2017ට පෙර විශ්‍රාම ලැබූ සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතාවයට පිළියමක් වශයෙන් පසුගිය ජූලි මස විශ්‍රාම වැටුපට අදාළ වෙනස ලබාදෙන බවට රජය දැනුම් දී අදට මාස දෙකකට ආසන්නය. සමස්ත විශ්‍රාමිකයන් 5,75,000කට මෙමගින් සෙත සැලසෙන බවට විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව චක්‍රලේඛයක් මගින් දැනුම් දී තිබුණි. 2017ට පෙර විශ්‍රාම ගිය සියලුම විශ්‍රාමිකයින්ගේ ඉහේ මල් පිපුණාක් වැනි වූයේ ඒ පිළිබඳ පුවත පැතිර යාමත් සමඟය.
සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින් හැරුණු විට සෙසු විශ්‍රාමික ප්‍රජාව ඉකුත් ජූලි මාසයේ විශ්‍රාම වැටුප ලබා ගැනීමට ගියේ සිදුවී ඇති වෙනස දැකගන්නටය. එහෙත් එවැනි වෙනසක් දක්නට නොමැති තැන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට දෙස් දොවොල් තබමින් ආපසු පිටව ගියේ ඊළඟ මාසයේ හෝ හිඟ වැටුපද සමඟ වැඩිවන වැටුප ලබාගන්නටය. ආණ්ඩුවද අගෝස්තු මාසයේ සිට අනිවාර්යයෙන්ම විශ්‍රාම වැටුප් විෂමතාවය නිවැරදි කර වැඩි වැටුපක් අතට ලැබෙන්නට සලස්වන බවටද ප්‍රතිඥා දී තිබුණි.
රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ 14/2019 හා 2019.05.31 දරන ලිපියට අනුව, මෙම වැටුප් විෂමතාවන් නිවැරදි කිරීමට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත උපදෙස් ලබාදී තිබුණද සන්නද්ධ හමුදාවලට අයත් ලක්ෂයකට ආසන්න පිරිසකට අදාළ උපදෙස් ප්‍රමාණවත් නොමැති බවට එම කාර්යාල නිලධාරීහු පුන පුනා කියා සිටියේ ‘වදෙන් බේරෙන්නට’ මෙනි. “ඔයගොල්ලන්ගේ මේ විෂමතාව හදන්නට අපට උපදෙස් නැතැයි” ඔවුහු ප්‍රාදේශීය ලේකම් කාර්යාල කරා එන සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින්ට දිගින් දිගටම කියන්නට වූහ. සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින්ම ඇසුණේ එවන් අඳෝනාවක්මය. සත්‍යය තේරුම්ගත් සන්නද්ධ හමුදා පිරිස්ද නිහඬව සිටියේ ඊළඟ මාසයේ හෝ එය නිවැරදි වේ යැයි සිතාගෙනය.
එහෙත් මේ පිළිබඳව මේ වනවිට විශ්‍රාම වැටුප් හදන කාර්යාලවලින් කියා සිටියේ හමුදාවල විෂමතාවන් සකස් කරන්නට එම චක්‍රලේඛය ප්‍රමාණවත් බවය. ඒත්, යථාර්ථය එය නොවන බව හෙළිවූයේ ඉකුත්දා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට තවත් චක්‍රෙල්ඛයක් නිකුත් කරන්නට සිදුවීමත් සමඟය. විශ්‍රාම වැටුප් චක්‍රලේඛ අංක 01/2019 සංශෝධන (II) හා 2019.07.26 දාතමින් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම චක්‍රලේඛය මගින් සන්නද්ධ හමුදා විශ්‍රාමික ප්‍රජාවගේ ගැටලුවට පිළිතුරු ලැබෙන බවට විශ්වාසයක් නැවත ඇතිවිය. මේ පිළිබඳව ප්‍රාදේශීය ලේකම් කාර්යාල කීපයකින්ම විමසුවද එවැන්නක් නොදන්නා බව කීවේ ඇඟට පතට නොදැනීය.
