දීග දෙන වයසේ රූමත් දියණියක් ඉන්නා මව්පිය දෙදෙනා කාලයකට පෙර ආදර සබඳතාවයකින් විවාහපත් වූවෝ වෙති. උසස් අධ්‍යාපනයේ නිරත දියණියගේ මව ප්‍රසිද්ධ පෞද්ගලික සමාගමක විධායක ශ්‍රේණියේ නිලධාරිනියක ලෙස කටයුතු කරන්නීය. ඇගේ සැමියා කාන්තා සපත්තු නිෂ්පාදන ආයතනයක හිමිකරුවෙකි.
ඔහු ප්‍රදේශයේ ප්‍රසිද්ධ සත් ගුණවත් ධානපති හා සමාජ සේවකයකු ලෙස හඳුන්වන සාර්ථක ව්‍යාපාරිකයෙකි. ඇණවුම් අනුව අවශ්‍ය ආකාරයට නවීන විලාසිතාවන්ගෙන් මංගල සහ වෙනත් උත්සව අවස්ථාවලට ගැලපෙන පාවහන් නිර්මාණය කරන කෙනෙකි. සියලු සැප සම්පත් සපිරි සුභෝපභෝගී ජීවිතයක් ගත කරන පවුල පදිංචිව සිටියේ ගම්පහ නගරයට නුදුරුව ඇති ඔවුන්ගේ නවීන දෙමහල් නිවෙසේය.
බිරියටත් එකම දියණියටත් පණ සේ ආදරයෙන් සිටි සැමියා කිසිම දිනෙක ඔවුන්ට අඩුපාඩුවක් කළේ නැත. ඒත් මෑතක සිට ඔහුගෙන් බිරියට යම් යම් වෙනස්කම් සිදුවුවද ඒවා එතරම් තැකීමට බිරිය කලබල නොවූවාය. ඒ සෑම අවස්ථාවකම ඇය සිතා තිබුණේ ව්‍යාපාරික ජීවිතයේ කාර්යබහුලත්වය හෝ ඒවායේ යම් ගැටලුවක් නිසා සැමියා එසේ හැසිරෙන බවය. නමුත් කිසිම විටෙක බිරිය සැමියා හා වාදයට නොගියාය. එහෙත් දිනෙන් දින වර්ධනය වන සැමියාගේ බහින්බස්වීම හා එවැනි වෙනස්කම්වල අඩුවක් තිබුණේ නැත. රැකියා ස්ථානයෙත් ගෙදරදීත් මඟතොටේදීත් බිරිය පවුලේ ආරවුල් පිළිබඳව කල්පනා කරමින් සිටියාය.
හිටි හැටියේම අම්මා සහ තාත්තා අතර ඇතිවූ ඝට්ටනය පිළිබඳව දියණිය පුදුම වූවාය. අම්මාගේ කිසිදු වරදක් නොදුටු ඇය තාත්තාගේ වෙනස් වීමට හේතුව සෙව්වාය. තාත්තාට නොදැනෙන්නට ව්‍යාපාරික කටයුතු පිළිබඳවත් ආශ්‍රය කරන පිරිස් ගැනත් වෙලාවක් අවේලාවක් නොමැතිව ලැබෙන සහ ගන්නා දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ඇය අවධානයෙන් පසු වූවාය. වැඩි දිනක් යන්නට මත්තෙන් ඇයට පැහැදිලි වූයේ යම් කාන්තාවක් තාත්තා සමඟ කතාබහ කරන බවය. ඇය සමඟ කිට්ටු ඇසුරක් පවතින බව හඳුනාගත් දියණිය ඒ බව අම්මාට නොකියා කෙළින්ම පියාගෙන් ප්‍රශ්න කළාය. දියණියගේ ප්‍රශ්න කිරීමේදී තවත් යමක් සඟවා සිටීමට ඔහුට හැකිවූයේ නැත. එබැවින් දියණිය නොමග යන තාත්තාට ආදරයෙන් අවවාද කළාය.
එක්තරා දිනයකදී බිරිය දෙමහල් නිවෙසේ පහළ මාලයේ කාමරයක නිදාගෙන සිටියදී හිටි හැටියේම අවදි වූයේ ඇගේ පාදයක වේදනාවක් දැනීමෙනි. ඒ සමඟ ක්ලාන්ත ගතියක්ද දැනුණි. ගත පුරා ඇතිවෙමින් තිබුණු වේදනාව නිසා සැමියා සමඟ ගොස් රෝහලකට ඇතුළත් වූයේ ඉන් පසුවය. රෝග ලක්ෂණ අනුව වෛද්‍යවරුන් පවසා තිබුණේ අධික විසක් ශරීරගතව ඇති බවය. එය සර්ප විසක් විය හැකි බවද කියා තිබූ අතර පාදයේ සතකු දෂ්ඨ කළ සලකුණක්ද විය. මේ සිදුවීම වී තිබුණේ ඉකුත් අප්‍රේල් 5 වැනිදාය.
