කොළඹ සිට මාතර දක්වා 1895 වර්ෂයේදී ඉදිකළ මුහුදුබඩ දුම්රිය මාර්ගයට නව අරුතක් එක් කරමින් මාතර සිට කතරගම දක්වා වූ කොටසේ ඉදිකිරීම් ආරම්භ කෙරිණි. එවකට ජනාධිපති ධුරය දැරෑ මහින්ද රාජපක්ෂ මහතා 2006 අගෝස්තු මාසයේදී මාතර නාවිමනේදී මාතර - බෙලිඅත්ත නව දුම්රිය මාර්ගය ඉදිකිරීමට මුල්ගල් තැබීය. 2013 වර්ෂයේ අගෝස්තු මස පළමුවැනිදා නිල වශයෙන් ඉදිකිරීම් කටයුතු ආරම්භ විය.
වෙරළබඩ දුම්රිය මාර්ගය තවදුරටත් දීර්ඝ කිරීමට ඉදිකිරීම් ආරම්භ කළ මාතර සිට කතරගම දක්වා ඉදිකිරීමට යෝජිත දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු අදියර තුනකින් සමන්විතය. මාතර සිට බෙලිඅත්ත දක්වා වන කොටස පළමු අදියර ලෙසත්, බෙලිඅත්ත සිට හම්බන්තොට දක්වා වන කොටස දෙවැනි අදියර ලෙසත් සහ හම්බන්තොට සිට කතරගම දක්වා වන කොටස තෙවැනි අදියර ලෙසත්ය. පළමු අදියර වන මාතර පර්යන්තයේ සිට බෙලිඅත්ත දක්වා වන මාර්ගයේ දුර කි.මී. 26.75 වන අතර චීන එක්සින් බැංකුවේ මූල්‍ය ප්‍රතිපාදන මත මධ්‍යම ඉංජිනේරු කාර්යාංශයේ ප්‍රධාන උපදේශනය යටතේ එහි අධීක්ෂණ කටයුතු සිදුවිය. මෙම දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු භාර ප්‍රධාන කොන්ත්‍රාත්කරැ වන්නේ චයිනා මැෂිනරි ඉම්පෝර්ට් එක්ස්පෝර්ට් කෝපරේටිව් සමාගමයි. උප කොන්ත්‍රාත්කරැ ලෙස චයිනා රේල්වේ සර්විසස් සමාගම කටයුතු කරයි. මාතර සිට බෙලිඅත්ත දක්වා කොටසෙහි ඇස්තමේන්තුගත වියදම ඇමෙරිකන් ඩොලර් 278.2කි.
2013 වර්ෂයේදී නිල වශයෙන් ඉදිකිරීම් ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘතියේ මහත් ඵල විදහා දක්වමින් මාතර සිට කතරගම දක්වා දුම්රිය මඟට ආවඩා කියමින් මාතර - බෙලිඅත්ත දුම්රිය මඟ පසුගිය අප්‍රේල් මස 08 වැනිදා ජනතා අයිතියට පත් කෙරිණි. මාගම් පත්තුවේ ජනතාවගේ සිහිනය සැබෑ කරමින් ඔවුන්ගේ අයිතියට පත්වූ නව දුම්රිය මාර්ගයේ ගමන් කරන්නට දහස් සංඛ්‍යාත ජනයා එකතු වූයේ තමන්ට මතක ඇති කාලයේදී ඉදිකළ පළමු දුම්රිය මාර්ගය ආදරයෙන් වැළඳගනිමිනි.
ඉඩකඩම් සින්නක්කරයට ලියාගනිමින් නව මංපෙතේ දිවයන යකඩ යකාගේ නාදයෙන් අවට ගම් දෙදරද්දී තවමත් මාගම්පත්තුවේ ජනතාව තමන් යන එන ගමන බිමන මොහොතකට නවත්වා ඈතින් දිවයන දුම්රියට අතවැනීමට පුරැදු වී සිටින්නේ ඔවුන්ට මෙම දුම්රිය මාර්ගය කාලයක සිට සිහිනයක්ව පැවති නිසාවෙනි. මගී ජනයාගේ සුව පහසුව වෙනුවෙන් ඉදිකළද දුම්රිය මාර්ග ව්‍යාපෘතිය පිළිබඳව විවිධාකාර අදහස් උදහස් කනින් කොනින් ඇසෙන්නට ලැබේ.
දුම්රිය මාර්ගය සහ බෙලිඅත්ත දුම්රිය ස්ථානය ජනතා අයිතියට පත්කර ගත වූයේ දින කිහිපයකි. ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් බෙලිඅත්ත ප්‍රධාන දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ල තුළට ජලය කාන්දුවන්නට විය. ඇල්ලක් සේ ඇදහැලෙන වතුර කඳ දුම්රිය ස්ථානාධිපතිවරයාගේ නිල කාමරයට ඔහුට ඇතුළු වීම පවා අවහිර කර තිබිණි. තවමත් සම්පූර්ණයෙන් ඉදිකිරීම් අවසන් නොමැති බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ විය.
කෙමෙන් කෙමෙන් කාලය ගත වෙද්දී දුම්රිය මාර්ගය ජනතා අයිතියට පත්කර මාස තුනක් සම්පූර්ණ වීමෙන් පසුව ආරංචි වූයේ බෙලිඅත්ත දුම්රිය ස්ථානයෙහි දුම්රිය රියැදුරන්ගේ නේවාසිකාගාරයේ කාමර කිහිපයක සිවිලිම ගැලවී වැටී ඇති බවයි.