එයින් කියැවුණේ මෙම අගෝස්තු මාසයේ වැටුපටත් සංශෝධිත වැටුප හෝ හිඟ වැටුප නොලැබෙන බවය. මේ පිළිබඳව දිගින් දිගටම රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය සමඟ සාකච්ඡා කළ සමස්ත ලංකා සන්නද්ධ සේවා විශ්‍රාමිකයන්ගේ සංගමයේ ලේකම් සැම්සන් බාලසූරිය මහතා කීවේ මෙවැන්නකි.
“පසුගිය 30දා අවසන් වරට අපිට රාජ්‍ය පරිපාලන ඇමැති, විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්, ආරක්ෂක ලේකම් ඇතුළු නිලධාරීන් පිරිසක් සමඟ මේ ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලැබුණා. කලින් චක්‍රලේඛයෙන් මේ සඳහා විධිමත් පරිදි උපදෙස් නොලැබුණු නිසා අලුත් චක්‍රලේඛයක් නිකුත් කළ බව එහිදී විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවා. සලාක දීමනා, නැවත බැඳීමේ දීමනා, යහපත් පැවැත්මේ දීමනා හා සුදුසුතා වැටුප්ද ඇතුළත් කොට 2017ට සරිලන පරිදි මෙම සංශෝධිත වැටුප ලබාදිය නොහැකි බවත් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන නොමැති බවත් විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීවා. ඔහු කිව්වේ ඒ නිසා 2006 දීමනාවලට මෙම විෂමතාවය සකස් කළ හැකි බවයි. 2006ට අනුව යුද හමුදාවේ බලලත් නිලධාරියෙකුට විෂමතාවය ලෙස රුපියල් 4000ක් පමණ වැඩිවෙනවා. 2017ට අනුව නම් එම මුදල දෙගුණයක් වෙනවා. අනිත් හමුදාවලටත් නිලයන් අනුව මෙම වැඩිවන වෙනස ගණනය කළ හැකියි. කොහොම වුණත් මෙම විෂමතාවය නිවැරදි කර සංශෝධිත වැටුප මෙම අගෝස්තුවලදීත් ලැබෙන්නේ නම් නැහැ. අනෙක් විශ්‍රාමිකයින්ගෙනුත් ටික දෙනෙකුට පමණයි මෙවරත් ඒක ලැබෙන්නේ. උදාහරණයක් හැටියට කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13ක් අතරින් විශ්‍රාමිකයින් 8000කට පමණයි මෙම විෂමතාවය නිවැරදි කිරීමට හැකි වී තිබුණේ.”
මේ පිළිබඳව කළ විමසීමේදී කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර මහතා කීවේ මෙම ප්‍රාදේශීය ලේකම් කාර්යාල 13 සිටින සමස්ත විශ්‍රාමිකයින් සංඛ්‍යාව 88,730ක් බවත්, එයින් සන්නද්ධ හමුදා විශ්‍රාමිකයින් 4,000කට වඩා නොමැති බවත්ය.
මේ මාසය තුළ විශ්‍රාමිකයින් කොපමණ සංඛ්‍යාවකට වැඩිකළ මෙම වැටුප් විෂමතාවයය ලැබේවිදැයි කිව නොහැකි බවද කී දිස්ත්‍රික් ලේකම්වරයා මෙම මාසයේ පසුගිය හිඟ වැටුප්ද සමඟ විශාල විශ්‍රාමිකයින් පිරිසක් සඳහා මෙම සංශෝධිත වැටුප සකස් කිරීමට නිලධාරීන් දැඩි වෙහෙසක් ගන්නා බවය. එහෙත් මෙම මාසය තුළ පමණක් නොව ලබන සැප්තැම්බර් මාසයේදීවත් විශ්‍රාමික සන්නද්ධ හමුදා සාමාජිකයින් ලක්ෂයකට මෙම සංශෝධිත වැටුප ලැබේවිදැයි තවමත් අවිනිශ්චිතය. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාල විශ්‍රාම වැටුප් අංශ නිලධාරීන්ට තවමත් නව චක්‍රලේඛය විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවෙන් ලැබී නැති නිසාය.
මේ ලිපිය ලියන මොහොත වන විටත් (2) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට හෝ මෙය නොලැබී ඇත්නම් පිට පළාත්වලට කෙබඳු කතාද? කෙසේ වෙතත් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331කදී සිදුවන මෙම විපර්යාසය දෙස බලා සිටීම හැර වෙන කළ යුත්තක්ද නැත.
► ජයන්ත සමරකෝන්