2019 ජුලි 27 වන සෙනසුරාදා

ජනප්‍රිය පරිවර්තන පාඨකයා එක තැන පල් කරනවා

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 366

- ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහ

පරිවර්තන සාහිත්‍ය කෘති 50කට අධික සංඛ්‍යාවක් පළකර ඇති ප්‍රවීණ පරිවර්තක සේනාරත්න වීරසිංහගේ නවතම කෘතිය ලොව පුරා ඇගැයීමට ලක් වුණු චීන නවකතාවක් වන Crouching Tiger, Hidden Dragon හි පරිවර්තනයයි. එම පොත යකඩ මාවත නමින් පසුගියදා පළ කෙරැණි. මේ වර්තමාන පරිවර්තන සාහිත්‍යය ගැන සේනාරත්න වීරසිංහ දැක්වූ අදහස්ය.

ඔබේ අලුත්ම පරිවර්තන කෘතිය ගැන පැවසුවොත්?

යකඩ මාවත චීන නවකතාව කුංග්ෆු සටන් කලාව තේමාකර ගත් කෘතියක්. මේක අපිට ලැබුණේ ඉංග්‍රීසියට පරිවර්තනය කළ කෘතියක් හරහායි.

මෙම කෘතියේ කතා තේමාව සුවිශේෂී බවක් ගන්නවා නේද?

ඔව්. මෙහි ඇතුළත් වන්නේ චීනයේ පුරාණයේ පටන් පැවත එන කුංග්ෆු සටන් කලාවෙන් ප්‍රවීණත්වයට පත් තරුණියකගේ කැපවීමයි. ස්වාමි පුරුෂයා වෙනුවෙන් තිබෙන භක්තිය හා සැමියා අහිමි වීමෙන් ඇය නිර්භීතව සමාජයට මුහුණ දෙන ආකාරයයි. චීන කාන්තාවකගේ ස්ථිර මනස් ස්වභාවය මෙහි කදිමට නිරෑපණය කෙරෙනවා. ෂූ ලියන් කියන කාන්තා චරිතය හා එයට සම්බන්ධ වන වෙනත් චරිත හරහා මෙම කතාව ගෙතී තිබෙනවා. සටන් කලාව තුළින් නික්මවන ලද චරිත එකිනෙකා තේරැම් ගනිමින් ජීවිත පරිත්‍යාගශීලිත්වය දක්වන අන්දම තමයි මෙහි ප්‍රධාන තේමාව වන්නේ.

දශක දෙකකට පමණ පෙර මෙම කෘතිය පාදක කරගෙන නිෂ්පාදනය වුණු චිත්‍රපටයත් ලංකාවේ ජනප්‍රිය වුණු බව අපට මතකයි.

ඔව්. Coaching Tiger, Hidden Dragon කියන චිත්‍රපටය යුරෝපයේ වගේම ආසියාවේත් ජනප්‍රිය වුණා. ඈන් ලී කියන චීන තරුණ අධ්‍යක්ෂකවරිය තමයි එය නිර්මාණය කළේ. මේ චිත්‍රපටිය 2001 වසරේදී විදේශීය චිත්‍රපටයක් ලෙස ඔස්කාර් සම්මාන 5ක් ලබාගත්තා. එය විදේශීය චිත්‍රපටයක් ඔස්කාර් උළෙලේ ලැබූ වැඩිම සම්මාන සංඛ්‍යාවයි. ඒ නිසා චිත්‍රපටය ලොව රටවල් පුරා ජනප්‍රිය වුණා. ඊටපසු චීන නවකතාව ගැනත් ලෝක අවධානය යොමු වුණා. ඒ වගේම වෙනත් චීන චිත්‍රපට ගැනත් ලෝකය විමසිලිමත් වුණා.

මේ නවකතාව චීන දෘෂ්ටාන්ත (Epic) ශෛලියේ ජනප්‍රිය දැවැන්ත නවකතාවක්. ඒක අදියර පහකින් ලියූ නවකතාවක්. ඉංග්‍රීසියට පරිවර්තනය කර ඇත්තේ මේ අදියර පහෙන් කොටස් අරගෙනයි.

කලකට පෙර සිරිල් සී. පෙරේරා, කේ. ජී. කරුණාතිලක වගේ පරිවර්තකයන් සම්භාව්‍ය විදේශීය කෘති සිංහලට පරිවර්තනය කළා. අද බහුලව බිහිවන්නේ සරල නවකතා පරිවර්තන නේද?

