2019 ජුලි 27 වන සෙනසුරාදා

පමාවී හිරු නැගෙන වේලපහින් බහින අපූරු ගම

 2019 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 12:30 388

මීදුම් සේලය තුනීව ගොස් හොඳින් ඉර පායා තිබූ දිනක අපි එහි ගියෙමු. අප ආ නිසාදෝ එනුවර මන්දාරම සිය ගෞරවය රැක ගනු රිසියෙන් අඳුරැ වළා කිහිපයක් අහස් ගැබ විසුරුවා තිබිණි. ඒ වළාවන් ඈත කඳු මායිමේ සක්මන් කළේය.

එනුවර වටකර සිටි කඳු පංතිය රැකවලුන් පරිද්දෙන් තේජාන්විත බැල්මක් අප වෙත හෙලීය. මෙය වූ කලී හිරු සඟවාගත් ඓතිහාසික පුරවරයි. ඉදින් මනෝරම්‍ය වූ දසුනින් පෙළහර පාන මන්දාරම්පුර ගමනේ මතක මාවතේ ඔබව ද කැටුව යන්නට අපට සිත් විය.

මන්දාරම් නුවර ගමනට පහසුම මග නම් සිරි දළදා හිමි වැඩ සිටින ඓතිහාසික මහනුවරින්  හඟුරන්කෙත බලා යනවිට හමුවන මන්දාරම් නුවර මාර්ගයයි. අප තෝරාගත්තේ මේ මගයි. එය එසේ වී මුත් නුවරඑළිය, කඳපොළ හරහා ද මන්දාරම් නුවරට පිවිසීමට මගක් තිබේ. එම මග වැනුමක් කරන්න තරම් සොඳුරු දසුන් පිරී ඇතැයි කියවේ. හඟුරන්කෙත සිට එන ගමනේ ද නෙත් කළු දසුන් නැත්තේ නොවේ. ඕනෑම කඳුකර මඟක ගමනකදී මෝටර් රථයක කවුළුව රිදී තිරයේ අසිරිය පරයන අපට මේ ගමනේ දී පසක් විය.

මන්දාරම් නුවර යනු කදු පෙළින් වට වූ ගම්මානයයි. අප ගමන් ගත් මාර්ගයේ කෙළවර එයයි. කුඩා කඩමණ්ඩියකි. එය පිහිටියේ නාගරීකරණයේ බිහිදොර අද්දරය. මෑතක සිට අලුත් වන ජීවිතවල අපූර්ත්වය මෙහි පිවිසෙන්නකුට මනාව චිත්‍රණය වේ. මන්දාරම් නුවරුන්ගේ ප්‍රධාන ජීවනෝපාය ගොවිතැනයි. හෙල්මළු ක්‍රමයට කඳු කපා සාදා ඇති එළවළු කොරටු දසතින් නෙත ගැටේ. කඳු බෑවුම්වල මේ අපූර්ව වගාවන් මොහොතක් නැවතී බලා හිඳින්නට තරම් චමත්කාරජනකය. ඈත හරිත වර්ණයෙන් රටා ඇඳ ඇත්තේ තේ වතු විය යුතුය. මිනිසුන් ගැවසීගත් සීමාවෙන් එපිට ඈතින් ඇත්තේ කඳුකර වනාන්තරයක්ම විය යුතුය. මොහොතක් මේ දසුන මත නැවතුණු සිතට නේක වර්ණ සිතුවිලි ගලා ගලා ආවේය. කවියකුට නම් මෙනුවර ක්ෂේම භූමියක් වනු නියතය. වෙනදා නම් මීදුම් සේලයන් මේ බෝහෝ ඉසව් සඟවාලනු නියතය. අප මෙහි පැමිණි දින සරදමකට මෙන් පායා තිබූ හිරු නිසාවෙන් ඈත බොහෝ ඉසව් මනා ලෙස දිස්වුණි.

මන්දාරම් නුවරට නම් ලැබී ඇත්තේ මෙහි නිරන්තරයෙන් ඇති මන්දාරම් ගතිය නිසාවෙනි. වත්මනේ මන්දාරම් නුවර ලෙසින් හැඳින්වුවද අතීතයේ දී මන්දාරම්පුර නමින් මේ පෙදෙස නම් දරා ඇත. අතීතකාමයෙන් යුතු සංචාරකයා මන්දාරම්පුරයේ ඉතිහාසය ද සැකවින් හෝ සොය බැලුවේය. කෙනෙක් එම ඉතිහාස රාවණා යුගය දක්වා දිවෙන බව කියයි. ඒ කෙසේ වී මුත් ‘මන්දාරම් පුර පුවත’ පද්‍ය සංග්‍රහය මන්දාරම්පුරයේ ඉතිහාසයට එබී බලන්නට ඇති සොඳුරුම කවුළුවයි. මේ හා සබැඳි සාහිත්‍යය විචාර මතිමතාන්තර කොතෙක් වෙතත් මන්දාරම් නුවරදී හමු වූ මිනිසුන් මෙම කාව්‍ය සංග්‍රහයේ අභිමානය මෙම අඩවිය සතු බව විශ්වාස කරයි.  ක්‍රි.ව. 1604 -1627 ආදී කාලයේ රචිත මන්දාරම් පුර පුවතට අනුව සෙනරත් රජු ප්‍රතිකාල් සෙනවියකු පරාදා  රට තොට කළ  සංචාරයකදී මන්දාරම් පුරයට පැමිණ ඇත. මන්දාරම්පුරයේ වූ මාලිගාවක සය දිනක් පමණ රජු නිදහස් සුවයෙන් කල් ගෙවූ බව ද කියවේ. 

