කාලය විසින් මතක අමතක කරවීම සොබාදහමේ රීතියයි. නිරන්තර එවන් මතක ලුහුබැඳ යාම අපේ වෑයමයි. පරම්පරා දෙක තුනක ඉහත අපූරු කතාවක් අද්දර මෙවර අපි නැවතුණෙමු. මේ කතාව පාරුවේ නැග නදී ගංගා තරණය කළ මුතුන්මිත්තන්ගේ ජීවිත ගැනය. එදා ඒ පරම්පරාව ඇසුරේ හැදුණු වැඩුණු පැරැන්නන්ගෙන් අපි මෙම කතාව අසා දැනගතිමු. පසුව ඒ පිළිබඳව වූ තතු තවත් සොයා බැලුවෙමු. මෙය නිසැක වශයෙන්ම ඔබට ලිවීමට තරම් රසවත් කතාවක් යැයි අපට සිතුණේ එවිටය.
අප සිරිලක දහනව වැනි සියවසේ මැද භාගයේදී වූ ප්‍රවාහන මාධ්‍ය අතර පාරු සේවාව ප්‍රධාන විය. පාලම් පාරු මෙන්ම දුරගමන් යන්නට සැකැසුණු පාරුද වෙළෙඳ ද්‍රව්‍ය ප්‍රවාහනය කල පාරුද මෙකල විය. තම ගම් නියම්ගම්වල තිබූ බව භෝග සම්පත් එකතු කරගෙන පාරුවේ පටවාගෙන ගඟේ ඉහත්තාවට ගිය මෙම චාරිකාවේ මතකය සැබෑවටම අපූරුය. එසේ නමුත් වනාන්තර, ගං ඉවුරේ වූ ගම්මාන පසු කරමින් නේක උවදුරුද මඟහැර පාරුවේ කළ මේ චාරිකාවේ කතාව ගලපා ගැනීම පහසු නැත. ගංගා තරණය කළ වෙළෙඳාමේ ගිය පාරු ගමනේ දිවයිනේ චිරප්‍රසිද්ධම තොටුපොළ වූයේ කළු ගංතොටයි. අපට අතීත මතක හමුවූයේද ඒ ඇසුරේය. කළු ගංතොටට ආසන්නයේ පැවැති වෙරළකරයේ ගම්මානවල මිනිසුන් මේ ගමනට එක්ව තිබේ. එනිසාම මෙම ගමන පිළිබඳ නොයෙක් රස කතාවන් ඒ ගම්මානවල පැරැන්නන් අතර අදද ශේෂව තිබේ. කළු ගංතොටින් ඉහත්තාව බලා ගිය ගමනේදී ලුණු, කරවල ආදී මෙම ප්‍රදේශවල බහුලව තිබූ දෑ රැගෙන ගිය බව කියැවේ.
එම ගමනට හය හත්දෙනකු සහභාගී වී තිබේ. පාරුවේ නායකයා තණ්ඩලේය. හබල් රිටි ගැසීම වෙනුවෙන් පස් දෙනෙකි. ඉවුම් පිහුම් වෙනුවෙන් තවත් අයෙකි. කෙසේ නමුත් එදා මීට සහභාගී වූ ඇත්තන්ගෙන් අද ජීවත්ව ඉන්නා කෙනකු සොයාගැනීමට නොහැකි තරම්ය. අද එම පරම්පරාව ගම් නියම්ගම්වලින් නික්ම ගොසින් හමාරය. හය හත්දෙනෙක් දින සති ගණනක් ගෙවා පාරුවක ගමන් කළේ කෙසේදැයි මේ මතක අතරේ සැරිසරණ අපට පුදුමයක් විය. එනිසාම මෙම පාරුවල ස්වාභාවය කවරේදැයි අපි සොයා බැලුවෙමු.
දැනගන්නට ලැබුණු පරිදි පාරුවක් දිගින් අඩි 50ක් පළලින් අඩි 12ක් පමණ වී තිබේ. තේක්‌ක, මිල්ල ආදී ලී වර්ග පාරු සැකසීමට භාවිතා කළ බවද කියැවේ. තවද මෙම පාරුව වහලක් සහිත අංගසම්පූර්ණ නිවසක් හා සමාන වී ඇත. නිදන කාමරයක්, මුළුතැන් ගෙයක් මෙන්ම ගබඩා කාමරයක්ද මෙම පාරුවල වූ බව ඇතැම් තැනක සඳහන් වෙයි. ඒ අනුව ඉවුම්පිහුම් කරගෙන ජීවත්වීම අවැසි සියලු පහසුකම් මෙම පාරුවල තිබී ඇත. මේ බව තහවුරු කරන පාරුවේ උයන්න ගිය ගමේ ඇත්තන් පිළිබඳ කතා තවමත් කළු ගංතොට අවට ගම්මානවලින් අසන්නට ලැබේ.

