාය.

►රන්ජන් ගාමිණී ජයවර්ධන