2019 අගෝස්තු 03 වන සෙනසුරාදා

උපතින් මේෂයේ සිකුරු හිටියොත් නාකි මනමාලයෙක්

 2019 අගෝස්තු 03 වන සෙනසුරාදා, ප.ව. 12:30 1699

සිකුරු ලෞකික ජීවිතයේ සෑමදෙනාටම සියලු සැප සම්පත් ලබාදෙන කම් සැපට අධිපති ග්‍රහයා වේ. ශරීරයේ ධාතු ශක්තිය සිකුරුට හිමිවන අතර මේෂ ලග්නාධිපති කුජට ලේ, ශාරීරික රහස් ස්ථාන මස් පිඩු හිමි වේ. මේ අනුව මෙම ග්‍රහ දෙපල සංයෝගයක් වුවහොත් කෙසේ වේද? එසේම මෙහිදී සිකුරු උපතින් කේන්ද්‍රයේ පිහිටි ආකාරයට ජන්මියා හැඩ ගැසෙන ආකාරයත් ගෝචර ගමනින් සිකුරැගේ රාශි මාරුවේදී ඇතිවන ගති පැවතුම් හා හැඩ ගැසීමත් දෙකම පැහැදිලි කළ යුතු වේ.

දෙවැන්න හා හත්වැන්න හිමිවන සිකුරු මේෂ ලග්නයේම උපතින්ම පිහිටියේ නම් විනෝදකාමී හැඟීම් ඇති පුද්ගලයෙකි. නිතර සැප විහරණයට හැඩගැසෙන අතර බර වැඩවලට කැමති නැත. විවාහය මිත්‍ර සබඳතාවයකින් සිදු වේ. වියදම අධික වන අතර අනවශ්‍ය දේට මුදල් නාස්ති කරයි. මේෂ රාශියේ මුල 13-20 උපතින් සිකුරු සිටීනම් ලෝභී අයෙකි. වියදමට අකමැති වේ. වයසට ගියත් මානමාලයෙකි. සැඟවුණු කාමුකයෙකි. 13-20 සිට 20-40 අතර නම් දරුණු කාම අපරාධකරුවෙකි. මේ සඳහා කුජ හා සිකුරැ සංයෝග විය යුතුය. ස්ත්‍රියක් නම් පතිවත බිඳගනිමින් විවාහ කීපයක් කරගනී. ගුරුගේ සුබ දෘෂ්ඨිය හෝ සංයෝග වී නම් ඉහත තත්ත්වය පාලනය වේ. මේෂ රාශියේ මැද බෙරණ නැකතේ පාද 4 තුළ සිකුරු කේතු සංයෝග වී ගෝචර ගමනේ යෙදේ නම් උපතින් මෙම ග්‍රහ දෙපල මේෂයේ නම් එම ජන්මියා රහසිගත කාම සේවනයට ලැදි වේ. කෙසේ හෝ වකුගඩු ආශ්‍රිත රෝග තත්ත්වයකට ද අවසානයේ මුල් වේ.

මේෂ ලග්නයේ දෙවැන්න වූ වෘෂභ රාශියේදී සිකුරු ස්වෂේත්‍ර බලයෙන් යුක්ත වේ. කැති නැකතේ පාද 3 රෙහෙන නැකතේ පාද 4 මුවසිරස පාද 2 මෙලෙසින් වෘෂභ රාශිය සමන්විත වේ. මේෂ ලග්නයේ දෙවැන්නේ රවි, සඳු, කුජ යන ග්‍රහයන්ට හිමි නැකැත් පාද නවයක් තුළ වෘෂභ රාශියේදී සිකුරුට ගමන් කිරීමට සිදු වේ. උපතින් සිකුරු වෘෂභය වූ දෙවැන්නේ කුමන පාදයක හෝ තැන්පත් වී ගෝචර ගමනේදී ඉහත ග්‍රහයන්ට හිමි නැකැත් පාදවලදී ජන්මියාට සුබපල ලබා දෙයි. සිකුරු රවි සමඟ යෙදී වෘෂභයේදී කලා අංශයේ ප්‍රසිද්ධියක් ලබා දෙන නමුත් අධ්‍යාපන කටයුතු දුර්වල කර ගනී. ඇස්වල ස්නායු දුර්වල වේ. සඳු, සිකුරැ එකතුවීමද මේෂ ලග්න හිමියාගේ වාසනාවන්තභාවයට හේතු වේ. රෙහෙන නැකතේ පාද 4 තුළදී විශාල දියුණුවක් ලබයි. වෘෂභයේ අවසාන කොටස මුවසිරස පාද 2 තුළදී සිකුරු කුජ සමඟ ගෝචර වේ නම්  සිහි නුවණින් හිතාමතා කටයුතු කළ යුතුය. අධික විනෝදය, කාම වින්දන කටයුතුවලට මුල් වීමෙන් ධන විනාශ වේ.

