2019 අගෝස්තු 10 වන සෙනසුරාදා

ට්‍රෑම් කාර් එකේ ගිහින් කවි අහමුද සෙලෙස්තිනා

 2019 අගෝස්තු 10 වන සෙනසුරාදා, ප.ව. 12:30 200

පැරැන්නන්ගේ මතක අතරින් අතීතයේ රසබර කතා සොයා යන යාත්‍රාවේ මෙදා නැවතුම කොළොම්පුරයි. අතීත කොළොම්පුරයේ ට්‍රෑම් කාර් පිළිබඳ මතකය අප කතාවේ නිමිත්තය. ඉදින් එම නිමිත්ත අපට හමුවූයේ අද ජීවිතේ අගිස්සට විත් සිටින වැඩිහිටියන්ගේ බාල කාලේ මතක ඇසුරිණි. එදා කොළොම්පුර බලා ගිය ගමේ ඇත්තන්ගේ මතක අතර ට්‍රෑම් කාර් ගමන ද අද ද ශේෂව තිබේ. එහෙත් අප කතාව ගොඩ නැගීමට එම ශේෂ වූ මතක ප්‍රමාණවත් නොවීය. එනිසාම කොළොම්පුරය ට්‍රෑම් කාර් පිළිබඳ සොයන්නට පතපොතේ මෙන්ම අන්තර්ජාල ද ඇසුරැ කරන්නට අපට සිදුවිය.

සිරිලක ට්‍රෑම් කාර් සේවාව දකුණු ආසියාවේ පළමු ට්‍රෑම් කාර් සේවය ලෙස ඉතිහාසයට එක්ව තිබේ. ඒ අනුව ට්‍රෑම් කාර් සේවය කොළඹ නගරයේ ආරම්භ වන්නේ 1899 පමණ බව පතපොතේ සඳන්ව ඇත. එය වූ කලී සුදු අධිරාජ්‍යවාදීන්ගෙන් අප ලද උරුමයකි. ට්‍රෑම් කාරයේ ආරම්භකයා වන්නේ ද බ්‍රිතාන්‍යන්ය. ඒ අනුව ලොව ප්‍රථම මගී ට්‍රෑම් රථයේ ගමන එක්සත් රාජධානියේ වේල්සයෙන් ආරම්භ වී තිබේ. අශ්ව කරත්ත ලෙස සැකසුණු පළමු ට්‍රෑම් රථය 1807 ගමන් අරඹා ඇත. 1877 වනවිට වාෂ්ප බලයෙන් ක්‍රියා කරන තත්ත්වයට ට්‍රෑම් කාරය වැඩි දියුණු වී තිබේ. මගී ප්‍රවාහනයේ නව මානයක් වූ ට්‍රෑම් රථ සේවය ද අනෙක් බොහෝ දෑ මෙන්ම පළමු අදියරේදීම සිරිලකට හඳුන්වා දීමට බ්‍රිතාන්‍යයන් උත්සුක වී තිබේ.

කොළඹ නගරයේ ට්‍රෑම් රථ සේවයට ඇරඹීම පිඹුරුපත් සැකසුණේ එක්දහස් අටසිය හැට ගණන්වල සිට බව කියවේ. කොළඹ නගර සභාව ප්‍රමුඛ කොටගත් මෙම වැඩසටහන සාර්ථකත්වයට පත්වීම බොහෝ කාලයක්  ගතවී තිබේ. කෙසේ හෝ 1892 වසරේ කොළොම්පුරය ට්‍රෑම් රථ සේවය ඇරඹීම සඳහා ටෙන්ඩර් කැඳවා ඇත. පසුව බවුස්ටස් සහෝදරයෝ නම් සමාගමක් සමඟ එකඟතාවයක පැමිණි කොළඹ නගර සභාව ට්‍රෑම් කාර් සේවාව වෙනුවෙන් ගිවිසුමකට එළඹිණි. කොළොම්පුර ට්‍රෑම් කාරය මංගල ගමන ගියේ 1899 සැප්තැම්බර් 12 දා බව අපට සොයාගත හැකිවිය. ඊට එකල කොළඹ පුරපති ඇතුළු සම්භාවනීයන් රැසක් සහභාගී වූ බව කියවේ. කොළොඹ  මහ හෝටලය අසලින් ඇරඹුණු එම ගමනේ අවසන් නැවතුම තොටළඟ වී ඇත. ගමන් ගාස්තුව ලෙස අය කර ඇත්තේ ශත 15 කි.

