ඇය 60 දශකයේ සිට ලෝකය ආලෝලනය කළ සුප්‍රකට සටන් තරුව බෘස් ලී හඳුන්වා දුන් ජීට් කූන්ඩෝ කළුපටි 7 වන කාණ්ඩය දරන කාන්තාවන් දහදෙනා අතරින් එක් අයෙකි. සමීපයේ සිට කරන සටන් සඳහා සූරියකි. ගිනි නිවන ක්‍රියාන්විත සඳහා දක්ෂ තැනැත්තියකි. කිමිදුම් කාරියක ලෙස දස්කම් දක්වන ඇය ඉලක්කයට වෙඩි තැබීමේ සූර උපදේශිකාවකි. කඳු නැගීමේ දස්කම් නිසා පදක්කම් පවා හිමි කරගත් සීමා රාඕ ඉන්දීය ලෝ රූ රැජන තරගයේ අවසන් වටයටද තේරී පත්වූ තැනැත්තියකි. මේ සියලු දස්කම් දරන ඇය කැපී පෙනෙන චරිතයක් ලෙස වඩාත් ගරු බුහුමන් ලබන්නේ ඉන්දීය කොමාන්ඩෝ සෙබළ පුහුණුවට කැපවුන ප්‍රථම සහ එකම මිලිටරි උපදේශිකාව හැටියටය. වඩාත්ම අපූරු කාරණය ඇය ඒ සඳහා තඹයක්වත් අය නොකිරීමය.
සීමා රාඕ සීමාමායිම් නැති නිදහස් නවීන අදහස් දැරූ පවුලක නියෝජිතවරියකි. ඇගේ පියා ගෝවේ පළාත ඉංග්‍රීසීන්ගෙන් මුදාගන්නට අරගල කළ නිදහස් සටන්කරුවෙකි. ඔහු මහාචාර්ය රාමාකාන්ත් සිනාරිය. සීමා හැදුණේ වැඩුණේ ඉන්දීය නිදහස් අරගලය පිළිබඳ ධීර වීර කතා නිතර ඇසුණු පරිසරයකය. ඒ නිසාම ඇය උපතින්ම දේශප්‍රේමය ගරු කළ රට වෙනුවෙන්ම එකහිතින් සේවයට කැපවන්නට සූදානම් වූ තැනැත්තියකි. ඇයට ඒ සඳහා මංපෙත පෑදෙන්නේ සිය අනාගත සැමියා වයස 16දී මුණගැසීමත් සමඟය. අවුරුදු 12 තරම් ලාබාල වයසේ සිට ආත්මාරක්ෂක සටන් කලා පුහුණුව අරඹා සිටි ඔහු, මේජර් දීපක් රාඕ සිය පෙම්වතිය සීමාහටද ඒ ක්ෂේත්‍රයට යොමුවන්නට මඟ පෙන්නුවේය. ඇය බෘස් ලීගේ ජීට් කූන්ඩෝ සටන් කලාවේ ශූරියක වන්නේත් හමුදාවේ දක්ෂ කොමාන්ඩෝවරියක සහ උපදේශිකාවක වන්නේත් මේ පසුබිම තුළය.
සීමා මේජර් රාඕ සමඟ විවාහ වූ පසුත් මේ දෙදෙනාම එක්වී සටන් කලාවත් වෙඩි තැබීම සහ ආයුධ පුහුණුවත් දිගටම පවත්වාගෙන යන අතරම වෛද්‍ය අංශයේ ඉගෙනුමද සිදු කළහ. මේජර්වරයා නීති උපාධිය සමත්වෙද්දී සීමා ආපදා කළමනාකරණය ගැන එම්.බී.ඒ. උපාධියද ලබා ගත්තේය. අපූරු මිනිසුන් වූ මේ දෙදෙනාම තමන්හට සිය රටට කළ හැකි කෙබඳු සේවයක්ද යන්න ගැන නිතර කතාබහ කළහ. අන්තිමේ තඹයක්වත් අය නොකර සිය සටන් දැනුම ඉන්දියානු හමුදාව වෙත ලබාදෙන්නට මේ දෙදෙනා තීන්දු කළහ. මේ අමුතු පන්නයේ යෝජනාවක් රැගෙන ජෝඩුව 1996දී ඉන්දීය හමුදා ලොක්කන් හමුවන්නට ගියහ. මේ අපූරු යුවළගේ අමුතු යෝජනාවේ ඵලදායකත්වය ගැන සතුටු වූ හමුදා ලොක්කෝ ඔවුන්ට පහසුකම් සපයන්නට කැමති