පාරු හා සබැඳි කතා ඇතෙන්ම අපූරුය. පාරු ගමනේදී රොඩී ගැහැනුන්ට වශී වී රොඩී ගම්මානවල නතර වූ මිනිසුන් පිළිබඳ අපූරු කතාන්දරද අපට අසන්නට ලැබුණි. එම කතාවල අක්මුල් පැහැදිලි නැතත් අතීතකාමියකුට අසා සිටින්නට තරම් රසවත්ය. මෙම එක් කතාවක් අනුව පාරැ ගමනේදී අතරමඟදී පාරුව ඇද නතර කරන තොටුපොළවල් ඇසුරේ රොඩී ගම්මාන තිබී ඇත. එම ගම්මානවල රොඩී කෙල්ලන් ගැහැනුන් පාරුවල පැමිණි මිනිසුන් වශී කරගන්නට සමත් ගුරුකම් දැන සිට තිබේ. අප ඇසූ කතාවක කියැවුණු පරිදි පාරුවක ගිය මහ ඇත්තෙක්ගෙන් යමක් ඉල්ලාගෙන පැමිණි රොඩී ගැහැනියකට ශත විසිපහක් දී තිබේ. එසේ දුන් පසු ඔහුට සිත් බැඳි එම ගැහැනිය ගුරුකම්කොට ඔහු වශී කරගෙන රොඩී ගමේ නවතාගෙන ඇත. කෙසේ නමුත් ඔහු පසුව එයින් මිදී ගම්රට බලා ආ බව කියැවේ. මේ ආදී වූ අපූරු ප්‍රවාදයන් කළුතර දිසාවේ ඇතැම් ගම්මානවල වැඩිහිටි පරම්පරාව අතර තවම ශේෂව තිබේ. එහෙත් ඒවා බොහොමයක් පතපොතේ ලිය නොවී වැළලී යනු ඇතැයි අපට සිතේ.
මෙම ප්‍රවාදයන් අසා සිටින විට අපට තවත් යමක් අවබෝධ විය. ඒ නම් පාරු ගමන නිසාම කළු ගඟේ ඉවුරු දෑලේ උපන් නව ජනාවාස සහ සංස්කෘතියක් මෙකල වූ බවයි. අපට ඒ පිළිබඳ යමක් සොයන්නට සිත්විය. එම නිසාම පතපොත ඇසුරේ යම් විමසීමක් කළෙමු.
19 සියවසේ මැද භාගයේදී කළු ගඟේ පාරු සේවය දියුණු තත්ත්වයක පැවැතී තිබේ. දිනපතා කළු ගඟේ පාරු 50ක් 60ක් පමණ ඉහළ පහළ ගොස් ඇත. ඉහත්තාවේ තිබූ ප්‍රමුඛතම තොටුපොළ වී ඇත්තේ රත්නපුරයයි. එක දිගට ගමන් කරන්නේ නම් මෙම ගමනට දින පහක් පමණ ගතවූ බව කියැවේ. එහෙත් දින විස්සක් පමණ ගත වූ දීර්ඝ ගමන් ගැනද තොරතුරු ඇත. රත්නපුර - කළුතර ගමනේදී යම් යම් ස්ථානවලදී පාරුව ඇදීම සිදුකළ යුතු විය. එම කටයුත්ත ගං ඉවුරේ පංදිචිකරුවන් විසින් සිදුකර තිබේ. කාලයත් සමඟ මෙවන් තැන්වල පාරු ගමනේ පහසුකම් සැපයීම වෙනුවෙන්ම දියුණු ජනාවාස බිහිවී පටන්ගත් බව ඉතිහාසයේ ලියැවී ඇත. අප ඇසූ රොඩී කතාවද ඇතැම් විට එසේ බිහිවූ ජනාවාස ඇසුරු කරගත්තක් විය හැකිය. ආවේණික සංස්‌කෘතිය මෙන්ම මෙම ජනාවාසවල ආගමික ප්‍රබෝධයක් මෙකල තිබූ බව අපට කියවන්නට ලැබුණි. එහෙත් කාලයත් සමඟ පාරු සේවය බිඳ වැටෙන විට මෙම ගම්බිම්ද පිරිහීමට ලක්ව තිබේ.