මෙලෙස ඇරඹි කොළඹ ට්‍රෑම් කාර් ගමන මරදාන ග්‍රෑන්ඩ්පාස් බොරැල්ල ආදී ප්‍රදේශ දක්වා විහිදෙන්නට පටන් ගත්තේය. එකල කොළොම්පුර ගමනාන්නයේ ප්‍රමුඛත්වය හිමිවූයේ රික්ෂෝ හා කරත්තවලටය. එහෙත් යුරෝපීයයන්ගේ ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානයක් මෙන්ම පරිපාලන මධ්‍යස්ථානක් වූ කොළොම්පුරය මේවන විටත් තදබදයෙන් යුත් ජනාකීර්ණ නගරයක් වී තිබිණි. එනිසාම කොළඹට යන එන ජනතාවටත් කොළඹ රැකියා කරන්නන්ටත් ඉතා ආකර්ෂණීය ප්‍රවාහන මාධ්‍යයක් බවට ට්‍රෑම් කාර් පත්විය. මේ සමඟින් රික්ෂෝ හා කරත්තකරුවන්ට උදා වූයේ නරක කාලයකි. ඒම නිසා මෙකල අපූරු අර්බුදයක් හටගත් බව පතපොතේ ලියවී තිබේ.

ට්‍රෑම් කාර් ආගමනය නිසා රික්ෂෝකරුවන් හා කරත්තකරුවන්ට ජීවනෝපාය අහිමිවීම යුගයේ ඛේදවාචකයක් විය. අසරණ වූ මෙම පිරිස අලුත ආ ට්‍රෑම් කාර්වලට වෛර කළේය. අවසානයේ ඔවුන් සිය කෝපය පිට කළේ වෙනස්ම ක්‍රමයකටය. ඔවුන් තැන තැන සැඟවී සිට ධාවනය වන ට‍්‍රෑම් රථවලට ගල් ගසන්නට පටන් ගත්තේය. මේ සමඟින් කොළඹ නගරයේ ට්‍රෑම් කාර්වල ගමන් යන්නට මගීන් අතර බියක් ඇතිවූහ. කෙසේ නමුත් පොලීසිය මැදිහත් වී ගල් ගැසූ අය අත්අඩංගුවට ගැනීමත් සමඟ මෙම තත්ත්වය සමනය වූ බව කියවේ. ට්‍රෑම් කාර් පිටුපස වූ එකම කඳුළු කතාව එය නොවේ ට්‍රෑම් කාර් අනතුරු මෙන්ම සියදිවිනසා ගැනීම් ආදීය සම්බන්ධ කතාන්දර ට්‍රෑම් පිළිබඳ මතක ඇති පැරැන්නන් සතුව තිබේ. එහෙත් ඒ සියල්ල කාලයෙන් වැසී ගොස් ඇත.

කොළොම්පුර ට්‍රෑම් කාර් සාර්ථකව ධාවනය වූ මෙම කාලයේ ලෝකේ බොහෝ රථවල මෙය ප්‍රමුඛතම ප්‍රවාහන මාධ්‍යයක් විය. කාර්මිකකරණය සමඟ ජනාකීර්ණ යුරෝපයේ නගරවල ට්‍රෑම් කාර් කෙටිදුර ධාවනයට වෙනුවෙන් වූ සාර්ථකම ක්‍රමවේදය විය. ලංකාව පමණක් නොව මහා බ්‍රිතාන්‍යයේ යටත්විජිතයක් වූ තවත් බොහෝ රටවලට මෙම ප්‍රවාහන මාධ්‍ය හඳුන්වා දීමට ඔවුන් කටයුතු කළේය. ඒ අනුව ඉන්දියාවේ නගර කීපයකම ක්‍රියාත්මක ට්‍රෑම් කාර් සේවය ඇරඹිණි. බොම්බාය, මදුරාසිය, දිල්ලිය, කාන්පූර්, පැට්නා ආදී නගර ඉන් ප්‍රධන විය. අපට කොළොම්පුරය මෙන් මෙකල ඉන්දියාවේ ප්‍රමුඛතම නගරය වූයේ කල්කටාවයි. කල්කටාවේ ද ට්‍රෑම් සේවාව ආරම්භ විය. අද ද එය සියවසකට අධික කාලයක් පුරා විවිධ අභියෝගය මැද නොනැසී පවතී. 

