මෙරට වතුකර ජනතාවගේ අතීතය වසර එකසිය අසූවක් පමණ පැරණිය. වසර එකසිය අසූවකට පෙර මේ පිරිස ශ්‍රී ලංකාවට පැමිණියේ දකුණු ඉන්දියාවේ සිටය. ඔවුන් ඉන්දියාවේ සිට තලෙයි මන්නාරම දක්වා ගෙනවිත් එතැන සිට මධ්‍යම කඳුකරය දක්වා පයින් ගෙන ආ බව කියති.
මෙසේ ගෙන ආ පිරිස යොදා ගනිමින් සුදු ජාතිකයෝ අපේ රටේ වැවිලි කර්මාන්තය ආරම්භ කළහ. ඒ කෝපි වගාවෙනි. කෝපි වගාව ආරම්භ කළේ ගම්පොල සිංහපිටිය නැමති වත්තේ බව සැලකේ. පසුකලෙක කෝපි වගාව විනාශ වූ නිසා තේ වගා කරන්නට සුදු ජාතිකයෝ කටයුතු කළහ. පළමු තේ ඇටය මහනුවර ලූල්කඳුර වත්තේ තවාන් කළ බව සඳහන් වේ. ඒ ජේම්ස් ටේලර් නැමති සුදු ජාතිකයාය. එතැන් සිට මේ දක්වා කඳුකරය පුරාවට තේ වගාව සිදුකරන අතර වතුකරයේ කම්කරුවන්ගෙන් ඊට ශ්‍රමය ලැබෙන්නේය. එදා සුදු පාලකයන් මේ වැඩකරන ජනතාව වෙත ලබාදුන්නේ කෑම වේලක් පමණි. වෙනත් කිසිදු පහසුකමක් ලබාදුන්නේ නැත. ලෙඩකට දුකකට පිහිටක් නොමැතිව පීඩාවට පත්වූ මේ වතු කම්කරැවෝ ශ්‍රී ලංකාවේ ජාතික ආදායමට විශාල පංගුකාරත්වයක් ලබා දුන්හ.
වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 50කින් ඉහළ නංවන ලෙස කියා සිටින්නේ කාලයක සිටය. ඒ වෙනුවෙන් ඔවුහු විවිධ අවස්ථාවල රටපුරා විවිධ විරෝධතා පැවැත්වූහ. කොටුව දුම්රියෙපාළ ඉදිරිපිට පසුගිය කාලයේ අඛණ්ඩ උපවාසයක්ද පැවැත්වීය. එහෙත් එයද සාර්ථක නොවීය.
මෙරට වතු කම්කරුවන් තවමත් වහල් භාවයෙන් නොමිදුණු ප්‍රජාවකි. ඔවුනගේ දෛනික ආදායම වන රුපියල් 730ක මුදල වර්තමාන ජීවන වියදම සමඟ සැසඳෙන්නේ නැති බව පැහැදිලිය. වතු කම්කරුවකුගේ කලින් තිබූ දෛනික වැටුප රු. 620කි. ඉන් මූලික වැටුප රු.450කි. දිරි දීමනා වශයෙන් රුපියල් 30ක් වැටුපට එක්වන අතර තවත් රුපියල් 140ක් පැමිණීමේ දීමනා ලෙස ලබාදෙති. මෙම පැමිණීමේ දීමනාව ලබාගැනීම සඳහා වතු කම්කරුවකු 75% පැමිණීමේ ප්‍රතිශතයක් සම්පූර්ණ කළ යුතුය. වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 730ක් වන්නේ මෙසේය.
වතු සේවකයන්ගේ වැටුප් ගැටලුව විසඳීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.2ක් වෙන් කිරීමට රජය විසින් කටයුතු කරනු ලැබුවේ වතු කම්කරැවන්ගේ වැටුප් ගැටලුව කාලයක සිට දිග්ගැස්සෙමින් තිබූ නිසාය. මෙවර අයවැයෙන් වෙන්කරන ලද මුදල අනුව වතුකම්කරුවන්ට තවත් රුපියල් පනහකින් හෝ ඊට වැඩි ගණනකින් සිය වැටුප ඉහළ යාමට තිබුණද තවමත් එය ඉටුවී නොමැත.
වතු කම්කරුවන්ගේ ජීවන අරගලය දෙස බලන විට කිසියම් ශෝචනීය තත්ත්වයක් දකින්නට ලැබේ. ඔවුන්ගෙන් බහුතරය ලයින් කාමරවල ජීවත්වෙති. ඇතැම් නිවසක නැතහොත් ලැයිමක පවුල් දෙක තුනක් ජීවත් වෙති. වතු නිවාස පේළියකටම ඇත්තේ පොදු වැසිකිළි එකක් හෝ දෙකක් පමණි. වතු අංශයට ඇති පාසල්වල තත්ත්වය දුක්බරය. ඒවායින් බොහෝමයකට ඉගෙනීමට අවශ්‍ය මූලික පහසුකම් හෝ නැත. වතු කම්කරුවා සිය පවුලේ නඩත්තුව කළ යුත්තේ තම වැටුපෙන්ය. ඔවුන්ට ඒ සඳහා අතිරේක ආදායම් මාර්ග නොමැත. එසේ බලනා විට සැබවින්ම ඔවුන්ගේ ජීවන අරගලය ඉතා දුක්මුසුය.