වූහ. එතැන් සිට වසර 23කට ආසන්න කාලයක් ඉන්දීය හමුදාවේ පුහුණුකාරියක ලෙස සීමා අසීමිත සේවයක යෙදී සිටින්නීය. බොහෝ දුෂ්කරතා මැදය. කාලයක් මේ දෙපළට ආර්ථීක දුෂ්කරතා රුසකට මුහුණපෑමට සිදුවිය. නමුත් සිය රට රකින හමුදාවෙන් තඹයක්වත් නොගැනීමට ඔවුන් මුලින් ගත් තීන්දුව මේ යුවළ වෙනස් නොකළහ. මේ කැපවීම තුළ ඔවුනට බොහෝ දේ අහිමිව ගියේය. ආරක්ෂක පුහුණුව සඳහා රටපුරා යන නිසා සීමාට සිය පියාගේ මළගමට පවා සහභාගිවන්නට නොහැකි විය. තමන්ගේම දරුමල්ලන් ලැබීම දුෂ්කර නිසා සීමා දියණියක දරුකමට හදාවඩා ගත්තාය. අතිශය දුෂ්කර පුහුණුවීම් ඇයගේ ජිවිතයද අනතුරට ලක්වූ අවස්ථා එමටය. කිහිපවරක්ම හදිසි අනතුරැවලට ලක්වූ ඇය වරෙක කොඳුඇට බිඳීමකටද ලක්වූවාය. වරෙක කැරලිකාරයන් පිරිසක් ඇයට එල්ලය ගත්තේය. තවත් වතාවත් දැඩි ලෙස හිසට හානි වූ ඇයගේ මතකය වසර ගණනාවක් අහිමිව ගියේය. නමුත් සිය රටට සේවය කිරීමේ උතුම් අභිලාෂය ඇගෙන් ගිලිහී ගියේ නැත. ඇය හමුදා ප්‍රධානීන් හතර දෙනෙක් වෙතින් ගෞරව බහුමානයට පත්වූ එකම කාන්තාවද වන්නීය.
මේ නිර්භීත කාන්තාව කෙතරම් දක්ෂද යන්න පැහැදිලි වන ප්‍රකාශයක් ඇය වරෙක සිදුකර තිබුණි. “මගේ හිස වෙත ඕනැම වේගයකින් එන උණ්ඩයකින් ගැලවෙන එක මට සුළු දෙයක්.ඒ වගේම මට යාර 50ක් ඈතින් ඉන්න කෙනෙක්ගේ හිස මත තියන ඇපල් ගෙඩියකට ඒ තැනැත්තාට සීරිමක්වත් වෙන්නෙ නැතිවෙන්න වෙඩි තියන්න පුළුවන්.” ඇය විසින්ම හඳුන්වාදුන් යාර 20කට එපිටින් ඇති ඉලක්කයකට විගසින් වෙඩි තැබීමේ උපක්‍රමය ඉන්දීය හමුදාව තුළ රාඕ වෙඩි තැබීමේ ක්‍රමවේදය ලෙස ප්‍රකටය. ඇය හමුදා පුහුණුව පිළිබඳ පත පොත ද ලියා තිබේ. රාඕ යුවළ ආයුධ රහිත කොමාන්ඩෝ සහ ආත්මාරක්ෂක සටන් පුහුණු ඇකඩමියක්ද පවත්වාගෙන යයි. සීමා සිවිල් පුද්ගලයන්හටද මෙහිදී කළුපටි මට්ටම දක්වා පුහුණුවට අවස්ථාව සලසා ඇත. කාන්තා ආරක්ෂාව ගැන තදින්ම උනන්දුවක් දක්වන ඇය ඔවුන්ට එබඳු අසීරුතාවලින් ගැලවීමට පුහුණුව ලබාදෙන වැඩසටහනක් DARE නමින් අරඹා ඇත. ඉන්දියාවේ බෘස්ලි සටන් ක්‍රමය සහිත පළමු සිනමාපටය Hathapayi, අධ්‍යක්ෂණය කරමින් රංගනයට දායකවීමටද ඇය සමත්ව තිබේ. ඇය මේ වනවිට සෙබළුන් 15000කට වැඩි සංඛ්‍යාවකට පුහුණුව ලබාදී ඇති අතර ලෝක සාම ත්‍යාගය, ස්වේච්ඡා සේවාවන් සඳහා වූ අමෙරිකානු ජනපති සම්මානය ඇතුළු සම්මාන රුසකින් පිදුම්ලද තැනැත්තියකි.
► සුගත් පී. කුලතුංගආරච්චි