මීළඟට මේෂ ලග්නයේ 3 වැන්න වූ මිථුන රාශියේදී සහෝදර ස්ථානයේදී මුවසිරස, අද, පුනාවස නැකැත් පාදවල ගමන් කිරීමේදී සාමාන්‍ය, සුබ පල ගෙන දේ. සිකුරු මෙහිදී සහෝදර හොඳ හිත ඇති කරනු ලැබේ. සියලු දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත. නමුත් සිකුරැ රාහු සමඟ සංයෝග වී ගමන් කරයි නම් සහෝදර පක්ෂයෙන් වෙන්වීමට සිදුවේ. විශේෂයෙන් විවාහ පාර්ශවයේ සහෝදර සහෝදරියන්ට තමාව ප්‍රතික්ෂේප වේ.

මේෂ ලග්නය හිමියාගේ හතරවැන්න සඳු හිමි කටකය වේ. කටකයේදී සිකුරු සතුරු වන අතර ලග්නාධිපති කුජ ද නීච වේ. කුජගේ දරදඬු ස්වභාවය මෙහිදී නැති වී හොර උපාසකයකු බවට පත් වේ. එසේනම් සිකුරු නීච කුජ ලග්නාධිපති සමඟ සංයෝග වී සිව්වැන්නේදී කුමක් කරාවිද? නෑදෑ සමූහයාගේ විරෝධයට ලක්වන අතර ඉඩකඩම් පදිංචි ස්ථාන අවුල් සහිත වේ. ඥාති විවාහයකට බලහත්කාරයෙන් පැටලේ. කාමුක සිතිවිලි අධික වීමෙන් විවාහ අවුල් කරගනී. ලෞකික ලෝකය තමන් විසින් කලඹාගෙන අවුල් ඇතිකර ගනී. පදිංචි ස්ථානයේ දියුණුවට ද බාධා නිතර ඇති වේ. පුනාවාස නැකතේ පාද 1යි පුෂ නැකතේ පාද 4යි අස්ලිස නැකතේ 4යි මේෂයේ සිව්වැන්න වූ කටකයට හිමි වේ. ගුරු සෙනසුරු බුධ මෙම නැකැත් පාද හිමි ග්‍රහයන් වේ. සිකුරුගේ ලෞකික සැප වින්දනයට සතුරු වේ.

මේෂ ලග්නයේ පස්වැන්න වන සිංහ රාශිය ද සිකුරුගේ සෞම්‍ය සැප විහරණයට සතුරැ වේ. මා, පුවපල්, උත්‍රපල් නැකැත් පාදවලින් සමන්විත වේ. කේතුගේ මා නැකැත් පාදය තුළ සිකුරු දුර්වල වේ. පුවපල් නැකැත් පාදය තුළ සිකුරුගේ හැසිරීම් රටාව විවාහයට බාධා වේ. කාමාශාව අධික වීමත් ධාතු ශක්තිය අධික ඌෂ්ණත්වයෙන් වියලි වීමත් සිදු වේ. සිකුරුගේම නැකතක් වුවත් ස්වභාවය එයයි. උත්‍රපල් නැකැත් පාදය ද රවිට හිමිවන ස්ත්‍රී නැකැත් පාදයකි. සිකුරැගේ ස්වභාවයට ස්ත්‍රී නැකතක ගමන් කිරීමෙන් පලක් වේද? 