පෙර දින දුම්රිය ගමන් වාර අවසන් කර රාත්‍රී නින්දට වැටුණු දුම්රිය රියැදුරන් පසුදා (19) යළි උදෑසනින්ම අවදිවී සිය රාජකාරී කටයුතු ආරම්භ කර ඇත. කලට වේලාවට රාජකාරී ආරම්භ කිරීම හේතුවෙන් මෙම අනතුරෙන් දුම්රිය රියැදුරන්ට කිසිදු තුවාලයක් සිදුනොවී බේරීමට හැකියාව ලැබිණි.
දුම්රිය ස්ථානයේ ගොඩනැගිල්ලේ ඉහළ සවිකර තිබූ ජල ටැංකියක ජලය පිටාර ගැලීමත් සමඟ දෙවැනි මහලේ පිහිටි කාමරවලට ජලය ගලා ඒම නිසා දුම්රිය රියැදුරන්ගේ කාමරවල සිවිලිම ගැලවී වැටී තිබිණි. මේ හේතුවෙන් කාමර දෙකකට හානි සිදුවිය. වෙනදා සිසිල ලබා දෙන විදුලි පංකාවෙන් එදා ජලය කාන්දුවන ආකාරයද රියැදුරන්ගේ කාමරවල තිබූ ඇඳන්, මේස ආදී උපකරණ මතට සිවිලිමේ කොටස් වැටී තිබූ ආකාරයද එහි ගිය අපට දක්නට හැකිවිය. කෙසේ වුවද කඩාවැටුණු සිවිලිමේ ප්‍රතිසංස්කරණ කටයුතු දැන් ආරම්භ කර තිබේ.
බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති සිරිල් මුණසිංහ මහතා මේ සම්බන්ධයෙන් සොයාබැලීමට බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ගිය අතර ඔහු එහිදී මෙලෙස අදහස් දැක්වූයේය.
බෙලිඅත්ත නව දුම්රිය ස්ථානයේ සිවිලිම මේ වනවිට කඩාවැටිලා. මම ඒ සම්බන්ධයෙන් සොයාබැලීමට එම ස්ථානයට ගියා. දුම්රිය රියැදුරන්ගේ කාමරවලට සිවිලිම ලෙස යොදා තිබෙන්නේ කල්ඉකුත් වූ ද්‍රව්‍යයි. අතින් ඇල්ලුවාම කැබලි ලෙස කුඩුවෙනවා. දුම්රිය ස්ථානයේ සම්පූර්ණයෙන්ම යොදා තිබෙන්නේ මේ සිවිලිමයි. සාමාන්‍ය වැහි පොදක් වැටුණත් සිවිලිම දියවෙලා යනවා. සාමාන්‍ය ජනතාවගේ බදු මුදල්වලිනුයි මේ ව්‍යාපෘති සකස් කර තිබෙන්නේ. මේවා ගැන අදාළ ඉහළ බලධාරීන් සොයාබැලිය යුතුයි.
බෙලිඅත්ත පුවක්දණ්ඩාව ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයකු වන ශාන්ත පතිරණ මහතා මෙසේ පැවසුවේය.
දකුණු ආසියාවේ තිබෙන හොඳම දුම්රිය ස්ථානය ලෙස ඉදිකළ බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ දැන් ඇති වී තිබෙන තත්ත්වය ගැන කනගාටුයි අපිට. අපේ ගම්වල මිනිස්සුන්ට මේ දුම්රිය ව්‍යාපෘතිය විශාල සම්පතක්. නමුත් මෑත දිනකදී දුම්රිය ස්ථානයේ රියැදුරන්ගේ කාමරවල සිවිලිම ගැලවී වැටී තිබුණා. ප්‍රමිතියකින් තොරව සිදුවූ ඉදිකිරීම් නිසායි මේ තත්ත්වය ඇති වී තිබෙන්නේ. අපේ ගමේ තිබෙන සම්පතක් විදියට අපි මේවා ආරක්ෂා කළ යුතුයි. මේ ගැන බලධාරීන් සොයාබැලිය යුතුයි.
අප මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධාන ඉංජිනේරැ ප්‍රියන්ත දීගල මහතාගෙන් කළ විමසීමේදී ඔහු බෙලිඅත්ත දුම්රිය ස්ථානයට ජිප්සම් බෝඩ් සිවිලිම් සවිකර තිබෙන්නේ. සාමාන්‍යයෙන් සවිකරන්නේ එම සිවිලිම් වර්ගයයි. මෝටරයක ඇති වූ ගැටලුවක් හේතුවෙන් ජලය ගලා ඒම නිසායි රියැදුරන්ගේ කාමරවල සිවිලිම දක්වා ජලය ගලා ආවේ. එසේ නැත්නම් එම ස්ථානයට ජලය ගලා ඒමේ හැකියාවක් නැහැ. නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ දැන් ප්‍රතිසංස්කරණ කටයුතු සිදුකරනවා. මින් ඉදිරියට ගැටලුවක් ඇති වන්නේ නැහැ යැයි පැවසුවේය.
සියලු අභියෝග ජයගනිමින් ජනතාවට කාර්යක්ෂම දුම්රිය සේවයක් ලබාදීමේ අරමුණින් දුම්රිය ස්ථානයේ සමස්ථ කාර්යය මණ්ඩලය කැප වී කටයුතු කරන බව බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ ස්ථානාධිපතිවරයා කීවේය.
සටහන සහ ඡායාරූප
සිටිනාමළුව - අනීෂා මානගේ