කොළොම්පුර ට්‍රෑම් සේවාද අතීතයේ අභියෝගයක් රැසකට මුහුණ දී තිබේ. ඉතිහාසයේ කියවෙන පරිදි මෙරට මුල්ම දුරකථන රැහැන්  ස්ථාපනය කර ඇත්තේ ට්‍රෑම් වෙනුවෙන් සැකසුණු රැහැන්වලට සමාන්තරව ය. මේ හේතුවෙන් දුරකථන පද්ධතියේ දෝෂ හටගෙන තිබූ අතර ආරම්භයේ දී එය සොයාගැනීම පහසු නොවූ බව කියවේ. දුරකථනවල මහා ඝෝෂාවක් ඇති කළ ට්‍රෑම් කාර් ගැටලුව 1900 දී පමණ අවසානයේ විසඳාගැනීමට හැකිවූ බව කියවේ. 1929 වසරේදී ට‍්‍රෑම් රථ සේවාවේ නියුතු රියදුරන් ඇතුළු සේවකයන්ට ගෙවන වැටුප් ජීවත්වීමට කිසිසේත්ම සෑහෙන්නේ නොමැති බව පවසමින් මහා වැඩ වර්ජනයක්ද ආරම්භ කර තිබේ. එය විශාල අරගලයක් වී ඇති අතර පොලීසිය සමඟ ගැටුමක් පවා නිර්මාණය වී ඇත. මෙම අරගලයේ දී පොලීසිය විසින් වර්ජකයන්ට වෙඩි තැබූ බව ද කියවේ.

මුල් අවදියේ දී  සාර්ථකව පැවති ට්‍රෑම් සේවය පලනය වූයේ එංගලන්තයේ සමාගමකින් බව පෙර සඳහන් කළෙමු. එහෙත් 1944 දී කොළඹ නගර සභාව මෙම සේවය තමන් වෙත පවරා ගැනීමට කටයුතු කර තිබේ. ඒ එවකට ලක්ෂ 36 ක පමණ මුදලක් එම සමාගම වෙත ගෙවමිනි. එහෙත් ඉන්පසු එළඹි කාලයේ ට්‍රෑම් කාර් සේවාව නවීකරණය මන්දගාමී වී තිබේ. බස්රිය සේවාවන් කොළඹ සිසාරා ආරම්භ වී තිබූ නිසාවෙන් ට්‍රෑම් කාර්වලට උදාවූයේ අභාග්‍යසම්පන්න යුගයකි. 1950 පමණ වනවිට කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් ට්‍රොලි බස් සේවයක් සර්ථකව ආරම්භ වූ අතර ට්‍රෑම් කාරයේ කතාව අවසාන පරිච්ඡේදයකට එළඹෙමින් තිබිණි.

50 දශකයෙන් පසුව ද තවත් දශක දෙකක් පමණ කොළඹ ට්‍රෑම් සේවය නඩත්තු කිරීමට කොළඹ නගර සභාවය හැකිවිය. ට්‍රෑම් සේවය පාඩු ලබන්නට වූ අතර බස්, දුම්රිය සේවාවන් මගී ප්‍රවාහනයේ ප්‍රමුඛත්වයට පත් විය. පසුව ඇති වූ වැඩවර්ජනවලදී පාඩු ලබමින් තිබූ ට්‍රෑම් සේවාවේ රියදුරැ පඩි වැඩිකරගන්නට ද බලධාරින් අකමැති වූ බව කියවේ. ඒ අනුව ට්‍රෑම් සේවාව 1970 දශකට ආසන්න කාලයේ දී කොළොම්පුරට සමුදුන්නේය. යුගයක වැඩ මුරයක් ට්‍රෑම් කාරය විසින් ඒ වනවිටත් නිමවා තිබිණි. අද ද කොළොඹ නගරයේ තැන තැන ට්‍රෑම් යුගයේ නටබුන් ශේෂව තිබේ.  ඒවා අතරින් අතීතය තවත් ගැඹුරු විමසා බැලීමට හැකියාවක් තිබේ. එහෙත් අලුත් වන කොළඹ මාර්ග තදබදය ටෑම් මොඩලයේ විසඳුමක් ගැන කතා අද අසන්නට ලැබේ. චීනය, ජපානය, ජර්මනිය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය ඇමරිකාව ආදී රටවල ද  තවමත් ට්‍රෑම් සේවාව පවතී. එය නූතනයට ගැලපෙන ලෙස පරිවර්තනය වී තිබේ. එසේ නම් ආයෙත් දිනක කොළොම්පුරදී ටෑම් රියක නැග සෙලෙස්තිනා සමඟින් කවි අහන්න යන්නට අනාගත පරපුරට හැකියාවක් ලැබීම්ට ඉඩ තිබේ.

“ට්‍රෑම් කාර් එකේ ගිහිං කවි අහමුද සෙලෙස්තිනා
ඉංගිරීසි රුජින වගෙයි මට නම් උඹ සෙලෙස්තිනා”

► චමිඳු නිසල් ද සිල්වා
සේයාරූ: අන්තර්ජාලයෙන්
මූලාශ්‍ර : පැරැණි පුවත් වාර්තා/ අන්තර්ජාල 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00