මීළඟට කන්‍යා රාශිය මේෂ රාශියේ හයවැන්න වේ. මේෂ ලග්නයේ රෝග ස්ථානය සතුරු ස්ථානය වශයෙන් ගැනේ. උත්‍රපල්, හත, සිත, නැකැත් පාද හිමි වේ. සිකුරැට අසුබ ස්ථානය වන අතර නීච වීමෙන් ඉතා දුර්වල වේ. කන්‍යාවේ අංශක 23-20 දක්වා ස්ත්‍රී නැකැත් දෙකට හිමි වේ. මේ අනුව මේෂ ලග්නයේ හයවැන්න සිකුරැ උපතින් සිටී නම් ගෝචර ගමනේදී ඉතා ප්‍රවේශම් විය යුතුය. ස්ත්‍රීන්ගෙන් කරදර, ධන විනාශ, දියවැඩියා, මුත්‍රා රෝග, විවාහ අවුල්, පොදි පිටින් පැමිණේ.

මීළඟට මේෂ ලග්නයේ හත්වැන්න වූ තුලා රාශියේ සිකුරැ බලවත් වේ. මූල ත්‍රිකෝණ ස්වක්ෂේත්‍ර බලය පවතී. හැබැයි මා මුලින් කී දැන ගියොත් කතරගම.. යනුවෙන් ආපේතෝපදේශය සිහියට ගතයුතුය. සිත, සා, විසා නැකැත් පාදවල 7 වැන්නේ සිකුරු ගමන් කිරීමේදී අධික කාමාශාව, ඕනෑතැම් ස්ත්‍රීන්, සැප විහරණය ලැබේ. පෙර පිනකට ගුරු, සෙනසුරු සංයෝග හෝ දෘෂ්ඨියට ලත් වේ නම් යහපත් වේ. හොඳ ජීවිතයක් ගත කළ හැක. මිල මුදලින් අඩුවක් නැත. විවාහ පක්ෂයෙන් ධනය ලැබේ. අධික විනෝදය හා සතුට අවසානයේ විනාශයට හේතු වේ.

වෘශ්චික රාශිය මේෂ ලග්නයේ අටවැන්න වේ. ලග්නාධිපතිටම කුජට හිමි දෙවැනි රාශිය වේ. මේෂ ලග්නය හිමියාගේ උපතින් සිකුරු අටවැන්නේ ද හව එතරම් සුබදායක නොවේ. විවාහයට අසුබ තත්ත්වයක් ගෙන එයි. විවාහක භාර්යාව හෝ ස්වාමි පුරැෂයාට හදිසි මාරක ආයුෂ ගෙන එයි. නමුත් විශාල දියුණුවක් ද ලැබේ. 47,48,49 ආයු කෙළවර වේ. දුක් නොවිඳ ක්ෂණික මරණයකි. විසා, අනුර, දෙට මේෂයේ අටවැන්නේ නැකැත් පාද වේ.

ධනු රාශිය මේෂ ලග්නයේ නවවැන්න වේ. පෙර පින ක්‍රියාත්මක ස්ථානය නිසා සිකුරු උපතින් පිහිටියේ නම් භාග්‍යමත් ජීවිතයක් ගත කළ හැකි වේ. මුල, පුවසල, උත්‍රසල නැකැත් පාදවලින් සමන්විත වන ධනු රාශියේ පුවසල නැකැත් පාදයක උපතින් සිකුරු පිහිටියේ නම් මේෂ ලග්නය හිමියාට සිකුරැගේ දශාවකදී කිරි ඉතිරේ. හැබැයි පෙර පින අමතක නොකර මෙලොවට පින් රැස් කළ යුතුය. එවිට නවවැන්නේ සිකුරැ ලෞකික ලෝකෝත්තර දෙකටම පිහිට වේ.

ජ්‍යොතිර්වේදී ජේ. ගුණපාල
දකුණු උඩුව, කුඩා උඩුව,
හොරණ.

 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00