පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය වෛද්‍ය ඩී.බී. නුගේගොඩ වෛද්‍ය පර්යේෂකයෙකු වශයෙන් ද ප්‍රකට චරිතයකි. එමෙන්ම මානසික ආතතිය පිළිබඳව ද ඔහු තම අධ්‍යයන ඔස්සේ උනන්දුවක් දක්වයි. වෛද්‍ය නුගේගොඩ ලියූ සුවදායී දිවි පෙවෙතකනට සුවදායී මනසක් කෘතිය ඒ සඳහා මඟ පෙන්වන හරවත් කරුණු රාශියකින් යුක්තය. කෘතියට පෙරවදනක් සපයන මහාචාර්ය කේ.එන්.ඕ. ධර්මදාස මෙලෙස සඳහන් කරයි.
අපට තිබෙන බොහෝ කායික රෝගයන් හඳුනානොගත් මානසික හේතූන් නිසා පැන නැගුණු ඒවා විය හැක. මෙම කෘතියේ සඳහන් කරන උපදෙස් අනුව කටයුතු කළහොත් මානසික හේතූන් ඉවත් කිරීමෙන් අපට තිබෙන බොහෝ කායික රෝගී තත්ත්වයන්ගෙන් අපට ගොඩඒමට හැකි වනු ඇත.
කතුවරයා පරිච්ඡේද 22ක් ඔස්සේ කෘතිය පෙළ ගස්වා තිබේ. ඔහුගේ කෘතියේ වැදගත්කම ඉහළ නංවන්නේ වෛද්‍ය විද්‍යාත්මක කරුණුවලට අමතරව සාමාන්‍ය පාඨකයාට වැදගත් සමාජීය කරුණු ද අවධානයට ලක් කිරීම නිසයි.
පළමු පරිච්ඡේදයෙන් මානසික ආතතිය සහ සෞඛ්‍යය ගැන අවධානය යොමු කරන කතුවරයා මානසික ආතතිය ගැන හඳුන්වා දෙමින් එය සරලව විග්‍රහ කරයි. මානසික ආතතිය ඇතිවීමට හේතුවන සෘණාත්මක සිතුවිලි ලෙස ද්වේශය, කෝපය, වෛරය, ඊර්ෂ්‍යාව, සතුරුකම, තනිකම, බිය, තණ්හාව, මානසික අසහනය, මානසික අවපීඩනය, කලකිරීම, පසුබැසීම, අවිනිශ්චිතභාවය වැනි දේ දැක්විය හැකිය. අවාසනාවකට මෙන් මානසික ආතතිය ඇති කරන මෙවැනි සෘණාත්මක සිතිවිලිවලට වර්තමානයේ බොහෝ පුද්ගලයෝ දිනපතාම මුහුණ දෙති (18 පිට)
භයානකම කරැණ වන්නේ මානසික ආතතිය නිසා මිනිසාට තවත් ලෙඩරෝග රාශියක් වැළඳීමයි. මානසික ආතතිය වළක්වා ගත හැකි මාර්ග ද කතුවරයාගේ අවධානයට යොමු වී තිබේ.
සතුට සහ සෞඛ්‍ය පිළිබඳ පරිච්ඡේදය තුළින් ඉතා වැදගත් කරුණක් වෛද්‍ය නුගේගොඩ විමර්ශනයට ලක් කරයි. සතුටේදී මනස වඩාත් සන්සුන් ආදරබර හා සානුකම්පිත බවක් උසුලයි. සංහිඳියාවල ලක්ෂණයක් මෙන් යමෙකු සතුටින් සිටිනවිටද මොළයේ සතුට හා සම්බන්ධ කොටසේ විද්‍යුත් ක්‍රියාකාරිත්වය වැඩි වේ. (55 පිට)
ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ අනුව දිනකට අවම වශයෙන් විනාඩි 30ක්වත් කායික ව්‍යායාමවල යෙදිය යුතුය. මෙම කෘතියේ ව්‍යායාම සහ සෞඛ්‍යය ගැනද අවධානය යොමු කර තිබේ. ඒ අතර යෝග ව්‍යායාමවල වැදගත්කම ද පහදා දෙයි.
එක් පරිච්ඡේදයක් වෙන් කර ඇත්තේ ආදරය, කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව සහ සෞඛ්‍යය යනුවෙනි. සියලුම සත්වයන් කෙරෙහි ආදරය, දයාව, මෛත්‍රිය හා සානුකම්පිත බව දැක්වීම ද මානසික ආතතිය හා ඒ ආශ්‍රිත රෝගීභාවයට එරෙහිව ගතහැකි වැදගත්ම පියවරකි.* (71 පිට) රෝග සුවවීමට මානසික ප්‍රතිශක්තිය බලපාන අන්දම ද මෙහි කදිමට විග්‍රහ කර තිබේ.
සමාජීය සහයෝගය සහ සෞඛ්‍යය පිළිබඳව මෙහි හයවන පරිච්ඡේදයේ සාකච්ඡා කෙරේ. අද ප්‍රචලිතව පවතින න්‍යෂ්ටික පවුල් ඒකකය සහ අධිවේගී දිවි පැවැත්ම පවුලක් තුළ වුවත් සමාජීය සහයෝගය පවත්වාගෙන යාම අසීරැ කාර්යයක් වී තිබේ. අතීතයේ තිබූ යහදිවි පැවැත්ම පවුල තුළ සමාජීය සහයෝගයට රැකුලක් විය. (87 පිට)
සම්භාහනය සහ සෞඛ්‍යය, සොබාදහම සමඟ ජීවත් වීම සහ සෞඛ්‍යය ආදී කරුණු ද කතුවරයා අවධානයට ලක්කරන්නේ වෛද්‍ය විද්‍යාත්මක මෙන්ම සමාජීය විද්‍යාත්මක කරුණු ද ඉදිරිපත් කරමිනි.
නින්ද සහ භාවනාව යහපත් සෞඛ්‍යයට උපකාරී වන ආකාරය ද මෙහි විස්තර කෙරේ. පිළිකාව, ආහාර වැනි කරුණු නිසා සෞඛ්‍යයට එල්ලවන අවදානම ද කතුවරයා විස්තර කරයි. කතුවරයා තම අත්දැකීම් මෙන්ම ජාත්‍යන්තර වෛද්‍ය සඟරාවල කරැණු ද මෙම කෘතිය ලිවීමේදී පරිශීලනය කර තිබේ.
සුවදායී දිවි පෙවෙතකට සුවදායී මනසක් නුගේගොඩ සරසවි ප්‍රකාශනයකි.
- පාඨක