පසුගිය සතියේ දිනක අපගේ හදසර “ලංකාදීප” පුවත්පතේ පළකොට තිබූ දැන්වීමකි. මව, පියා හා කුඩා දරුවා අතුරුදන්ව ඇතැයි ද ඔවුන් සොයා දෙන හෝ ඔවුන් පිළිබඳ තොරතුරක් දන්වන ලෙස කාරුණික ඉල්ලීමක් ද එහි විය. යම් තොරතුරක් වේ නම් 0718799817 හෝ 0768709663 අංක වෙත දැනුම් දෙන ලෙසත් ඉල්ලා තිබුණි. එම ආයාචනය කොට තිබුණේ අතුරුදන්ව සිටින පවුලේ කුඩා දරුවාගේ සීයා සහ අත්තම්මා විසිනි.
අතුරුදන් වීම සම්බන්ධයෙන් අතුරුගිරිය පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති බව අනාවරණය වූ පසුව දරු පවුලක්ම අතුරුදන් වීම හේතුවෙන් උපකාරයක් අවැසි ඔවුන්ට සහනයක් පිණිස මේ සටහන තබමු.
කුඩා දරුවාගේත් මව පියාගේත් මංගල ඡායාරූපයක් සහිතව පළකොට තිබූ දැන්වීමේ ජානක චාමර, සංජීවනී මධුමාලි පෙරේරා සහ ඔවුන්ගේ පුත් සතිස් හසරංග 2019/08/05 වැනිදා සිට ආ ගිය අතක් නැති බවත් අන්තිමට දකින විට (VGL 5537) අංක දරන හීරෝ වර්ගයේ රතු පැහැති ස්කූටර් යතුරු පැදියක ගමන් කළ බවත් සඳහන් කර තිබුණි.
අතුරැදන්ව සිටින ජානක චාමර (24), සංජීවනී මධුමාලි (22) හා සතිස් හසරංග (අවු. 2 මාස 2) අංක 90/16, තැඹිලි උයන, පැළැඳගොඩ පාර, පනාගොඩ, හෝමාගම ලිපිනයේ පදිංචිකරුවෝ වෙති.
අතුරුදන් පවුලේ කුඩා දරුවාට යම් අසනීප තත්ත්වයක් හටගෙන තිබුණේ පසුගිය 4 වැනිදාය. දරුවා රැගෙන ගොස් බෙහෙත් ගන්නා ලෙස දරැවාගේ සීයා සහ අත්තම්මා උපදෙස් දී තිබුණේ ඉන් පසුවය.
ඒ පිළිබඳව දරුවාගේ සීයා වන එස්. රත්නසේන (49) මෙසේ පැවසීය.
“ළමයාගේ ඇඟ රත්වෙලා තිබුණා. අපි කීවා උදේට ගිහින් බෙහෙත් අරන් දෙන්න කියලා. පුතායි ලේලියි දරුවා අරගෙන ළමා රෝහලට යනවා කියලා ස්කූටරයෙන් ගියා. බෑග් එකකුත් අරගෙන උදේ 7ට විතර ගියා. අපිට සැකයක් තිබුණේ නෑ. දැන් දවස් දහ තුනක් වෙනවා. තාම ආ ගිය අතක් නෑ. අපි පුළුවන් හැම තැනම හෙව්වා. ඊට දවසකට විතර කලින් මගේ නෝනා ලේලිට කීවා ළමයාගේ කිරි බෝතලය හෝදලා දරුවාට පොවන්න ගන්න කියලා. ඒකට දෙන්නා පොඩි බහින්බස් වීමක් වුණා. ඒ කාරණය නිසා ගෙදරින් ගියාද දන්නේ නෑ.”
අතුරුදන්ව සිටින ජානක ගොඩනැගිලි ඉදිකිරීම්වලට අත්උදව් සපයන අයෙකි. ඔහුගේ බිරිය සංජීවනී ගෘහණියකි. ජානක හෝමාගම කර්මාන්තපුරයේ ආයතනයක මුලින් රැකියාව කළ අයෙකි.
“පුතා ඉස්සර හෝමාගම රැකියාවක් කළා. ඒ ෆැක්ටරියේ තේ හදපු ගෑනු කෙනා පුතා එක්ක හිතවත් වෙලා. පස්සෙ එයාගේ දුව අඳුන්වලා දීලා අපේ අකැමැත්තෙන් දෙන්නා පවුල් කෑවා. අවුරුදු එක හමාරකට විතර පස්සෙ ගෙදර ආවා. දරුවා හම්බවුණාට සති දෙකකට විතර පස්සෙ දරුවත් දාලා දෙන්නාම ගෙදරින් ගියා. පිටිකිරි දීලා දරුවා හදාගත්තේ අත්තම්මයි සීයයි. ඊට පස්සෙ දෙන්නම ගෙදර ඇවිත් මාසයක් දෙකක් විතර ඇති. ලේලි ගාමන්ට් එකක මාසයක් විතර වැඩටත් ගියා. එහෙම ඉඳලා තමයි මේ අතුරුදන් වෙලා තියෙන්නේ.” රත්නසේන මහතා පැවසීය.
රත්නසේන මහතා පවසන පරිදි දරුවා ඉපිද සති දෙකකින් දමා ගොස් ඇත්තේ දරුවා හදාගැනීම වදයක් කියමිනි. මේ නිසා දරුපැටියා ගැන අවදානමක් ඇති බවත් දරුවාට කරදරයක් හෝ විකිණීමක් සිදු කරයි ද යන සැකයක් පවතින බවත් ඔහු පැවසීය. යතුරු පැදිය පැදවීමට හැකියාව ඇතත් ජානකට හෝ බිරියට වලංගු රියැදුරු බලපත්‍රයක් නැති බවද මව්පියෝ පවසති. අතුරුදන් පවුලේ බිරියට ළඟම ඥාතීන් ලෙස මව පමණක් සිටී. ඇය දැනට විදෙස්ගතව සිටින බවද ඇගේ පියා කලකට ඉහත දී ජීවිතක්ෂයට පත්ව ඇති බවද ඇගේ ගම කඩුවෙල බවද රත්නසේන මහතා වැඩිදුරටත් පැවසීය.
අතුරුදන්ව සිටින යුවළ වසර ගණනාවක් අඹු සැමියන් වශයෙන් කල් ගෙවුවද විවාහ වූයේ දරුවා ඉපදීමෙන් පසුව බවද ඔහු පවසයි. විවාහ වීමට පෙරද මෙම යුවළ මාස අටක් අතුරුදන්ව සිටි බව පවුලේ උදවිය කියති.
“ගෙදරට අකැමැත්තෙන් විවාහවෙලා මාස අටක් අතුරුදන් වෙලා හිටියා. පොලීසියට පැමිණිලි කළා. පත්තරේ දැම්මා. අන්තිමට පොලීසිය දුරකතන විශ්ලේෂණ වාර්තා බලලා පානදුර පැත්තේ ඉන්න බව කීවා. අපි මාස ගාණක් හොයලා පානදුර කර්මාන්තපුරේ ඉඳලයි හොයා ගත්තේ.”
ඉහත ඡායාරෑපවල සිටින අයට පිළිබඳව තොරතුරක් වේ නම් පෙර සඳහන් දුරකතන අංක හෝ ළඟම පොලිස් ස්ථානයක් වෙත දන්වන ලෙස පවුලේ වැඩිහිටියෝ කාරුණිකව ඉල්ලා සිටිති.
► විල්තෙර