2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

අවුල්-වියවුල්-උද්ඝෝෂණ ඉහළට

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 106

ග්‍රහ මණ්ඩලයේ විප්ලවකාරී ග්‍රහයා වන යුරේනස් තම සුපුරුදු ගමන් මග නවතා ආපසු ගමන් කිරීමක් මේ සතියේ සිදුවෙයි. මේ වන විට මේෂ රාශියෙහි කේතුට අයත් අස්විද නැකතේ හතරවැනි පාදයෙහි ගමන් කරන යුරේනස් 2019 අගෝස්තු මස 12 වැනි සඳු දින සිට වක්‍ර වෙමින් ගමන් කරන අතර 2020 ජනවාරි 11 වැනි දින අස්විද නැකතේ තුන්වැනි පාදයේ දී නැවත සුපුරැදු ලෙස ගමන් කිරීමක් සිදුවනු ඇත.

අප රට කෙරෙහි අවධානය යොමු කිරීමේදී බලාපොරොත්තු රහිත වූ ක්ෂණික කරදර, භයානක සිදුවීම්, පිපිරීම්, ගිනිගැනීම් වාර්තා වන්නාවූත් කාල වකවානුවක් වනු ඇත. තැපැල්, දුම්රිය, ධීවර ආදී ආයතනවල සේවකයන්ගෙන් යම් යම් ඉල්ලීම් ඉදිරිපත් කරන කාලයක් වන අතර ඒ හේතුවෙන් උද්ඝෝෂණ හේතුවෙන් රජය යම් යම් අපහසුතාවලට ද ලක්වනු ඇත. දුම්රිය පීලි පැනීමකට ලක්වීමක් ද එකිනෙක ගැටීමක් හෝ පිපිරීමක් ඇතිවීමක් වාර්තා වෙයි. මෙම කාල වකවානුව තුළ බස්, මෝටර් රථ ආදී වාහන ධාවනයේ දී පරිස්සම් විය යුතු අතර බිහිසුණු මෝටර් රථ, බස් රථ අනතුරු ඇතිවීමෙන් ජීවිත හානි වැඩිවන කාලයක් ද වේ.

විදේශීය වශයෙන් බලාපොරොත්තු රහිත ආකාරයට යම් යම් රටවල් වෙනත් රාජ්‍ය සමඟ සම්බන්ධතා නවතා දැමීමක් හා සම්බාධක පැනවීම්ද සිදුකරන කාලයකි. නීති විරෝධී ක්‍රියා වර්ධනය වීමද ඇතැම් රටවලට විරැද්ධව මහජනයා වීථි බැසීමක් ද කැරලි ඇතිකරන්නා වූත් කාල වකවානුවක් ද වනු ඇත. 

මේෂ - සමගියට බාධා

ඉක්මන් කේන්ති ගති ජනිත වන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. පවුල් දිවියේද සමගියට බාධා ඇතිවනු ඇත. හවුල්කරුවන් සමඟ මතභේද ඇතිවන කාලයක් ද වේ.

වෘෂභ - අනවශ්‍ය වියදම්

අවදානම් සහිත ස්ථානවල ගැවසීමෙන් වැළකිය යුතු අතර අනවශ්‍ය වියදම් ද යෙදෙන කාලසීමාවක් වේ. තමා නොකළ දේ සඳහා ද පීඩා තමා කරා එන කාලයක් වේ.

මිථුන - බලාපොරොත්තු හරි

දේශපාලන කටයුතුවල නිරත වී සිටින අයට අයහපත් වූ බලපෑම් එල්ලවන අතර තමා ළඟින් සිටි අය සමඟ අමනාපකම් ද ඇතිවනු ඇත. තමා බලාපොරොත්තුවෙන් සිටි කාර්යයන් ඉෂ්ඨ කරගත හැකි වේ.