එදා පටන් අසාධ්‍ය තත්ත්වයෙන් මරණාසන්නව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබූ ඇයට තවත් ජීවත් වීමට වාසනාව තිබිණි. මාස තුනකට ආසන්න කාලයක් ප්‍රතිකාර ලැබූ ඇය මීට දින කිහිපයකට ඉහතදී ප්ලාස්ටික් සැත්කමකට ද භාජනය වූවාය. ඒ සර්පයකු දෂ්ඨ කළ පාදයේ තුවාලය ආශ්රිත සම නරක් වී තිබීම හේතුවෙනි. එම සැත්කමට පසුව නිවෙසේ එක්තැන්ව උන් ඇයට පාදය බිම තබා ඇවිදීමට අවසර තිබුණේ ජූනි 30 වැනිදාටය.
ඉන්පසුව දිය නෑමට වෛද්‍ය උපදෙස් ලබා දී තිබුණු අතර මෙදින දිය නෑමට සූදානම් වන ලෙස කී සැමියා දියණිය කැටුව ගම්පහ දුම්රිය ස්ථානය වෙත ගියේ දුව වැල්ලවත්ත පන්තියකට ඇරලවීම සඳහාය. එහි ගිය සැමියා ඉක්මනින් නිවසට පැමිණ තිබූ අතර ඒ වනවිටත් නිදා සිටි බිරියට කතා කර දිය නාන ලෙස කියා ඇත. ඒ අනුව පහළ මාලයට ආ බිරිය දිය නෑමට සූදානම් වී කකුල බේසමක් මත තබා නෑමට සිතුවාය. ඒ සඳහා ඇවැසි බේසමක් මෝටර් රථයේ තිබූ බව මතක් වී එය රැගෙන ඒමට ඒ වෙත ගියාය.
කාර් රථය විවෘත කළ සැණින් ඇගේ නෙත ගැටී තිබුණේ නයි පනික්කියකු සතුව තිබෙන නයි පෙට්ටියක් හා පිටස්තර කෙනකුගේ ඇඳුම් කිහිපයකි. කිසි විටෙක මෙවැනි භාණ්ඩ සැමියාගේ වාහනයේ තිබෙන්නට බැරි බව සිතූ බිරියගේ සිතේ සැකයක් හට ගැනිණි. එසැණින් භීතියට පත් ඇයට කල්පනා වී තිබුණේ සැමියාගේ වෙනස්කම් පිළිබඳවත් කලින් වතාවේ නයකු දෂ්ඨ කොට ඇති බවට වෛද්‍යවරු කළ ප්‍රකාශයත්ය. ඒ සමඟ එය සැමියා සිතාමතාම කළ දෙයක් බවට ඇයට සැකයක් ඇති විය. එසැණින් මිදුලට පැමිණි බිරිය සැමියාට හඬ නැගුවාය. “මම මරන්න ආයෙත් තමුසේ නයෙක් ගෙනාවාදැයි” අසමින් ඔහුට බැණ වැදුණාය. ඒ වෙද්දී නිවෙසේ ඉහළ මාලයේ බුදු කුටියේ බුදුන් වඳිමින් සිටි ඔහු මිදුලට පැමිණ ඇත.
ඔහු දිනකට තුන් වතාවක්වත් බුදුන් වැඳීම පුරුද්දක් කරගෙන සිටින කෙනෙකි. ඒ ශ්රද්ධාවට වඩා තිබෙන කපටිකමටය. සන්සුන් ලෙස මිදුලට ආ ඔහු “හරි හරි කෑ ගහන්න එපා... මම එහෙම කරනවද? සැක නම් අපි පොලීසියට යමු. එන්න ලෑස්ති වෙන්න. ගෙට යං” කියා බිරිය බලෙන්ම ගෙදරට ගෙන යාමට ක්‍රියා කළේය. චාටු බස් දොඩමින් බිරිය පසුපසට වූ සැමියා වැරෙන් බිරිය අල්ලා පහළ මාලයේ කාමරයක් වෙත තල්ලු කළේය. කලින් වතාවේ බිරියට නයා දෂ්ඨ කොට තිබුණේද එහිදීය. එතෙක් වෙලා අඳුරේ තිබූ සැමියාගේ කාර්යාල කාමරයේ සැඟවී සිටි නයි පනික්කියා වහා එතැනට ආවේ ගෙහිමියාගේ අණ කිරීමටය. ඔහු ආ සැණින් පොළොන් තඩියෙක් ගෙහිමි කාන්තාවගේ ඇඟ මතට විසි කළේය. නොසිතුව ලෙසින් බියට පත් ඇය පොළඟා දෑතින් අල්ලා විසිකර දැමුවාය. එසැණින් පොළඟා වැටී ඇත්තේ නයි පනික්කියාගේ ඇඟ මතටය.
