2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

අදත් කපන හෙටත් කපන ඊළඟටත් කපන ජල සැපයුම

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 126

දෙහිවල, ගල්කිස්ස, රත්මලාන, මොරටුව යන ප්‍රදේශවලට පැය 12ක් ජලය කපා හැරේ.

රාගම, කඩවත, ගම්පහට හෙට වතුර නැහැ.

දැනට මාස දෙක තුනක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවල ජලය කපා හැරීම් පිළිබඳව විද්‍යුත් මාධ්‍යයේ මෙන්ම මුද්‍රිත මාධ්‍යයේ ද පළවූ මෙවැනි දැන්වීම් නිරතුරුවම අපගේ නෙතෙහි ගැටෙන්නක් විය. ජනතාවට දෛනික පරිභෝජනයට අවශ්‍ය ජලය ලබාදීම දැන්වීම් මගින් හෝ නොදන්වා කප්පාදු කිරීම මගින් බොහෝ දෙනාගේ ජන ජීවිතය අඩාල වන බව නොරහසකි.

ශ්‍රී ලංකාවේ පානීය ජලය සපයාගැනීම මේ වන විට අභියෝගයකට ලක්ව ඇති බව බොහෝ දෙනෙක් පවසති. මීට වසර තිහ හතළිහකට පෙර මෙවැනි ජල අර්බුදයක් මතුවේ යැයි කිසිවකුත් සිතන්නට නොමැත. එදා ජලය ඕනෑ තරම් තිබූ අතර ජල ප්‍රභව ද දූෂණය වීමකින් තොරව පැවතිණි. එම නිසා පානීය ජලය පිළිබඳ කිසිදු බියක් නොතිබිණි. නගරයට පැමිණි විට මුදල් දී බෝතල්වලට නළ ජලය ගෙන පානය කරන්නට වෙතැයි කිසිවකුත් නොසිතන්නට ඇත. සමාජය සංකීර්ණ වීමත් සමඟ තත්ත්වය වෙනස් වී තිබේ. එදාට වඩා ජනගහනය වැඩි වී ඇත. ඊට සාපේක්ෂව මානව ක්‍රියාකාරකම් ද වැඩි විය. මේ සියලු හේතු නිසා පානීය ජලය සපයා ගන්නා ජල ප්‍රභවවලට තර්ජනයක් එල්ල වී ඇති බව පිළිගත හැකිය.

පසුගිය කාලයට සාපේක්ෂව දෛනික ජල පරිභෝජනය 20%කින් පමණ මේ වන විට ඉහළ ගොස් තිබේ. අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ පසුගිය කාලයේ පැවති නියං කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජලය සීමා කිරීමට සිදු වී ඇති බවය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ පරිභෝජනයට ඇති ජලයෙන් 30%ක් පමණ අපතේ යන බවත් බොහෝ නගර සඳහා ජලය සපයන ජලනළ මාර්ගවල ඇති දුර්වලතා හේතුවෙන් ජලය මෙසේ අපතේ යන බවත් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

කිසිවකු මඟ නොහරිමු යන්න මෙවර ලෝක ජල දිනයේ තේමාවයි. එවන් තත්ත්වයක් යටතේ ද අපේ රටේ දිස්ත්‍රික්ක 17ක පුද්ගලයන් ලක්ෂ 12කට වැඩි පිරිසක් පිරිසුදු පානීය ජලය නොමැතිකමින් පීඩා විඳින බව කැලණිය විශ්වවිද්‍යාලය මගින් පසුගියදා සිදු කරනු ලැබූ සමීක්ෂණයකින් හෙළි විය.

කප්පාදුවකින් තොරව ජලය ලබාදීම සඳහා විශේෂ වැඩපිළිවෙළ යටතේ ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය විසින් මේ වන විට ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කර ඇත. ඉන් ප්‍රධානතම ව්‍යාපෘතිය වන කොළඹ නගරය සඳහා ජලය සැපයීමේ ව්‍යාපෘතියෙහි කටයුතු මේ වන විට 92%කින් අවසන් වී ඇති අතර ඒ සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් රැපියල් මිලියන 1393ක මුදලක් හිමි වී ඇත.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී (බස්නාහිර) සුමිත් පෙරේරා