කටක - ශරීර පීඩා

සේවා ස්ථානයේ දී තමා හට යම්කිසි ශරීර පීඩාවක් ඇතිවිය හැකි බැවින් කල්පනාකාරීව කටයුතු කරන්න. රථවාහන පැදවීම් කරන අයකු නම් රිය පැදවීම් කිරීමේදීද සැලකිල්ලක් දැක්වීම අත්‍යවශ්‍ය වේ.

සිංහ - කෙටි ගමන්

අනවශ්‍ය කෙටි ගමන් යෙදෙන කාලයකි. තම හිතමිතුරන් සමඟ ගැටුම්කාරී තත්ත්වයක් උද්ගත වන කාලයක් බැවින් ඉවසීමෙන් කටයුතු කරන්න. සිතේ සහනය අඩු වන්නාවූත් කාලයක් වේ.

කන්‍යා - ලේ විෂවීම්

මෙම වකවානුව ඉතා කල්පනාකාරීව කටයුතු කළ යුතු කාලයක් වේ. හදිසි ශරීර පීඩා ඇතිවීම්ද අනවශ්‍ය ලෙස තැන්පත් ධනය වියදම් වී යාම්ද වන්නා වූ කාලයක් වේ. ශරීරයේ ලේ විෂ වීමක් ද වනු ඇත.

තුලා - සමගියට බාධා

ව්‍යාපාරික කටයුතුවල නිරත වී සිටින අයකු නම් තම ව්‍යාපාරික ස්ථානයට සතුරු පීඩාවක් ඇතිවිය හැකි බැවින් අවධානයෙන් සිටිය යුතු අතර පවුල් දිවියේ සමගියට බාධා වෙමින් ප්‍රශ්න ඇතිවන කාලයක් ද වේ.

වෘශ්චික - උවදුරක් කරළියට

ඔබට එරෙහිව පැවති සතුරු උවදුරක් අනාවරණය කරගත හැකිවනු ඇත. තමා නොකළ කටයුත්තක් වෙනුවෙන් තමා වෙත යම් යම් පාර්ශව විසින් දෝෂාරෝපණ එල්ල කරනු ලබන කාලයක් ද වේ.

ධනු - විරෝධතා වැඩි වේ

සමාජ සේවා කටයුතුවල නිරත වී සිටින අයට විවිධ පාර්ශවවලින් බාධා, විරෝධතා එල්ල කරන කාලයක් වේ. ප්‍රේම සම්බන්ධතා පළුඳුවීම් සිදුවන කාලයක් බැවින් අවධානයෙන් බුද්ධිමත්ව කටයුතු කරන්න.

මකර - හදිසි කේන්ති ගති

ඔබ කරන කටයුතු යම්තාක් දුරට සාර්ථක වන වකවානුවක් වන අතර සිතේ සතුට පහව යන කාලයකි. සේවා ස්ථානයේ යම් යම් ප්‍රශ්න නිසා විඩාපත් බවක් නිතර දැනෙන කාලයක් ද වේ. හදිසි කේන්ති ගති පාලනය කරගත යුතු වකවානුවකි.

කුම්භ - වියදම් වැඩියි

ඔබගේ වටිනා ලියකියවිලි හදිසි ආපදාවකට ලක්විය හැකි බැවින් අවධානයෙන් වැඩ කළ යුතු කාලයකි. අනවශ්‍ය ලෙස වියදම් යෙදෙන සමයක් ද වනු ඇත.

මීන - ඉවසීම වැදගත්

පවුල් දිවියේ සමගිය පළුඳු වන කාලයක් වන බැවින් ඉවසීම වැදගත් වනු ඇත. ආර්ථික දුෂ්කරතා නිරන්තරයෙන් ඇතිවන වකවානුවකි. ඇස්වල පීඩාවක් හා ලේ දෝෂයක් ද ඇතිවනු ඇත.

ජ්‍යොතිෂ නන්දන
ප්‍රවීණ ජ්‍යොතිෂවේදි ජ්‍යොතිෂාචාර්ය
රේණුක වික්‍රමසිංහ
සුවණැන ජ්‍යොතිෂ පර්යේෂණායතනය
ඔලබොඩුව, ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00