සිරුරෙන් බිමට වැටුණු පොළඟා කලබලයෙන් ඒ මේ අත දඟලන්නට වූ අතර නයි පනික්කියා පොළඟා අල්ලාගන්නට වෙහෙසුණේය. ඒ ඇසිල්ලෙන් මිදුලට පැනගත් බිරිය “මෙන්න මාව මරන්න හදනවෝ...” කියමින් කෑ ගැසුවාය. ඒ අතරම සැමියා සමඟ රණ්ඩු කළාය. මේ අතරේ කලබල වූ නයි පනික්කියා ගෙදර ඉහළ මාලේ තිබූ බුදු මැඳුර තුළ සැඟව ඇත. මේ අතර බිරිය රැවටූ කපටි සැමියා සිය මෝටර් රථයට නැග පලා ගොස් තිබුණි. මේ සියල්ල සිදුව තිබුණේ 30 වැනිදා උදේ 8ට පමණය.
ගෙදරට රැස්වූ අසල්වැසියන් කිහිප දෙනකු සිටියද සිදුවීම පොලිසියට පැමිණිලි කිරීමට දුව ගෙදර පැමිණෙනතුරු සිටීමට කාන්තාව අපේක්ෂා කළාය. ඒ අතර පොලිස් හදිසි ඇමතුම් අංකයට අමතා සිද්ධිය කෙනකු විසින් දන්වා තිබිණ. නිවෙසට පොලීසිය පැමිණ තිබුණේ පෙරවරු 10:30ට පමණය. නිවෙස සෝදිසි කිරීමේදී සැඟවී සිටි නයි පනික්කියා අත්අඩංගුවට ගැනිණ. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී හෙළිකර ඇත්තේ කලින් පාර නයෙක් කාන්තාව අසලට දැමුවේ තමුන් බවය. ඒ සඳහා රුපියල් 25,000ක් ඇගේ ස්වාමියා ලබාදුන් බවත් මෙවර පොළඟා රැගෙන ඒමටත් රුපියල් 25000ක් ලබාදීමටත් පොරොන්දු වූ බවය. ගෙහිමියාගේ ඉල්ලීමට එය සිදුකළ බවත් අතරමඟදී හමුවී දැන හඳුනාගැනීමෙන් පසුව ඔහු තමාගෙන් එම ඉල්ලීම කළ බවත් නයි පනික්කියා පවසා ඇත.
පලාගිය සැකකරුගේ මෝටර් රථය ගම්පහ ඔහුගේ මහ ගෙදර දමා ගොස් තිබියදී සොයාගෙන තිබුණි. රථයේ තිබුණු නයි පෙට්ටිය ප්‍රදේශයේ වෙළෙඳසලක් අසල දමා තිබියදී දින කිහිපයකට පසුව හමුවී ඇත. පොළඟා ගම්පහ වනජීවී අධ්යක්ෂ කාර්යාලයට බාරදී ඇත. කාන්තාවට පොළඟකු දෂ්ඨ කොට ඝාතනය කිරීමට කළ සැලසුමට සැකකාර ගෙහිමියාගේ අනියම් බිරියගේ සබඳතාවක් ඇතැයි පොලීසිය විශ්වාස කරයි. ඒ සම්බන්ධයෙන් ඇය ද අත්අඩංගුවට ගැනීමට නියමිතය.
බස්නාහිර උතුර දිසා බාර නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ගම්පහ කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් විජේසිංහ මහතාගේ උපදෙස් මත ගම්පහ මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලක්ෂ්මන් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසංක රංගන සහ උප පොලිස් පරීක්ෂක ගයාන් සුජීව යන මහත්වරු ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.
පොලිස් සැරයන් රොෂාන් (128395), පොලිස් කොස්තාපල්වරැන් වන විජේතුංග (59717), ප්‍රසාද් (76287), ජනක (38689), ජයලත් (8317), තෙන්නකෝන් (12421) සහ ජයවීර (15306) යන මහත්වරුද මෙම පරීක්ෂණවලට හවුල් වී සිටිති.
► සමන්ත ප්‍රදීප් විල්තෙර