2019 ජුලි 20 වන සෙනසුරාදා

ශ්‍රීලනිපයේ ජනපති අපේක්ෂක සටන

 2019 ජුලි 20 වන සෙනසුරාදා, ප.ව. 12:30 26

එළඹෙන ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව පක්ෂයේ අය කියති. ඔවුන්ගේ තර්කය වන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාට දෙවරක් තරග කිරීමට හැකියාව ඇති නිසාත් රටේ මත්ද්‍රව්‍ය දූෂණ වංචාවට එරෙහිව නැගී සිටි එකම පාලකයා ඔහු නිසාත් තවත් වතාවක් වරම ලබා දියයුතු බව කියාය.

එහෙත් 2014 නොවැම්බර් 21 නව නගර ශාලාවට රාජපක්ෂ ආණ්ඩුවේ සියලු වරප්‍රසාද අතැර දමා පොදු අපේක්ෂකයා ලෙස වාඩි වූ මෛත්‍රීපාල මහතා ප්‍රකාශ කර සිටියේ තමන් එක්වරක් ජනපතිකම දරා විධායකය අහෝසි කොට පොළොන්නරුවට ගොස් විශ්‍රාම සුවයෙන් සිටින බව කියාය. එසේ කී මෛත්‍රීපාල මහතා තවමත් ඔහු දෙවැනි වර තරග කරන බව කිසිවකු ඉදිරියේ කැමැත්‍ත පළකර නැත. එහෙත් පක්ෂයේ පිරිස අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල මහතා ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත.

2015 අගෝස්තු 15 මහ මැතිවරණයෙන් පසුව එජනිස සහ එජාපය එක්ව ජාතික ආණ්ඩුවක් බිහිකළ අතර එහෙත් 2015 පෙබරවාරි 27 සිදුකළ මහ බැංකු වංචාවත් සමඟ ජනාධිපතිවරයාත් එජාපයත් අතර පළමු බැමි බිඳී ගියේය. ඊට පසුව රාජ්‍ය නිලධාරීන් පත් කිරීම, විවිධ පනත්, යුධ හමුදා සාමාජිකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම් ආදිය හේතුවෙන් ක්‍රම ක්‍රමයෙන් ඉතිරි බැමිත් ලිහී ගියේය. අවසානයේ මහින්ද රාජපක්ෂ කණ්ඩායම පළමුව ආණ්ඩුවෙන් ඉවත් වුණු අතර පසුව ශ්‍රීලනිපයත් ආණ්ඩුවෙන් ඉවත් විය. මේ හේතුවෙන් ජනාධිපතිවරයා සහ එජාපය අතර ගැටුම උග්‍රවිය.

ජනාධිපතිවරයාගේ ධුර කාලයේ පළමුවාරය මේ අතර කාලයේ ගෙවෙමින් තිබූ අතර ශ්‍රීලනිපයේ පිරිස කීවේ ආණ්ඩුව කෙසේ නැවතත් මහින්ද රාජපක්ෂ මහතා වෙත ලබාදිය යුතු බව කියාය. එසේ කීමට හේතු කාරණා කීපයක් බලපෑවේය. එකක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට නැවත ජනාධිපතිවරණයක් සඳහා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම 19 වැනි සංශෝධනය මගින් අහුරා තිබුණේය. අනෙක් කාරණය නම් මහින්ද පාර්ශ්වය ඊළඟ ජනාධිපතිවරණය සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉදිරිපත් වන ලෙස කීවත් ඒ අවස්ථාවේ ඔහු පුරවැසිභාවය ඉවත් කරගෙන සිටියේද නැත. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා සමඟ එක්වීම එක් පැත්තකින් මෛත්‍රීපාල මහතා සමඟ සිත් බිඳීගිය රාජපක්ෂ හිතවාදීන්ගේ හිත් දිනාගැනීමට අවස්ථාවක් විය. අනෙක ඒ හරහා නැවත ජනාධිපති අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල මහතාට ඉදිරිපත් වීමේ වරම හිමිවනු ඇතැයි යන අදහස ඇතිවිය. අවසානයේ 2018 ඔක්තෝබර් 26 හදිසියේ ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කළේය. එහෙත් නීති නොතකා පාර්ලිමේන්තුව විසුරැවීම හේතුවෙන් අධිකරණයේ නියෝග මත පාර්ලිමේන්තුව විසුරැවා හැරීම නීති විරෝධී විය. මේ නිසා ආණ්ඩුව දවස් 52කින් නිමාවිය.