කළු ගඟ මෙරට විසල්ම දිය කඳ සයුර කරා ගෙන යන නදිය සේම විචිත්‍රත්වයෙන් අනූන ඉස්සව්වකි. එම නිසාම පාරු ගමන වනවිමන් මැදින් ඈත කඳු ශිඛර දෙස බලා යාත්‍රාවක් බඳුව සිදුවන්නට ඇත. එහෙත් එය වෙහෙසකර පාළුව කාන්සිය නිති දැනුණු ගමනක් වූ බව නිසැකය. අප ජනශ්‍රැතියට පාරු කවිය එක්වූයේ එබැවිනි. එයින් නිරූපණය වෙන පාරුකරුවාගේ හැඟීම් යුගයක මිනිසුන්ගේ සංවේදනාවන් මනාව නිරූපණ කරන බව අපට හැඟේ.
ගඟ දිය බොර වුණත් කූනිස්සට වාසී
ඒ දිය බොර වුණත් කඩයට මයි වාසී
නිලතල වැඩි වුණත් මහතුන්ටයි වාසී
කුල මල නැති වෙන්ඩ අවුසදයක් කාසී
කරැවල තොටේ මම බැසලා නාන කොට
සුරඟන ලියක් ආවා මගෙ ඉස්සරට
කරේ තිබුණ මුතු දෙපටේ ලස්සනට
අරන් යන්න සිතුනයි අඟුලෙන්ග මට
පාරු හිමියා යනු ධනවතෙකි. පාරු කිහිපයක් හිමි අයද මෙකල සිට තිබේ. එමනිසා පාරු කර්මාන්තය ඇසුරේ බොහෝ ධනවතුන් බිහිවී සිටි බව සිතිය හැකිය. වතු සමාගම්වලටද පාරු තිබූ බව කියැවේ. කෙසේ වෙතත් මෙකලද පාරුවක මිල රුපියල් 2000කට ආසන්න වූ බව අපට කියවන්නට ලැබුණි. මෙරට පාලනය කළ බ්‍රිතාන්‍යයන් මිනිරන් පතල්වලට බලපත්‍ර නිකුත් කිරීමත් සමඟ මිනිරන් ප්‍රවාහනයට ද පාරු භාවිතා කරන්නට පටන්ගෙන ඇත. ඒ අනුව එයින් කර්මාන්තය තවත් දියුණු විය.
කළුතරට අමතරව කොළඹ වරායේ සිටද පාරු සේවා ක්‍රියාත්මක වූ බවට සාක්ෂි තිබේ. ඒ ලන්දේසි යුගයේ ගං යා කරමින් තැනූ ඇළවල් හරහාය. ඒ අනුව රත්නපුරයේ සිට කෝපි, කරුංකා, ගම්මිරිස්, පොල්, පුවක්, රබර්, තේ පෙට්‌ටි සහ කුළුබඩු පහතරට වෙළඳාමට සහ විදෙස් අපනයනය වෙනුවෙන් රැගෙන විත් තිබේ. තෙල්, හාල්, කරවල ලුණු ආදී ආහාර ද්‍රව්‍ය රත්නපුරයට යැවීමද එහිදී සිදුවී තිබේ. පාරු කතාවේ ඉතිහාසය බොහෝ දීර්ඝ බව අවසානයේ කිවයුත්තකි. සිංහල රජවරුන් රජකළ යුගයේද පාරු ගමන් වූ බව ඉතිහාසයේ ජනප්‍රවාද අතර අසන්නට ලැබේ. කෙසේ වෙතත් ලන්දේසි සහ ඉංග්‍රිසි යුගයන් මෙම පාරු කතාවේ ස්වර්ණමය යුගයයි. උඩරට රජුට එරෙහි වී ඇහැලේපොළ අදිකාරම පහතරට ආවේද කළු ගඟ ඔස්සේ බවට කතාන්දරයක් තිබේ.
ඉදින් මේ සියල්ල ඉතිහාස කතාවන්ය. අද පාරු නැත. තවමත් කළු ගඟ ගලා බසී. අප පාරු කතාව නිම කළ යුතුය. කාලය ගඟක් මෙන් ගලා බසී. අපගේ ජීවිත පාරුවක් මෙන් එහි යාත්‍රා කරයි. පසුකර ආවේ ඉතිහාසයයි. එහි රසබර මතක ඇත. තවත් දිනක අපි එවන් මතකයක් සමඟ හමුවෙමු.
► චමිඳු නිසල් ද සිල්වා
මූලාශ්‍ර: පැරණි මතක / පතපොත් සහ පුවත්පත් වාර්තා
සේයාරූ: අන්තර්ජාලයෙන්