පසුගිය කාලයේ පැවති අධික නියඟයත් එක්ක ජල පරිභෝජනයේ වැඩි වීමක් දක්නට ලැබුණා. ඒ වගේම විදුලිය විසන්ධි කිරීමත් පසුගිය කාලයේ ගැටලුවක් වෙලා තිබුණා. මොකද, ජල කුලුනුවලට ජලය පොම්ප කිරීම සම්බන්ධව ගැටලු පැන නැගුණා විදුලිය නොමැතිව. නමුත් සාමාන්‍ය පරිදි වෙනදා ලබාදෙන ජල පරිමාණය අපි පවිත්‍රාගාරවලින් ලබා දෙනවා. කොළඹ නගරයට පමණක් ජලය ඝන ලීටර් තුන් ලක්ෂ තිස් දහසක් පමණ ලබා දෙනවා. ඒ ධාරිතාවයෙන් දැනට ජනතාවට අවශ්‍ය එදිනෙදා කටයුතු කරගෙන යන්න පුළුවන්. ඇතැමුන් චෝදනා කරනවා ජලය අඩු කිරීමක් පවතිනවා කියලා. නමුත් එහෙම නැහැ. මේ සැපයුම වැඩි වීමේදී එවැනි සාමාන්‍ය ගැටලු ජනතාව තේරැම්ගත යුතුයි. අපි මේ වන විට ව්‍යාපෘති කිහිපයක්ම දියත් කරලා තියෙනවා, නොනවත්වා ජනතාවට වැඩි පීඩනයකින් ජලය ලබා දෙන්න.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ ක්‍රියාත්මක හා නඩත්තු අංශයේ (බස්නාහිර) සහකාර සම අධිකාරී ඒ.කේ. කපුරුගේ

අපි ප්‍රධාන වශයෙන් කොළඹ නගරයට ජලය සපයන්නේ අඹතලේ සහ කලටුවාව යන ජලාශ දෙකෙන්. දිනකට කොළඹ නගරයට ජලය ඝන ලීටර් ලක්ෂ 3ක් පමණ ප්‍රමාණයක් මුදා හරිනවා කොළඹ නගරයේ සැම තැනටම. ඒ වගේම මාලිගාකන්ද, එළිහවුස් වගේ පොම්පාගාරවලිනුත් ජලය සපයනවා. ජලාපවහන මණ්ඩලය විසින් හදිසි නඩත්තු කටයුත්තක් කළොත් තමයි ජලය කැපීමක් සිදු වෙන්නේ. නමුත් ජලය නවතා දැමීමක් කප්පාදුවක් අපි කරන්නේ නැහැ. ඒ වගේම තමයි කොළඹ ජනාකීර්ණ ප්‍රදේශවලට ජලය ගෙන යාමට ඇති නළජල මාර්ග පද්ධතිය වසර 110ක් පමණ පැරණියි. එයත් අප මේ වන විට අලුත්වැඩියා කරමින් සිටිනවා. 2015 වසරේ නළජල පද්ධතියේ ඇති දුර්වලතා හේතුවෙන් පානීය ජලය 45%ක ප්‍රමාණයක් අපතේ ගොස් තියෙනවා. ලබන වසර, එනම් 2020 වන විට ඒ තත්ත්වය 18%ක් දක්වා අඩු කිරීමට අපි අපේක්ෂා කරනවා.

ඒ කතාව බොරුවක්

කොළඹ සහ අවට ඇතැම් තදාසන්න ප්‍රදේශවලට පානීය ජලය සැපයීමේදී ජලයේ පීඩනය අඩුවන බවත් දහවල් කාලයේ ජලය එන්නේ නූලක් තරම් ප්‍රමාණයක් වන බවත් සමහරැ කියති. එයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ කොළඹ අගනගරය සහ අවට ප්‍රදේශවල ඉදිවන සුපිරි මහල් නිවාසවලට ජලය ලබාදීම සඳහා සෙසු ප්‍රදේශවලට සැපයෙන ජලය සීමා කිරීම බවටත් නැගෙන චෝදනාව සම්බන්ධව අපි ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයෙන් විමසීමක් කළෙමු. එහි ප්‍රකාශකයෙක් එහිදී අප වෙත කියා සිටියේ එම චෝදනාවල කිසිදු සත්‍යතාවයක් නොමැති බවත් නඩත්තු කටයුතු හේතුවෙන් සපයන ජල ධාරිතාව වරින් වර වෙනස් විය හැකි බවත්ය.

 හසිත් අංජන