රාජරාජ මහාමාත්‍යාදීන් සහ සම්බන්ධ ජනප්‍රවාද මෙම නුවර තවත් සොයාගත හැකිය. විමලධර්මසූරිය රජු ද මන්දාරම්පුර ආ බවට කතාන්දරයක් අපට අසන්නට ලැබුණි. වෙස්වලාගෙන පැමිණි රජුට පවා මන්දාරම්පුරයට ඇතුළු වීමට නොදුන් රැකවලකු හට පසුව රජු ගම්වර ලබා දුන් පුවතක් අපට කීවේ එනුවර වැඩිහිටියෙකි. ඔහුට අනුව මාලිගාවක් තිබූ තැනක සළකුණු සහිත පිටියක් මෙනුවර පිහිටා තිබේ. අපට එය දැක බලා ගැනීමේ වාසනාව මේ ගමනේ උදා නොවුණි. මේ ගමනේදී බොහෝ කලක් මිඩංගු කිරීමට සිදු වූයේ කොළපතන ඇල්ල නැරඹීම වෙනුවෙනි.

මන්දාරම් නුවර ජනයාගේ සා පිපාසව නිවාලන්නේ කොළපතන ඇල්ල නම් කෝමළ දිය දහරයි. එය වික්ටෝරියා බලා ගලන බෙලිහුල් ඔය ඇසුරෙන් උපත ලද දිය ඇල්ලකි. මන්දාරම් නුවර ගමනේ වෙහෙසකර කාරිය නම් කොළපතන දිය ඇලි කොමළිය සොයා යාමයි. පිදුරුතලාගල වන අඩවියේ කඳුකර මාවත් ඔසේ වැටී ඇති ගමන චමත්කාර දසුනින් හැඩවෙයි. පිදුරුතලාගල කඳුපංතිය ඈතින් දිස් වෙයි. මඳ දුරක් යනවිට පහළින් ජනාවාස වූ මන්දාරම්පුරය කඳු බෑවුමෙන් පෙනෙන්නට පටන් ගනී. හරිත වර්ණ පරිසරයත් සෞම්‍ය කාලගුණයත් අපරිමාන නිදහසත් හිත මත රුඳි හුදකලාවත් මේ ගමනේ වෙහෙස ඉඳුරාම නිවාලයි. අපි ගමනේ කෙළවර දුටු කොළපතන ඇල්ලේ‍ සැඩ පහර බාලව තිබේ. ගම්මුන් අතර බෙර ගහන ඇල්ල නමින් ප්‍රකට වූ මේ ඇල්ල අද තරමක් නිහඬව කඩා හැලේ. වැසි සමයේ නම් මෙහි තත්ත්වය මීට බොහෝ සෙයින් වෙනස් බව අපට ඇල්ල බලා යන ගමනට මග කියූ පත්මසිරි මහතා පවසයි. අප ඔහු හා දොඩමළු වූයේ ඇල්ල පාමුල ගල් තලාවේදීය. මේ අපූරු වැඩිහිටියා අපට කී කතා රැසකි. පොතක් ලියන්නට තරම් විසල් කතාවක් මන්දාරම් නුවර ඇතැයි අපට හැඟුණේ මේ ගල්තලාවේදීය.

මන්දාරම් නුවර සීතල විශාල සීතලක් නොවීම මෙහි පැමිණි මොහොතේම අපට අරුමයක් විය. එහෙත් මන්දාරම් නුවර සීතල පසු ඇති කතාව සිත රිදවන සුළුය. එක්දහස් නවසීය අසූව දශක පමණ වන තෙක්ම මන්දාරම් නුවර සීත දේශගුණයක් පැවතී ඇත. එකල්හි මේ නුවර වැසියන් සීත කබා පැළඳ ගිනිමැල දල්වාගෙන සීතල සමඟ හරඹ කර තිබේ. එනමුත් ගෙවුණු දශක තුනක පමණ කාලය තුළ මන්දාරම් නුවර සීත දේශගුණය කෙමෙන් තුරන්ව ගොස් ඇත.

