2019 ජුලි 13 වන සෙනසුරාදා

අඩසිය වසක් පිත්තල ඔපදාන ලාච්චුව...

 2019 ජුලි 13 වන සෙනසුරාදා, ප.ව. 12:30 254


ඔහු නමින් රුචිර ඉලුක්කුඹුර නම් හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මේ ව්‍යාපාර ඔහු සතුව ඇත්තේ පිය උරුමයෙනි. අප රුචිර සමඟ එක්ව මතක පොත දිග හරින්නට උත්සාහයක් දැරුවෙමු. ඔහුගේ පියා එක්දහස් නවසිය හැට ගණන්වල කොළඹ හෙට්ටිවීදියේ ව්‍යාපාර කරමින් සිට ඇත. මේ අපූරු ව්‍යාපාරයේ ඇරඹුමේ මතක හෙට්ටිවීදියේ සිට ගලා එයි.

“තාත්තගේ ජීවිකාව පටන් ගත්තේ හෙට්ටිවීදියෙන් හැට ගණන්වල වගේ. තාත්තා ඇත්තටම වෙන වෘත්තියක් කර කර හිටියේ. ඇත්තට මේ අදහස කාගේ හරි මාර්ගෙන් තාත්තගේ ඔළුවට ඇවිල්ලා. ඊට පස්සේ මුලින්ම වඩේ පටන්ගත්තේ ඩාර්ලි රෝඩ් එකේ. පස්සේ අසූ ගණන්වල අනූ ගණන්වල තමයි මේ තැනට ආවේ."

ඔහු පවසන පරිදි මුල්කාලීනව මෙම කර්මාන්තයේ හැඩය තරමක් වෙනස්ය. අහම්බයකින් මෙන් පියා එදා අත ගැසූ කර්මාන්තය අද වනවිට යම් සාර්ථකත්වයකින් ඉදිරියට යමින් තිබේ. රුචිර තවත් දෑ අපට පවසන්නට වෙයි.

“අපි කරන්නේ පිත්තල පොලිෂ් කරන වැඩ නිකල් කරන වැඩනේ. තාත්තලාගේ කාලේ තිබ්බේ පරණ කාර්. පරණ කාර්වල බෆර්ස්, ඩ්‍රෝ හැඩක් ඔක්කොම ආවේ සිල්වර් පාට. ඒවා මලකඩ කෑවම රී ප්ලේන්ට් කරනවා. ඉතින් ඒ කාලේ ඔය වගේ වාහන තිබ්බ කට්ටිය අපි ළඟට අවා ඔය වැඩ කරගන්න. ඉතින් වැඩ තිබ්බා ඒ පරණ වාහන නිසා. දැන් අලුත් වාහන තියෙන්නේ. වැඩිපුර ප්ලාස්ටික්. ඒ නිසා වාහනවලින් එන වැඩ ප්‍රමාණය අපිට ගොඩක් අඩු වුණා. දැන් අපි ගොඩක් වෙලාවට කරන්නේ එක එක්කෙනා නිෂ්පාදනය කරන ග්‍රීල් ගේට්ටුවල පොඩි පොඩි කෑලිවල වැඩ. තව ඉතින් පිත්තල බඩු පොලිෂ් කරනවා." 

අද ඩියුරෝ ආයතනයේ සේවකයන් කිහිපදෙනක් සේවය කරයි. ඔවුන්ගෙන් වැඩි දෙනා ශිල්පය ප්‍රගුණ කළ මැදිවිය පසුකළ අයය. අප මේ සාප්පුවට අතුළු වනවිට එහි ඉදිරි කොටසේ අයෙක් පිත්තල තහඩුවක මුද්‍රිත යමක් හැඩ දමා කපමින් සිටිනු දුටුවෙමු. එය හීන් සීරුවට නිදහසේ කළ යුතු වැඩක් නිසාවෙන් ඔහු ඉදිරිපස සිටම මෙය කරනවා විය යුතුය. පාසල් දහම් පාසල් නිල ලාංඡන, නිවෙස් ඉදිරිපිට එල්ලා තබන අංක තහඩු ආදිය මෙන්ම කුසලාන, සමරු පලක, පොලිෂ් කරන ලද පිත්තල පහන් ද මෙහි තැන තැන දක්නට ඇත. පිළිවෙළක් නැතත් මෙහි අපූරු විචිත්‍රත්වයක් ඇත. රුචිර සිය ගැනුම්කරුවන් හමුවන්නේ සාප්පුවේ දෙවැනි කොටසේදීය. ඔහු අසල පරිගණකයක් තබාගෙන සමරු සිහිවටනවල පරිගණක සැලසුම් අඳින ශිල්පියා සිටී. පැමිණෙන අයට පොතකින් හෝ පරිගණකයෙන් සැලසුම් පෙන්වා ගනුදෙනු කතා කරන්නේ මෙතැනදීය. සාප්පුවේ පිටුපස කුඩා කර්මාන්ත ශාලාවක් බඳුය.