සිරිල් සී. පෙරේරා, කේ. ජී. කරුණාතිලක වගේ ලේඛකයන් උසස් කෘති සිංහලට පරිවර්තනය කළ බව ඇත්ත. නමුත් පසු කාලයේදී විවෘත ආර්ථිකයත් එක්ක සම්බන්ධ වනවිට ඒ ස්වභාවය වෙනස් වුණා. සාහිත්‍ය ගනුදෙනුවලදී රැලි ගොඩනැගෙන්නේ දේශපාලන සමාජ වාතාවරණයත් සමඟයි. ඒ නිසාම සරල පරිවර්තන රුල්ලක් ආවා. කේ. ජී. කරැණාතිලක මහතාත් අවසාන කාලයේදී එඩ්ගාර් රයිස් බරෝස් වගේ ලේඛකයන්ගේ සරල ජනප්‍රිය කෘති පරිවර්තනයට යොමු වුණා. විචාරකයෝ ඒවා අගය කළේ නැහැ. ඒවාගේ සමාජමය විවරණයක් නැහැ. කොනන් ඩොයිල්ගේ කතාත් ජනප්‍රිය වන්නට වුණා.

ඔබත් ජනප්‍රිය කතා පරිවර්තනය කළා නේද?

ඔව්. අගතා ක්‍රිස්ටිගේ දඬුවම ලුහුබැඳ, අර්ලි ස්ටැන්ලි ගාඩ්නර්ගේ වෙස්මුහුණ, රොබින් හුඩ්, දොස්තර ජැකිල් සහ මිස්ටර් හයිඩ් වගේ පොත් කිහිපයක් පරිවර්තනය කළා. නමුත් ඒ අතරම පාඨකයාගේ රසවින්දනය තවදුරටත් ඔසවා තබන පොත් පරිවර්තනයට මා වැඩි වෙහෙසක් ගත්තා. කමදා දාස්, මොති නන්දි, සත්‍යජිත් රායි, ක්‍රිෂන් චන්දර් වගේ ඉන්දීය ලේඛකයන්ගේ කෘතිත් යුකිඕ මිෂිමා, ඉවාන් තුර්ගිනිව්, පර්ල් එස්. බක්, අමෝස් ටුටුලා, මැක්සිම් ගෝර්කි වගේ ලේඛකයන් රාශියකගේ උසස් කෘතිත් පරිවර්තනය කර තිබෙනවා.

ඔබ මේ වනවිට පරිවර්තන කොපමණ පළකර තිබෙනවද?

නවකතා පරිවර්තන 47ක් පමණත්, කෙටිකතා පොත් තුනක් සහ සිනමා තිරනාටක 3ක් වශයෙන් පරිවර්තනය කර තිබෙනවා. එයට අමතරව ශාස්ත්‍රිය කෘති කිහිපයක් සහ ළමා පොත් කිහිපයකුත් මගේ පරිවර්තන අතර තිබෙනවා.

ඔබේ පරිවර්තන දෙස බලනවිට පෙනෙන්නේ විවිධ ශානර ඔස්සේ ලියන ලේඛකයන්ගේ කෘති සිංහලට හඳුන්වාදීමට උත්සාහ කරන බවයි.

ඔව්. මම ඒ සඳහා උනන්දුයි. විවිධ ලේඛකයන් විවිධ ආකාරයේ පොත් ලියනවනේ. අගතා ක්‍රිස්ටි කියන්නේ ත්‍රාසජනක කතා රචිකාවියක්. ජනප්‍රිය ගණයේ ලේඛකයන් වගේම සම්භාව්‍ය උසස් ලේඛකයන්ගේ කෘතිත් මම පරිවර්තනය කළා. පසුගිය වර්ෂයේ මා පළකළ මැක්සිම් ගෝර්කිගේ අම්මා නවකතාව අසංක්ෂිප්ත පරිවර්තනයක්. ජනප්‍රිය පොත් කියවීම ගැටලුවක් නැහැ. නමුත් ඒවාට වහල් වීමෙන් සාහිත්‍ය රසඥතාව වර්ධනය වන්නේ නැහැ. සමාජ විඥාණයක් ගොඩ ගැසෙන්නේ නැහැ. ඩීමන් ආනන්ද පිටරට ගොපළු නවකතා, චිත්‍රපටවල කතා සාරය අරන් ජනප්‍රිය රහස් පරීක්ෂක කතා ලිව්වා. එහෙම කළාට විශිෂ්ට රචකයෙක් වන්නේ නැහැ. ඔහු මුල් කෘතිය ගැන සඳහන් කළෙත් නැහැ. ඒවා රසිකයන්ට විකුණා ගැනීමට ලියන නවකතා පමණයි.

