කින්නියා උණුදිය ළිං පිහිටි භූමිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට ගැනෙන්නකි. එම ළිං පිහිටි භූමියෙන් බෞද්ධ ස්මාරකවල නටබුන් හමු වූ බැවින් 2011 සැප්තැම්බර් 9 දින අංක 1723 දරන ගැසට් පත්‍රය මගින් එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව යටතට පැවරිණි. ඒ අනුව එම ප්‍රදේශයේ අක්කර පහක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අයත් විය.
මෙම උණුදිය ළිං ක්‍රි.ව. 143 - 167 කාලයේ රජකළ භාතිකතිස්ස රජු සමයේදී ඉදිකෙරැණු බවට සාධක හමු වී තිබේ. වෙල්ගම් රජමහා විහාරය ආරම්භ කළ සමයේ එහි වාසය කළ භික්ෂූන්ගේ පැන් පහසුව පිණිස මේ ළිං සාදන ලදැයි පැවසෙයි. 2012, 13 වසරවල මෙම උණුදිය ළිං සහිත ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක කැණීමක් සිදු කරන ලදී. එහිදී පුරාණ දාගැබක හා ප්‍රතිමා ගෘහයක නටබුන් සහ තවත් පුරාවිද්‍යාත්මක වැදගත්කමින් යුතු භාණ්ඩ රැසක් හමු විය. එම දාගැබ අනුරාධපුර යුගයට අයත් යැයි පැවසේ. එහි දී සෙල්ලිපි තුනක් සොයා ගැනිණි. එක් සෙල්ලිපියක සඳහන් වන්නේ වැව් කිහිපයක ජලය මහා සංඝරත්නයට පූජා කළ බවටය. කෙසේ වුවද ප්‍රතිපාදන නොමැති වීම නිසා දාගැබේ සංරක්ෂණ කටයුතු ප්‍රමාද විය. මේ වසරේ යළි ප්‍රතිපාදන ලැබීම නිසා එහි සංරක්ෂණ කටයුතු ආරම්භ විය.
සංරක්ෂණ කටයුතු ආරම්භ වූ පළමු දිනයේම හින්දු භක්තිකයන් පිරිසක් එම ස්ථානයට පැමිණ එයට විරෝධය පෑහ. එම භූමියේ හිමිකාරීත්වය තමන් සතු බවට එක්තරා කාන්තාවක් ප්‍රකාශ කළාය. එම ස්ථානයේ හින්දු කෝවිලක් තිබූ බවත්, එය කඩා දමා බෞද්ධ සිද්ධස්ථානයක් ගොඩනගනවාට තමන් විරුද්ධ බවත් පවසමින් එහි පැමිණි හින්දු පූජකවරයකු ඇතුළු පිරිසක් පුරාවිද්‍යා නිලධාරීන්ට විරෝධය පාන්නට වූහ. පසුව පොලීසිය හා දිසාපතිවරයා මැදිහත් වී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා බලන තෙක් සංරක්ෂණ කටයුතු දින කිහිපයකට නැවැත්වීමට පියවර ගැනිණි.
මෙම ස්ථානයේ පුරාවිද්‍යාත්මක වශයෙන් වැදගත් ස්ථාන තුනක් තිබේ. හින්දු කෝවිල ඉදිකර තිබුණේ දාගැබ පිහිටි ස්ථානය මත කොන්ක්‍රීට් ලෑල්ලක් අතුරා ඒ මතය. කෝවිලක් යැයි පැවසුණද එය දේව රූපයක් තබා වැඳුම් පිදුම් කිරීමට තනා ගත් ස්ථානයකි. කැණීම් සිදුකරන අවස්ථාවේ ඔවුන් විසින් එය එම ස්ථානයෙන් ඉවත් කරගෙන තිබිණි.
පසුව ත්‍රිකුණාමල දිසාපති කාර්යාලයේදී සාකච්ඡාවක් පැවැති අතර එයට නැගෙනහිර පළාතේ දේශපාලනඥයන් හා භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සහභාගී වූහ. එහිදී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා එම පරිශ්‍රයේ ඇති පුරාවිද්‍යාත්මක අගයත්, පුරාවිද්‍යා අණපනත් යටතේ එම පරිශ්‍රයේ අයිතිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු බවත් පිරිසට පැහැදිලි කළේය. ප්‍රශ්නය සාමකාමී ලෙස විසඳෙමින් පැවති අතර පිරිස විසිර යාමට සූදානම් වෙද්දී මනෝ ගනේෂන් ඇමැතිවරයා එහි පැමිණ එම තත්ත්වය ව්‍යාකූල කළේය. මේ සම්බන්ධයෙන් කොළඹ දී සාකච්ඡා කළ යුතු යැයිද ඔහු පැවසීය. ඔවුන් එම පරිශ්‍රයේ හින්දු කෝවිලක් තැනීම සඳහා අවසරයද ඉල්ලා සිටි අතර ඒ සඳහා අවසර ලබා දීමට පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා කැමැත්ත පළ කළේය.
