“මේ පැත්තේ ඉන්නෙම දේශපාලන ලොක්කන්ගේ ලොකුකමෙන් ඉදිමිලා ඉන්න දේශපාලු පුතාලා නේද?”
“හිස් වොඩ්කා බෝතලයකට නිවපු උණු වතුර දාලා බොන්න දෙන්න. පුත්තලමේ තියන රෝගයක් ඕක”
“ඊළඟ ඡන්දෙදි තරුණ නායකත්වයට කදිමයි”
පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත සිසිර අබේසේකර මහතාගේ පුතකු වන ඉෂාන් චතුරංග නැමැත්තා මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට යොදවා සිටි ඇමති ආරක්ෂක කොට්ඨාසයේ පොලිස් කොස්තාපල්වරයකුට පහරදීම පිළිබඳව වෙබ් අඩවියක් වාර්තා කළ ප්‍රවෘත්තියකට යොමුකොට තිබූ පාඨක අදහස් ඉහත පරිදිය.
හලාවත සේදවත්ත මන්ත්‍රීවරයා පදිංචි නිවස ප්‍රදේශයෙන් එම සිදුවීම වාර්තා වෙද්දී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට බලය හිමි නාරම්මල ප්‍රාදේශීය සභාවේ උප සභාපති මංජුල පොල්ගම්පොළ නැමැත්තා නාරම්මල පොලිස් ස්ථානය තුළදී රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන් සිදුවීමක් වාර්තා විය. පහර කෑමට ලක්වූ කොස්තාපල්වරයා කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර එක්සත් ජාතික පක්ෂ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ පුතා සිදුකළ පහරදීමෙන් තුවාල ලැබූ ඇමැති ආරක්ෂක අංශයේ පොලිස් කොස්තාපල්වරයා හලාවත රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මන්ත්‍රීවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරියා පසුගිය 29 වැනිදා මන්ත්‍රී නිවසේ ආරක්ෂක රාජකාරියේ නිරතව සිට ඇත. පස්වරුවේ මන්ත්‍රීවරයාගේ දෙවැනි පුත්‍රයා බීමත්ව සිට ඇති බවත් ආරක්ෂක නිලධාරියා හා වචන හුවමාරුවකට පැටලී ඇති බවත් සඳහන් වෙයි. එය සීමාව ඉක්මවා ගොස් තිබිණ. එසැණින් ප්‍රකෝප වූ මන්ත්‍රී පුත්‍රයා පොලිස් නිලධාරියාට පහර දී මුගුරකින්ද තලා ඇතැයි චෝදනා කෙරේ. එම පහරවල් නිලධාරියාගේ හිස ඇතුළු ස්ථාන කීපයකටම වැදී තිබුණි. බරපතළ පහර කෑමකට ලක්වූ කොස්තාපල්වරයා බේරී තිබුණේ එතැනින් පැන දිවීමෙනි. උඩුකයට ඇඳුමක් රහිතව කොට කලිසමකින් සැරසී සිටි ඔහු දිවගිය වහාම පාරේ ධාවනය වූ ත්‍රීරෝද රථයකට නැග හලාවත පොලිස් ස්ථානය වෙත ගොස් තිබුණි. පහර කෑම පිළිබඳව පැමිණිලි කළ වහාම ප්‍රතිකාර සඳහා හලාවත රෝහලට ඇතුළත් වූ කොස්තාපල්වරයා එහි නේවාසිකව ප්‍රතිකාර ලැබීමට වෛද්‍යවරු නිර්දේශ කළහ. සිදුවීම පිළිබඳව පොලිස් පරීක්ෂණ සිදුවෙද්දී සැකකාර මන්ත්‍රී පුතා ප්‍රදේශයෙන් පළාගොස් ඇතැයි වාර්තා විය.
සිද්ධියෙන් දිනයකට පසුව ජූලි පළමුවැනිදා හලාවත පොලීසියට පැමිණි සැකකාර මන්ත්‍රී පුත්‍රයා අත්අඩංගුවට ගනු ලැබූ අතර කට උත්තර ලබාගැනීමෙන් පසුව හලාවත අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. එහිදී සැකකරැ 4 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගතකිරීමට නියෝග ලැබිණි. හලාවත අධිකරණයේ තීන්දුවකට පසු සැකකරු මීගමුව බන්ධනාගාරයේ රඳවා තැබීම සාමාන්‍ය ක්‍රමවේදයයි. මෙදින මන්ත්‍රී පුත්‍රයා රැගත් බන්ධනාගාර බස් රථය මීගමුව දෙසට මඟක් ගොස් නැවත හරවා පැමිණ හලාවත පිහිටි කුඩා ප්‍රමාණයේ බන්ධනාගාරයකට පෙර කී රැඳවියා බාරකොට ඇතැයි වාර්තා වේ. මේ පිළිබඳව බන්ධනාගාර අධිකාරී (පාලන) වෙතින් විමසීමේදී කියා සිටියේ රැඳවියාට ජීවිත තර්ජනයක් ඇත්නම් හෝ වෙනත් සානුකම්පිත ඉල්ලීමකදී එවැනි අවස්ථාවක් දිය හැකි බවය. එහෙත් මෙම සැකකාර මන්ත්‍රී පුත්‍රයාට හිමි විශේෂ වරප්‍රසාදය කුමක්ද ගැටලුවකි.
26 හැවිරිදි සැකකරැට කිසියම් අසනීපයක් හෝ වෙනත් බලපෑම් තර්ජන නැති බව වාර්තා වේ. එහෙත් ඔහු ප්‍රදේශයේ චණ්ඩි චරිතයක් බව ප්‍රසිද්ධය. වැලි ගොඩ දැමීම ඇතුළු ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා ඇති ඔහු හලාවත අඹකඳවිල පල්ලියේ පියතුමාට මැරයන් යොදා තර්ජනය කිරීමට සම්බන්ධ සැකකරුවෙකි. ඔහුගේ වැඩිමල් සහෝදරයා හලාවත නගර සභාවේ උප නගරාධිපතිය.
දේශපාලනඥයන් හා පොලීසිය අතර වූ ගැටුම් දෙකක් එකම දිනයක් තුළ වාර්තා වෙද්දී නාරම්මල පහරදීමට සම්බන්ධ ප්‍රාදේශීය සභා උප සභාපති මංජුල පොල්ගම්පොළ මහතාගේ හිතවතකු රිය අනතුරකට මුහුණ දී තිබුණේ ඊට පෙර දිනකදීය. ඒ පිළිබඳව පොලීසිය අවධානය යොමු කර තිබියදී සැකකාර උප සභාපතිවරයා 29 වැනිදා රාත්‍රී 11ට පමණ පොලිස්ථානයට පැමිණ තිබුණේ අදාළ අනතුර පිළිබඳ කරුණු විමසීමටය.
ඒ වෙද්දී සැකකරු බීමත්ව සිටි බවත් ඔහු සමඟ පැමිණි හිතවතකුද බීමත්ව සිටි බවත් පොලීසිය කියයි. සැකකාර උප සභාපතිවරයා පොලිස් ස්ථානාධිපතිවරයා හමු වීමට පැමිණියද ඒ අවස්ථාවේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයාගෙන් කරුණු විමසා ඊට පිළිතුරු සපයන මොහොතේ සැකකරැ විසින් තර්ජනය කොට පහර දී ඇතැයි කියති. එහිදී පහර කෑ පොලිස් උප සේවා අංශයේ කොස්තාපල් මහින්ද කුමාර යන අය කුලියාපිටිය රෝහලට ඇතුළත්ව නේවාසික ප්‍රතිකාර ලබයි.
සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප සභාපතිවරයා කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ජූලි 17 තෙකක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරිණි. සැකකරු අයුතු ලෙස පොලීසියට ඇතුළු වී රාජකාරියට බාධා කරමින් කොස්තාපල්වරයාට පහර දුන් බවට පොලීසිය චෝදනා ගොනු කර ඇත.
පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රබල දේශපාලනඥයන් ඔවුන්ගේ දරුවන් හා සමීප හිතවතුන් විසින් සාමාන්‍ය ජනතාවට සිදු කළ හිරිහැර එල්ල කළ ප්‍රහාර මෙන්ම පොලීසියට එල්ල කළ ප්‍රහාර ද වාර්තා වී තිබේ. ඔවුහු බහුතරයක් ප්‍රදේශය ආශ්‍රිතව සිදුවන ජාවාරම්වලට සබඳතා දක්වති. ඊට එරෙහි වන පූජ්‍ය පක්ෂයටත් සාමාන්‍ය ජනතාවටත් පමණක් නොව ආරක්ෂක අංශවලට එරෙහිව ද බලපෑම් කිරීමට මෙකී දේශපාලනඥයෝ බලය යොදාගනිමින් සිටිති. එබැවින් මෙම පහරදීම්වලට එරෙහිව නිවැරදිව නීතිය ක්‍රියාත්මක කළ යුතුය.
►සමන්ත ප්‍රදීප් විල්තෙර
පසුබිම් වාර්තා - ඔගස්ටින් ප්‍රනාන්දු