අද බොහෝ වතු හිමියන්ගේ අපේක්ෂාව වැඩිම ආදායමක් හා උපරිම ලාබයක් ලැබීමටය. මේ තත්ත්වය මත විශාල තේ තෝගයක් ලෝක වෙළෙඳපළට නිකුත් කිරීම ඔවුන්ගේ ඉලක්කය වී තිබේ. එහෙත් ආදායම ලැබෙන තරමට හෝ ඉහළ යන තරමට සේවකයන්ට සැලකීමක් සිදුවන්නේ නැත. වතු කම්කරැවා එතනම යැයි කීමට පුළුවන. පසුගිය කාලය පුරාවටම වතුකම්කරැවන්ගේ අර්ථසාධක මුදල් සම්බන්ධ පැමිණිලි ගණනාවක් වාර්තා වී තිබිණි.
සාමාන්‍ය තත්ත්වය අනුව වතු කම්කරැවකු මසකට දින විසි දෙකක් සේවයට වාර්තා කළ යුතුය. එසේ නොවුණහොත් එක්තරා අනුගත ක්‍රමවේදයක් ඔස්සේ ඔවුනගේ වැටුප් කපා හරිනු ලැබේ. වතු කම්කරැවන් අසනීප වන්නට පුළුවන. විවිධ අනතුරැවලට ලක්වීමට පුළුවන. තවත් විවිධ වුවමනාවන් මත ඔවුන්ට නිවාඩු ගැනීමට සිදුවනු ඇත. වතු අධිකාරිවරුන් හා හාම්පුතුන් වතු සේවකයන්ගේ පොදු අවශ්‍යතා ගැනවත් සැලකිල්ල යොමු නොකරන බව නිවාඩු නිසා වැටුප් කපා හැරීමෙන් පැහැදිලි කරගත හැකිය. මෙරට වතු කම්කරැවන්ගේ මුළු සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්න වෙති. මේ පිරිස රටේ ජාතික ආර්ථිකයට දක්වන දායකත්වය දෙස බැලීමේදී පෙනී යන්නේ ඔවුන්ගේ මහන්සියට සරිලන වැටුපක් නොමැති බවය
මේ වනවිට වතු සමාගම්වලට පවරන ලද වසර 51න් වසර 21 ගෙවී අවසන්ය. ගතවූ මේ වසර 21 තුළ ලංකාවේ තේ කර්මාන්තය මුහුණ පා ඇති තත්ත්වය ගැන සෑහීමකට පත්විය නොහැක. අද වනවිට අසන්නට දකින්නට ලැබෙන්නේ ඒ අභිමානය හා සුන්දරත්වය කාබාසිනියා කොට තේ වතු ආර්ථිකය හා ජන ජීවිතයද ඉතා පහත් තත්ත්වයකට ඇද දමමින් දිගටම පාඩු ලබමින් උග්‍ර මතභේද හා ප්‍රශ්න මැද අසීරැවෙන් ඇදගෙන යන වතු කම්කරු ප්‍රජාවට පවා එපා වී තිබෙන වැවිලි ක්ෂේත්‍රයක් ගැනය.
මෑත කාලයේ වාර්තා වූ උද්ඝෝෂණ හා වැඩවැරීම් අතරින් පෙනී යන්නේ වතු කම්කරුවන් ගැන නැවත සිතා බැලීමට කාලය උදාවී ඇති බවය. රජය විසින් වතු කම්කරැවන්ට රුපියල් 50ක දීමනාවක් ලබාදෙන බව පොරොන්දු වී ඇතත් මේ වනවිටත් එම පොරොන්දුව ඉටුවී නොමැත. බොහෝ කම්කරැවන් තවමත් ඒ ගැන සිටින්නේ කම්පිතවය.
මෙරට වතු කම්කරුවන් තවමත් වහල් භාවයෙන් නොමිදුණු ප්‍රජාවකි
දෙමළ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක අමාත්‍ය මනෝ ගනේෂන්:
වතු කම්කරුවන් හට රුපියල් 50කින් වැටුප වැඩිකරන බවට මේ රජය පොරොන්දු වුවත් තවමත් එය ඉටුකර නැහැ. මුදල් අමාත්‍යංශයේ හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ කඹ ඇදිල්ල මේකට ප්‍රධාන හේතුව කියලා තමයි අපිට පේන්න තියෙන්නේ. කොහොම වුණත් මේ ජනතාවට ඉක්මණින් ගැටලුව විසඳන බවට අග්‍රාමාත්‍යවරයා පැවසුවා. මේ තත්ත්වය අපි දැනට සලකා බලනවා. එසේ නොමැති වුවහොත් වතුකරයේ කම්කරැවන් සමඟ සාකච්ඡා කරලා දැවැන්ත වැඩවර්ජනයක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි මේ රජයෙන් ඉල්ලා සිටරින්නේ මේ වතු කම්කරැවන් ඉල්ලා සිටින මේ ඉල්ලීම ඉටුකරන්න කියලා.
හසිත් අංජන