“සමරු සිහිවටන පටන් අරගෙන නම් එච්චර ලොකු කාලයක් නෑ. ඒක ඉතින් මමම පටන්ගත්ත එකක්. අපි සමරු සිහිවටන ගොඩක් හදලා තියනවා. ගොඩගේ සාප්පුවේ ගොඩගේ මහත්තයාගේ සම්මාන හදනවා. රාජ්‍ය ආයතනවලට, පිටරට ඉඳන් එන ප්‍රභූවරුන්ට සම්මාන හදලා තියනවා. හැම එකක්ම මතක නෑ ඉතින්. තව පොලීසිවල කට්ටියගේ වැඩත් කරනවා."

අතීතයේ මෙම නිර්මාණ සැලසුම් වෙනත් ශිල්පීන් ලවා සිදුකරගෙන තිබේ. කාලවේලාව මෙන්ම එම ශිල්පීන්ගේ ආඩම්බරකම් ද බැලීමට එහිදී සිදු වූ බව රුචිර සිහිකරයි. එහෙත් අද පරිගණක තාක්ෂණය ඔවුන්ගේ සරණට පැමිණ ඇත. දැන් එය පහසුව මෙන්ම ඵලදායී බව ඔප්පු වී හමාරය.

අපේ කතාබහ දුර යනවිට තවත් පසකින් මතුව ආවේ මේ කර්මාන්තය වර්තමානයේ දී මුහුණ දෙන ගැටලු පිළිබඳ සංවාදයකි. දිවයින පුරා මෙම කර්මාන්තයේ නියුතුව සිටින්නේ සීමිත පිරිසකි. මරදානේ දී හුදකලා වූ මේ සාප්පුව මෙන්ම ඔවුන් තැන තැන හුදකලාවේ සිය ජීවිකාව රැගෙන යති. ගැටලු කියන්නට හෝ හඬක් නගන්නට ඔවුන්ට අවකාශයක් නැත. එනිසාම අනාගතයේ දිනක මෙම කර්මාන්තය විශ්‍රාම යතැයි අපට රුචිරගේ කතාවේදී හැඟිණි.

“අපිට කෙමිකල්වල ප්‍රශ්න තියනවා. සමහර වෙලාවට කෙමිකල් ගන්න නෑ. අපිට ඩිරෙක්ට් ගේන්නත් බෑ කෙමිකල්. ඒකට ලයිසන් එකක් තියනවා. ඒ නිසා අදාළ පුද්ගලයෝ ගේනකල් අපිට බලාගෙන ඉන්න වෙනවා. එතකොට වැඩ භාරගන්න එක සීමා කරන්න වෙනවා. ටික දෙනෙක් විතරක් නිසා මේවට සටන් කරන්න අපිට බෑ."

මීට අමතරව මෙම ශිල්පය දන්නා පිරිස්ද අද වනවිට සොයා ගැනීම බොහෝ දුෂ්කර වී තිබේ. අලුතින් අයෙක් මෙය ඉගෙනීමට ද නොයති. අද සිටින පිරිස දිනක මෙම රැකියාව හැරගිය පසු අනාගතය බොහෝ අවිනිශ්චිත වනු ඇත. රුචිර ඉලුක්කුඹුර වැනි ව්‍යාපාරිකයන් කිහිපදෙනෙක් කර්මාන්තය දන්නා නිසාම සිය පැවැත්ම තහවුරු කරගෙන සිටී. එය ද හුදකලා සටනක් යැයි අපට හැඟේ.

“මේක වැඩ නැති තැනක් නෙවෙයි. වැඩ තියෙනවා. ඒත් අපිට වැඩ හොයාගෙන ගොඩ ගහගන්න බෑ පිරිස් බලය නැති නිසා."

මෙම ශිල්පය ඉගැනීම ද මෙහි සිදුවන ක්‍රියාවලිය තේරුම්ගැනීම ද පහසු නැත. අප හට එය අවබෝධ වූයේ කුඩා කර්මාන්තශාලවක් බඳු සාප්පුවේ පිටුපස පියවරෙන් පියවර නිරීක්ෂණය කරමින් ඉදිරියට ඇදෙන විටය.

කපා පිරිමැද මලකඩ සම්පූර්ණයෙන් සුද්ද කර දිස්නයක් ගැනීම සිදුවේ. ඉන්පසු බාත් එකට දැමීම සිදුවේ. තඹ දමා නිකල් කිරීම ආදී තවත් පියවර රැසකි. මේ සියල්ල අපට අවබෝධ කරගැනීමට නොකැකි වී මුත් සියල්ල ශිල්පීය ප්‍රගුණතාවකින් සීරුමාරුවට කළ යුතු වැඩක් බව අවබෝධ කරගැනීමට ගත වූයේ ඉතා කෙටි කාලයකි.

මරදානේ කුසලාන කඩෙන් සමුගන්නට අපට කාලය එළැඹි බව සිහිවිය. සමරු සිහිවටන රැසක් අතරේ මතක සැමරුම් රැගෙන අප රුචිරට සමුදීමු. සූරා නැවත් ඔප දැමිය නොහැකි මුත් ජීවිත විමසා බැලිය හැකි අපූරු ගමනකි. අද අප ඒ ගමනේ නවතැන් ගත්තේ එවන් සොඳුරු විමසුමක් වෙනුවෙනි.

► සටහන: චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ : සුමුදු හේවාපතිරණ