එතැන් පටන් නැවතත් එජාපය සමඟ උග්‍ර මතවාදී ගැටුම් මත ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් අතර ගමන සිදුවිය. දැන් තත්ත්වය උග්‍රවී ඇත. එනම් එක් පැත්තකින් ජනාධිපතිවරණය ළංවෙමින් පවතී. අනෙක් පැත්තෙන් පක්ෂ දෙකේම අපේක්ෂකයන් නිල නොලත් ලෙස නම් කර ඇත. එජාපයට පිරිසක් නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කර ඇත. තවත් පිරිසක් එජාපයේ  නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා නම් කර ඇත. පොහොට්ටුවේ අපේක්ෂකයා ලෙස එහි පිරිස ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කර ඇත. තමා ඊට සූදානම් බව ගෝඨාභය මහතාද එක් එක් අවස්ථාවලදී ප්‍රකාශ කර ඇත. මේ පක්ෂ දෙකේම ඡන්ද ප්‍රමාණය ශ්‍රීලනිපයේ ඡන්ද ප්‍රමාණ මෙන් තුන් හතර ගුණයක්ය. ඒ නිසා ලොකුම අභියෝගය වී ඇත්තේ මෛත්‍රීපාල මහතා ප්‍රමුඛ ශ්‍රීලනිපයටය. දැන් ශ්‍රීලනිපයේ මෙහෙයුම මෛත්‍රීපාල මහතා ජනාධිපති අපේක්ෂකයා කර ගැනීමය.

ඒ සඳහා ශ්‍රීලනිපය සෘජුවම අත දමා ඇත්තේ පොහොට්ටුවටය. ශ්‍රීලනිපය සූදානම් වන්නේ කෙසේ හෝ පොහොට්ටුව සමඟ එක්වී මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යවරයා ලෙස නම්කර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නම්කර ගැනීමටය. නැතහොත් ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් වන්නේ නම් ගෝඨාභය මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කර ඔහු ජනපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමටය. එහෙත් ඒ අවස්ථා දෙකම හිර කරමින් පොහොට්ටුවේ අයගේ අභිප්‍රාය වී ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති අපේක්ෂකයා කොට මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමටය.

එසේම ශ්‍රීලනිපයේ තවත් පිරිසක් උත්සාහ ගන්නේ එජාපය සමඟ බිඳුණු බැමි නැවත එක් කර ගැනීමටය. එනම් නැවතත් ජනාධිපති අපේක්ෂාකයා ලෙස මෛත්‍රීපාල මහතා ඉදිරිපත් කර අග්‍රාමාත්‍යවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කිරීමටය. එහෙත් ඒ සඳහා එජාප මන්ත්‍රීවරැ පමණක් නොව පාක්ෂිකයන්ද එකහෙලාම විරැද්ධය. ඒ එජාපයට විරුද්ධව ජනාධිපතිවරයා හිටගත් නිසාය. මේ නිසා ජනාධිපතිවරයා එජාපයේ සමීපව ඇසුරැ කරන්නේ එජාපයේ දිනන ලකුණ යැයි පවසන සජිත් ප්‍රේමදාස මහතාය. ජනාධිපතිවරයාට මෙහෙය විය හැකි ආධාර පවා සජිත් ප්‍රේමදාස මහතාගේ නිවාස ව්‍යාපෘති සඳහා ලබාදීමට තරම් ජනපතිවරයා කාරැණික වී ඇත. මේ නිසා බොහෝ දෙනකු පවසන්නේ සජිත් එජාපයේ නායකයා බවට පත්කොට සජිත් සහ එජාපයේ සහයෙන් මෛත්‍රී නැවත බලයට ඒමට උත්සාහ ගන්නා බවය. එහෙත් සජිත් ප්‍රකාශ කර ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා වරම ලබාදෙන තෙක් බලහත්කාරයෙන් වරම ලබානොගන්නා බවය. එසේ නම් ශ්‍රීලනිපයේ එම හීනයද බොඳව ගොස් ඇත.