මනෝ ගනේෂන් ඇමැතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික් ත්‍රෛනිකායික එක්සත් භික්ෂු බල මණ්ඩලයේ ලේකම් අලුත්ඔය සද්ධාතිස්ස හිමියන් ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ සංහිඳියාව භාර ඇමැතිවරයා විසින් මෙම ස්ථානයේ කෝවිලක් විනා පන්සලක් නොතිබූ බවට කරන ලද ප්‍රකාශය සංහිඳියාවට බාධාවක් බවයි.
යළි සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගැනිණි. එහෙත් එවරද පිරිසක් එයට එරෙහි වූහ. අතීතයේ බෞද්ධ සිද්ධස්ථානයක්ව පැවති මෙම ප්‍රදේශය එල්.ටී.ටී.ඊ. පාලන සමයේ පාලනය වූයේ අසල පිහිටි මාරි අම්මාන් හින්දු කෝවිලෙනි. කලහය සඳහා පැමිණි පිරිස අතර සිටි හින්දු කෝවිලේ භාරකාර මණ්ඩලයේ සාමාජිකයන් යැයි කියා ගත් පිරිසක් එම ස්ථානයේ හින්දු කෝවිලක් පැවති බවත්, එය හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලියාපදිංචි කර තිබූ බවත් කියමින් ඝෝෂා කරන්නට වූහ. උතුරු නැගෙනහිර ප්‍රදේශයන්හි දේශපාලනඥයන් පිරිසක් හා ඔවුන්ගේ සහචරයන් පිරිසක් මෙම විරෝධතාවට එක්වී සිටියහ. ඔවුන් එම ස්ථානයට පිවිසීමට උත්සාහ කළේ පූජාවක් පැවැත්වීමේ අවශ්‍යතාවයක් ඇතැයි පවසමිනි. එහෙත් පොලීසිය එයට එරෙහිව අධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගෙන තිබිණි. ඔවුනට එරෙහිව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ හිමිවරුන් පිරිසක් හා ගිහියන් පිරිසක්ද එම ස්ථානයට පැමිණෙමින් සිටියහ. දෙපිරිස අතර කිසියම් ගැටුමක් ඇතිවිය හැකි යැයි සිතූ පොලීසිය දෙපිරිසට එම ස්ථානයට පැමිණීමට නොහැකි වන ලෙස මාර්ග බාධක යෙදීය. අවසානයේ දෙපිරිස විසිර ගිය හෙයින් ගැටුම්කාරී තත්ත්වයක් ඇති වූයේ නැත.
කෙසේ වුවද මේ වන විට දාගැබේ සංරක්ෂණ කටයුතු ඇනහිට තිබේ. මෙම පරිශ්‍රය තමා සතු භූමියක් යැයි ත්‍රිකුණාමලයේ කෝකිල ෙනාෙහාත් ෙකා්විල් අම්මා නම් තැනැත්තියක විසින් මහාධිකරණයට ඉදිරිපත් කරන ලද පෙත්සමක් මත නැගෙනහිර පළාත් මහාධිකරණ විනිසුරැ එම්. ඉලංචේලියන් මහතා විසින් අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.
කවුරුන් විරෝධය පෑවද කින්නියා බිමේ දාගැබ සංරක්ෂණය කරන බව පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් පී.බී. මණ්ඩාවල මහතා ප්‍රකාශ කර තිබේ. අප ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ ඒ මහතා සඳහන් කළේ “පුරාවස්තු අණ පනත් යටතේ හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නියෝග අනුව කිසියම් කැණීමක් සිදු කළහොත් අනිවාර්යයෙන්ම එය සංරක්ෂණය කළ යුතුයි. නැතහොත් ඒවා විනාශ විය හැකියි. ඒ නිසා මා මෙය කෙසේ හෝ සංරක්ෂණය කිරීමට පියවර ගන්නවා. එය වැළැක්විය හැක්කේ අධිකරණ නියෝගයකින් පමණයි”. යනුවෙනි.
පසුගිය කාලය පුරා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ තිබූ බොහෝ බෞද්ධ සිද්ධස්ථාන විවිධ හේතූන් මත විනාශ වී ගියේය. කින්නියා ප්‍රදේශයේ බෞද්ධ සිද්ධස්ථානවලට අත්වූයේ ද එම ඉරණමයි. මේ වන විට බොහෝ පුරාවිද්‍යාත්මක අගයෙන් යුතු ස්ථාන රුසක් අපට අහිමි වී තිබේ. විවිධ දේශපාලකයන්ගේ අතපෙවීම් මත මෙම තත්ත්වය තවදුරටත් ව්‍යාප්ත වෙමින් පවතී.
► ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා