2019 අගෝස්තු 17 වන සෙනසුරාදා

දැනෙන නොදැනෙන චයිනා ටවුමේ රඟ

 2019 අගෝස්තු 17 වන සෙනසුරාදා, ප.ව. 12:30 124

ලන්ඩන් ගියත්, මෙල්බර්න්, සිඩ්නි නුවරට ගියත් China Town එකක් නියතයි. සිංගප්පූරුව, මැලේසියාව හෝ වියට්නාමයටත් China Town අරැමයක් නොවේ. ලොව අනෙක් බොහෝ රටවලත් එය එසේම වෙනවා ඇති. චීන ජාතිකයන් වැඩිපුර ගැවසෙන, බහුල වශයෙන් ඔවුන්ගේ කුඩා ව්‍යාපාර පවත්වා ගෙන යන මෙම ප්‍රදේශ, චීන ජාතිකයන් මතු නොව අනෙකුත් ජාතීන් අතර ද ජනප්‍රියයි. චීන ආහාර, චීන බඩු භාණ්ඩ ද විවිධ චීන දෑ දැරිය හැකි මිලට ලබාගත හැකි නිසා. නමුත් කෙතරම් චීන සංවර්ධන ව්‍යාපෘති ප්‍රමාණයක් මෙරට ක්‍රියාත්මක වුවත් කෙතරම් චීන ජාතිකයන් සංඛ්‍යාවක් මෙරට සේවය කළත් අපේ දේශපාලනඥයන් කෙතරම් චීනයට පෙම් කළත් ලංකාවේ අපට චයිනා ටවුන් සංකල්පයක් නොමැති වීමම වෙනම සොයාබැලිය යුතු කරුණකි.

ඒ එසේ වුවත් අපට චයිනා ටවුමක් ලැබී තිබේ. සාහිත්‍ය කලා ක්ෂේත්‍රය තුළ විවිධ පැතිකඩ ඔස්සේ තම ප්‍රතිභාව මනාකොට විදහාපාන ලේඛකයකු වන එරික් ඉලයප්පාරච්චි විසින් ලියන ලද කෙටි කතා 18කින් සමන්විත කෘතියක්  චයිනා ටවුන් නමින් සාහිත ලොවට පිවිස ඇති නිසාය. එම කෘතියට පසුගිය රජත පුස්තක සම්මානය හිමි විය. නවකතා, කෙටිකතා, තිරකතා සහ නාට්‍ය, පරිවර්තන, ශාස්ත්‍රීය, ඔපෙරා, චරිතාපදාන, සංචාරඛ්‍යාන යන ඉසව්වල සැරිසරමින්, කෘතීන් බොහෝ ගණනක් එළිදක්වා ඇති ඔහුගේ මෙම කෙටි කතා එකතුව ද සාමාන්‍ය රසික අපට වඩා හුරුපුරුදු මුල - මැද - අග සහිත ගලා යන කතා මාලාවක් නොවේ. ඊළඟට මොකද වෙන්නෙ යන කුතුහලය ඔස්සේ චයිනා ටවුම හරහා පියනගන අපට “ඇත්තටම මොකද වුණේ* වැනි ප්‍රශ්නකාරී හැඟීමක් අවසානයේ ඉතුරැ වුණත් එහි එන ඕනෑම කතාවක් අවසානයේ යළිත් එහි සැරිසරන කල දැනෙන මිහිර විසින් අපට බලකර කියා සිටිනුයේ තවදුර හිතපන්! තවදුර හිතපන්! යන්නයි.

ත්‍රස්තවාදී යුද්ධයේ නිමාවත් සමඟ මුතූර් පළාතේ කැලෑබද පාරක් අනවශ්‍ය ඉහළ තත්ත්වයකින් නිම කරන්නට දරන උත්සාහය තුළ එහි වසන වඳුරන්, මොණරැන් ආදී වන සතුනට සිදුවන අකරතැබ්බ ගැන ද කියැවෙන චයිනා ටවුමේ තනි කකුල අවසන් වෙන්නේ පාරට තාර දැම්ම කොන්ත්‍රාත් ගත් කොන්ත්‍රාත්කරුගේ ගෝලයකු හා අසල්වැසි තරැණියක අතර ඇති වන පෙම් සබඳතාව හරහා ගොස් එකී තරැණයා සිය ජීවිතය පූජා කරමින් නාමකරණය දෙනු ලබන කුමාර වංගුව අසලිනි.

චීන නක්ෂත්‍ර විද්‍යාව අනුව බෙදෙන මී රාශිය, ගව රාශිය හරහා චයිනා ටවුම පුරා අප රුගෙන යන මීයා ද ඊළඟට මොකද වෙන්නේ යන කුතුහලය අප තුළ රුඳෙව්වත් ඊළඟ කෑල්ල තවත් රසවත් නොකළේ අපේ නොමේරෑ සාහිත්‍ය රසයට වඩා මීයාගේ සාහිත්‍ය රසය ඉහළ නිසා ද? පුහුදුන් බවක දුක! (ද?)

ලේඛකයාගේ බහුශ්‍රැත, බව පරිකල්පන ශක්තිය, වාග් රටාව, චරිත ගොඩනැගීම, සිදුවීම් පෙළ ගැසීම දෑ බොහෝ දේ නිර්මාණාත්මක විශිෂ්ටත්වය මොනවට කියාපායි. නමුත් හුදු පාඨකයන් වන අපට මෙහි එන බොහෝ කතාවල හතර මායිම අල්ලා ගන්නට නොහැකිවීම ඛේදවාචකයකි. මුදුව, නගරයට නගරයක්, මනරම් වෙරළ, තන්කොට සාමි ඈ කතා සමඟ කතුවරයා විසින් බොහෝ ඉහළට අප රුගෙන ගොස් පැරෂූටයකට ආදා දුහුනන් වන අප පහළට දමති. වැටෙන තැන සිට මඟ සොයා නිසි තැනට පැමිණීම අප සතුය. කුමන දුකක් හෝ විඳ නිසි තැනට ආවොත් දැනෙන සතුටට නිම්හිම් නැත.

සාමාන්‍යයෙන් චයිනා ටවුන්වල ඇති සෝබාව දෙන සිරි විසිතුරැ බව චයිනා ටවුමේ නැතත්, අප ජීවිත වටා ඇති හැබෑව නම් එහි බොහෝමයක් කතාවල ජයට ඇති බවක් හැඟේ. වගකීම, වගවීම්, යුතුකම් වැනි රුහැන් පටවලින් කිටිකිටියේ තදකොට කළු සුදු ලොවක සැරිසරන හුදීජනයින් වන අපට පාට පාට ලෝක යනු ෆැන්ටසියක් පමණි.

නැපෝලියන් බොනපාට් දෙස හේගල් බැලූ ආකාරයට මට ඔබ දෙදෙනා දෙසත් බලන්න පුළුවනි. ඔහු නැපෝලියන් බොනපාට් ඇමතුවේ ඒ ලෝකාත්මය That World – Soul කියා නේද? තවමත් කුණ්ඩසාලේ දූරියන් සුවඳ නැතුව බැරි මගේ මේ ප්‍රාදේශීය ආත්මය (This Provincial – Soul) ලජ්ජාවට පත්කරන එවැනි ලෝකාත්මයක් ඔබට වගේම අපේ මියගිය මිත්‍රයාටත් තිබුණා. (චයිනා ටවුම, පිටුව 83) සාහිත්‍ය කලා රසාස්වාදනයේදී මතු වන අපගේ “ප්‍රාදේශීය ආත්මය* මෙවන් කෘතීන් රස වින්ඳනය අපට නුහුරැ කරලාද?

දියවන්නාවෙන් මතුවුණු කිඹුලකු සමඟ කොළඹ වැල්ලවත්ත ආශ්‍රිත පිහිනුම් සමාජ, බිලී බාන්නන්ගේ සමාජ, සර්ෆින් සමාජ, දිවි බේරාගන්නන්ගේ සමාජ හරහා කල්පිටි මුහුදු වෙරළ දක්වා කතුවරයා විසින් දුර බැහැර චාරිකාවක අප කැඳවා ගියත් විඩාවක් නම දැණුනේ නැහැ.

කතුතුමනි ඔබගේ නිර්මාණ රසවිඳීමට අප කැමතියි. ඒවායෙහි අල්ලා ගැනීමට නොහැකි තැන් අල්ලා ගැනීමට අප කැමතියි. රචනාවේ දී ඔබ දක්වන නිර්මාණශීලී බව, සංගමය, වාග් කෝෂය, භාෂාවේ රිද්මය මෙන්ම, ප්‍රේමය වැනි පොදු මනුස්ස හැඟීම් වියමන් කරන රමණීය විලාසය හරිම ලස්සනයි. අනුරාගය පෙළගස්වන අපූරැව, අමු කතාකාරයන්ට කණේ පහරක්! සුවහසක් ජනතාවගේ ගෞරවය ලබන ඓතිහාසික චරිත අරබයා නොහොබිනා කතා, භාෂණයේ නිදහසේ නාමයෙන් ලියන නොහික්මුණු ඊනියා ගත් කතුවරයනට කිස්කන ඇතුල් පරහක්! 

 එම්. වික්‍රමසිංහ