හීන්සීරුවේ වූ මේ විපර්යාස පිළිබඳ බොහෝ දෙනාට වගක් නැත. එහෙත් මෙය සිතා බැලූ කල හද කම්පා කරවන පාරිසරික ඛේදවාචකයක් නොවේ දැයි ඈත කඳුපෙළ දෙස බලා සිටි අපට සිතිණි.

මෙනුවර වැසියන්ගේ ජීවනෝපාය වූ කඳුකර ගොවිතැන සම්බන්ධව ද අපට අසන්නට ලැබුණේ සංවේදී කතාවකි. ඇත්තෙන්ම සීත කඳු අතර ලස්සන දුකක් ඇති සෙයකි. අතීතයේ සුද්දන් තේ වැවූ කඳුකර බිම් කට්ටි අද ගොවිතැන් වෙනුවෙන් ගම්මුන්ට ලැබී තිබේ. කඳුකරයේ අතිශය දුෂ්කර මාවත් ඔස්සේ මේ ඉඩම්වලට ඔවුන් ළඟා විය යුතුය. ගොවිතැන ද පහසු නැත. අභියෝගය රැසකි. අස්වනු ලබාගත් පසුව කිලෝ පනහ බැගින් ගෝනිවලට අසුරා කර තබාගෙන ඔවුහු සැතපුම් ගණනාවක් පල්ලම් බසිති. දහදෙනකු පමණ එකතු වී කෑලි පනහක් හැත්තෑ පහක්  පමණ මෙසේ රැගෙන යන බව ඔවුහු කියති. ගල්තලාවේ වාඩි වී සිටි අපට චිංගීස්ගේ නවකතා ජීවිත සිහිවෙයි.

අතීතයේදී මී කැඩීම බඹර කැඩීම මෙන්ම දඩයම ද මේ කඳුකර වනයේ යහමින් කෙරීගෙන ගොස් තිබේ. නමුත් කාලය විසින් ඒ බෝහෝ දේට නිමාවේ සලකුණු තබා ඇත. සතෙක් මරාගන්නට විදුලි කම්බි ඇදීම නම් හිත් පිත් කම්පා කරන කාරිය රහසේ නමුත් අද ද මෙහි සිදුවේ. සතුන්ගේ පමණක් නොව මිනිසුන්ගේ ද ජීවිත ඊට බිලි වී ඇති බව අපට දැනගන්නට ලැබුණි. අවසර කිහිපයක සිටි ලැබෙන සංචාරක ආකර්ශනය පිළිබඳ ඇසූ කතා අපූරුය. එවා මෙහි අප නොලියන්නේ හේතු සහිතවය. අද සංචාරක කර්මාන්තය මෙහි සැලකිය යුතු පිරිසකගේ ජීවන උපාය වී තිබේ. නොදුරේදීම එය විසල් ලෙස පැතිර යනු ඇත. අවන්හල් හෝටල් රැසක් මෙහි නිර්මාණය වනු ඇත. මන්දාරම්පුර පුවත අලුතින් ලියා තබන්නට දිනක් උදාවේ යැයි අපට සිතේ.  මන්දාරම් නුවර මනස්කාන්ත පරිසරය විඳින අතරේ මන්දාරම නුවරුන්ගේ ජීවිතවල එබී බලන්න හිතූ ගල්තලාවේ කතා බහ අපි නිමා කෙළෙමු.

කොළපතන ඇල්ලට සමු දී එනවිට කොඩ්ඩිආර් ගල, හොල්ලන් ගල ආදී  ඉසව් ගැන අපි දැන කියා ගතිමු. මන්දාරම් නුවර අසිරිය විඳින්න කාලය හරස් වූ සෙයකි. අපි පල්ලම් බැස්සෙමු. මන්දාරම් නුවර හිරු පායන්නේ නැතැයි කියා මේ කතාව නිමා කිරීමට අපට නොහැක. පමා වී හිරු නැගෙන වේලාසන හිරු බසින නුවර නම් මන්දාරම් නුවරයි. හිරු සිය රාජකාරි නිමවා වේලාසනම මන්දාරම් නුවරට සමුදෙන්නට සැරසෙයි. දැන් මන්දාරම අහස් ගැබ අරක් ගෙන ඇත. නුවරැන්ට ආයුබෝවන් කී අපි ද ගම් රට බලා යන්නට සැරසීමු.

මන්දාරම් නුවර සංචාරකට පසු...
► චමිඳු නිසල් ද සිල්වා
විශේෂ ස්තූතිය : ඇල්ලට මඟ කියූ පත්මසිරි මහතාට සහ ගමන් සගයන්ට