අද පරිවර්තන සාහිත්‍යය කුමන මඟක් ගතයුතු දැයි ඔබ හිතනවාද?

ජනප්‍රිය කතා පමණක් නොව විදග්ධ සම්ප්‍රදායත් නොව ඒ අතර මැද මාවතේ කෘති බහුලව පරිවර්තනය විය යුතුයි. සමාජ අත්දැකීම් ගැන කියැවෙන, කතා කියවීමට මිනිසුන් ආසයි. අමෙරිකාව, එංගලන්තය, ජපානය, චීනය ඇතුළු රටවල විශාල වශයෙන් මෙවැනි පොත් පළවෙනවා. එවිට පාඨකයාට එම කෘති ඇසුරෙන් ඒ රටවල සමාජය විඳගැනීමට ඉඩ ලැබෙනවා. ඒවා කියවීමෙන් ලැබෙන පෙළඹවීම හරහා සම්භාව්‍ය කෘති කියවීමටත් උනන්දුවක් ඇති වෙනවා.

ලෝකයේ තිබෙන දේශපාලනය සාහිත්‍යකරැවාට වස්තු විෂය වෙනවා. නවකතාකරුවටත් එය බලපානවා. පවතින දේශපාලනය දෙස තුලනාත්මකව බලමින් තමයි සාහිත්‍යමය කෘති රචනා විය යුත්තේ.

අද අපට පේනවා රහස් පරීක්ෂක ත්‍රිලර් කතා පරිවර්තන රැල්ලක් පැන නැගී ඇති බව.

හාඩ්ලි ජේම්ස්, ස්ටැන්ලි ගාඩ්නර්, අගතා ක්‍රිස්ටි වගේ අය ටිකක් පැරණි ජනප්‍රිය ලේඛකයෝ. මයිකල් ක්‍රික්ටන්, ෆ්‍රෙඩ්රික් ෆෝසයිත්, මේරි ගිහින්ස්, ක්ලාක් වගේ අලුත් ලේඛකයන් රාශියක් අද සිංහල පාඨකයන්ට කියවීමට ලැබී තිබෙනවා. නමුත් ජීවිත පරිඥානය ලැබීමට නම් ඒවායින් තවත් ඉහළට පිවිසීම අවශ්‍යයි. සරලම ජනප්‍රිය පරිවර්තන බහුලව බිහිවීමෙන් රසිකයා එක තැන පල්වෙනවා. ඔහුට ඉහළට යාමට ඉඩ ලැබෙන්නේ නැහැ. නමුත් කළ යුත්තේ රසිකයා විදග්ධ කෘති වෙතට ළඟා කරවීමයි.

මුල් කෘතියේ පරිවර්තන අයිතිය ලබා නොගෙන සිංහලට කෘති පරිවර්තනය කරන බවට චෝදනාවක් නැගෙනවා නේද?

අපි පොතක් පරිවර්තනය කරනවිට එය අලුත් පොතක් නම් පරිවර්තන අයිතිය අවසරය ලබාගත යුතුයි. ලංකාව පොඩි වෙළෙඳපොළක් සහිත රටක් නිසා බොහෝ ලේඛකයන් නොමිලේම ඒ අවසරය ලබා දෙනවා. මා වසිලිස් වසිලිකොස් ලියූ පොතක් පරිවර්තනය කිරීමට එලෙස අවසරය ලබා ගත්තා. එය සම්මානනීය නවකතාවක්. යුද්ධය හමාරය නමින් පරිවර්තනය කළා. ඔහු මට ඉල්ලීමක් කළේ සිංහල පොත් 25ක් ලබාදෙන ලෙස පමණයි. ඒ හැරෙන්නට බොහෝ ප්‍රකාශකයන් අදාළ විදේශීය ප්‍රකාශන සමාගම්වලට දැනුම් දී පරිවර්තන අයිතිය ලබාගෙන තිබෙනවා. එලෙස අවසර නොගෙන පරිවර්තන පළකිරීම නම් සදාචාරාත්මක ප්‍රශ්නයක්.

- කුසුම්සිරි