පාස්කු දින ප්‍රහාරයත් සමඟ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහිව සිවිල් පුරවැසියන් ප්‍රමුඛ සංවිධාන රාශියක මෙන්ම පාර්ලිමේන්තුවේත් බරපතළ චෝදනා සමඟ විරෝධතා එල්ල විය. ඇතැම් චෝදනා සම්බන්ධව අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. තවත් කාරණා කිහිපයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් විය. තත්ත්වය එසේ වුවද අමාත්‍යවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් සිටියේය.
මේ අතර පාර්ශ්ව කිහිපයක් විසින් අමාත්‍යවරයාට එරෙහිව පොලිස් මූලස්ථානය වෙත සහ අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව වෙත පැමිණිලි ඉදිරිපත් කළෝය. ඒ අනුව සැකකටයුතු මූල්‍ය ගනුදෙනුවක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණි. එම ගනුදෙනු අමාත්‍යවරයාගේ පෞද්ගලික ව්‍යාපාරවලට අදාළ බවද වාර්තා වී තිබුණි.
සැකකටයුතු මූල්‍ය ගනුදෙනු පිළිබඳව විමර්ශන සිදුකරන මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීම මත කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉකුත් 18 දා නියෝගයක් ලබාදුන්නාය. එමගින් ඇය දන්වා තිබුණේ පෞද්ගලික ඉදිකිරීම් ආයතන තුනක අධ්‍යක්ෂවරිය වශයෙන් කටයුතු කරන කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයිෂා යන අයගේ පෞද්ගලික ගිණුමකට බැරවූ රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් රජයේ හා පෞද්ගලික මූල්‍යායතන හතක ගිණුම් පිළිබඳව සවිස්තර වාර්තාවක් ලබාගන්නා ලෙසය.
කිදෙර් මොහොමඩ් සහබ්දීන්ගේ අයිෂා නැමැත්තිය අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ බිරිය බවත් ඇය අමාත්‍යවරයාට අයත් බව කියන මෙගා කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් සප්ලයර්ස් පෞද්ගලික සමාගම, ලිවර්පූල් ලංකා ඉංජිනියරින් පෞද්ගලික සමාගම සහ ග්‍රීන් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් යන ආයතනවල අධ්‍යක්ෂවරියක් වශයෙන් කටයුතු කරන බවද පැවසේ.
විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ සැකකාරිය අංක 410/16 බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ලිපිනයේ පදිංචි බවය. ඇයගේ ජාතික හැඳුනුම්පත්‍රයට අදාළව විදෙස් ගමන් බලපත්‍ර දෙකක් නිකුත් කර ඇති බව හෙළිව ඇති අතර අංක 12, අල්මිනාපුරම්, කිල්ලේ අඩ්, පුත්තලම සහ අංක 37/C, ස්ටෙල්මෝර් ක්‍රසන්ට්, කොළඹ 07 එම ලිපින බවත් අනාවරණය වී ඇත.
සහබ්දීන් අයිෂා නැමැත්තියගේ පෞද්ගලික ගිණුමට බැර වී ඇතැයි කියන රුපියල් පන්කෝටි පනස් ලක්ෂයකට අධික මුදල සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන අනුව අධිකරණය විසින් අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 124 වැනි වගන්තිය ප්‍රකාරව මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළේ 2006 අංක 06 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ 15 (1) වගන්ති ප්‍රකාරවය. ඒ අනුව අධිකරණය නියෝග කර ඇත්තේ ලංකා බැංකුව, මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව යන රාජ්‍ය බැංකු ගැන සහ කොමර්ෂල් බැංකුව, පෑන් ඒෂියා බැංකුව, අමානා බැංකුව සහ එල්.ඕ.එල්.සී මූල්‍ය සමාගම්වලින් අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසය. ඊට පෙර මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ පෙර නම් සඳහන් කළ බැංකු සහ මූල්‍ය ආයතනවල මූලස්ථාන ශාඛාවන්හි කළමනාකරුවන් වෙතින් ඉහත වාර්තා ලබාගැනීමට අවශ්‍යව ඇති බවකි.
අවශ්‍ය කරන ගිණුම් ආරම්භයේ සිට 2019-06-31 දක්වා බැංකු ප්‍රකාශ, අදාළ ගිණුම් ආරම්භ කිරීමට අවශ්‍ය ලේඛන, මැන්ඩේට් පත්‍ර, අත්සන් කාඩ් පත්, බැංකු ශාඛාවන් සහ ගිණුමේ ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයන්ගේ විස්තර ගිණුම් සාරාංශය අවශ්‍ය බවද දක්වා ඇත. එමෙන්ම 2016 - ජනවාරි පළමුවැනිදා සිට 2019 ජූනි මාසය දක්වා සිදුකර ඇති සියලු ගනුදෙනුවලට අදාළ දේශීය විදේශීය හර හා බැරපත් චෙක්පත් නිකුත් කර ඇති චෙක්පත් කාණ්ඩ අංකයන්හි සහතික පිටපත් සැකකාර සහබ්දීන්ගේ අයිෂා නැමැත්තියගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ඇති සියලුම ගිණුම්වලට අදාළ වාර්තා හා විමර්ශනයේදී හෙළිවන අනෙකුත් අනුශාංගික කරුණු ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය ලේඛන සමඟ බැංකු නිලධාරීන්ගේ ප්‍රකාශ ලබාදෙන ලෙසට අධිකරණයෙන් අදාළ බැංකු වෙත නියෝග නිකුත් කර ඇත.
එල්.ඕ.එල්.සී. මූල්‍ය සමාගම සමඟ සැකකාරිය සිදුකළ ගනුදෙනුවකට අදාළව මූල්‍ය අපරාධ කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කොට තිබුණේ ඉකුත් ජූලි පළමුවැනිදාය. ඇගේ නමට යටතේ ගිණුමකින් 2018 ජනවාරි 26 වැනිදා රුපියල් මිලියන 55ක් ලබාගෙන එම මුදල අවස්ථා අටකදී 2018 ජූනි 11 වැනිදා වනවිට ගෙවා අවසන් කර ඇති බවද හෙළි වී ඇති බව අධිකරණයට වාර්තා කර ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂවරයාගේ දැනුම්දීමෙන් පොලිස්පතිවරයාගේ නියෝග පරිදි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ ඒකක 04 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. ඒ. එස්. පී. රණසිංහ මහතා විසින් සිද්ධියට අදාළ කරුණු අධිකරණයට වාර්තා කොට ඇත.
ඒ අනුව 2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත අනුව විමර්ශන සිදු කෙරෙයි.
► සමන්ත ප්‍රදීප් විල්තෙර