කෙසේ වෙතත් ශ්‍රීලනිපයේ බරපැන දරන තිලංග සුමතිපාල මහතා වර්තමානයේ ගෙන යන බෞද්ධ ව්‍යාපාරය පිළිබඳව බොහෝ දෙනා ඉන්නේ අවධානයෙන්ය. ඒ ඥානසාර හිමියන්ට ජනපති සමාව දී එළියට ගැනීමේ මෙහෙයුම පිටුපස සිටියේ තිලංග සුමතිපාල මහතා යැයි කියන බැවිනි. එපමණක් නොව ඥානසාර හිමියන් බන්ධනාගාරයෙන් එළියට පැමිණීමට ආසන්න මොහොතේදීත් එළියට පැමිණ දවස් කිහිපයකට පසු දානය වැළඳීමට ගොස්ද තිලංග සුමතිපාල මහතා හමුවීය. එසේම පසුගියදා බොදුබල සේනා සංවිධානය නුවර පැවති සමුළුවේ ප්‍රධාන ආරධිතයා වුණේද තිලංග සුමතිපාල මහතාය. එසේනම් ඥානසාර හිමියනුත් සුමතිපාල මහතාත් අතර තිබෙන සබඳතාවය කුමක්ද? ඥානසාර හිමියන් පවසන්නේ 2020ට බෞද්ධ නායකයකු බෞද්ධ ඡන්දවලින් ගෙන එන බවය. එය රාජපක්ෂවරැන්ට අදාළ නැත. ඒ රාජපක්ෂවරැන් සියලු ජාතීන් සමඟ සිය දේශපාලනය කරන නිසාය. එජාපයට අදාළද නැත. එජාපයද සිය දේශපාලනය සියලු ජාතීන් එක්ව කරයි. ඇත්තේ එකම එක පක්ෂයක්ය. ඒ මෛත්‍රීපාල මහතාගේ පාර්ශ්වයය. ඔහු මේ වනවිට වේදිකාවක් ගානේ ඉස්ලාම් අන්තවාදය නැතිකළ බව කියයි. කුඩු මාෆියාව නිමකරමින් යන බව කියයි. වංචාවට දූෂණයට එළිපිට පහර දෙයි. එසේනම් ඥානසාර හිමියන් කියන බෞද්ධ නායකයා මෛත්‍රීපාල මහතාද? බෞද්ධ රුල්ල එකතු කරන්නේ එයටද?

මේ වනවිට පැහැදිලිවම මෛත්‍රීපාල මහතාට ශ්‍රීලනිපයෙන් හැරෙන්නට වෙනත් පක්ෂයක ඉඩ ලැබෙන්නේ නැත. එහෙත් පක්ෂයට ඇති ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 15ට අඩුය. එවැනි ඡන්ද සංඛ්‍යාවකින් ජනාධිපති විය නොහැක. මෛත්‍රීපාල මහතාට ගත හැකි හොඳම උදාහරණය වන්නේ ඔහුමය. ඔහු 2015 ජනාධිපතිවරණයේදී ලබාගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 62කි. ඒ නිසා මෙවර තරගය වැඩිය. ජනාධිපතිවරයා කෙතරම් කිව්වත් මෙවර ඔහු ඉදිරිපත් වනවා නම් නියත වශයෙන්ම තුන්කොන් සටනක් ඇතිවනු ඇත. එහිදීද අසාධාරණයක් වන්නේ ජනාධිපතිවරයාටමය. එහෙත් තවමත් ජනාධිපතිවරයා ඉදිරිපත් වන බවට ප්‍රකාශ කර නැත. සමහරවිට ජනාධිපතිවරයා රටේ ජනමතය ගැන දන්නවා විය හැක. ඒ ඔහු පරිණත දේශපාලඥයකු වන නිසාය.

 ගයාන් ගාල්ලගේ