2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

ලංකාවේ සිතියමට අලුතින් එකතුවන නගරය

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 778

කඩිනම් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිමාවවන මොරගහකන්ද ජලාශය ද්විත්ව ව්‍යාපෘතියක් වනුයේ කළු ගඟ ජලාශයත් ඊට සමගාමීව ඉදිවීම නිසයි. ජලාශ දෙක පිරීයාමත් සමඟ මාතලේ දිස්ත්‍රික්කයේ ඉපැරණි ගම් ගණනාවක් ජලයෙන් වැසී ගියේය. පැරුණි ගම්මාන වෙනුවට ඔවුන්ගේ අනාගත සංවර්ධනයේ පෙර නිමිති පහළ කරමින් ලංකාවේ සිතියමට එකතුවන අලුත්ම නගරය අඹන හන්දිය නුදුරු දිනෙකදී ජනතා අයිතියට පත්කිරීමට නියමිතය.

මහනුවර - යාපනය A 9 මාර්ගයේ නාඋල නගරයෙන් ඇරඹෙන ඇළහැර පාර හෙවත් මොරගහකන්ද ජලාශය මාර්ගයෙන් (B 312) කිලෝමීටර් හයකට නොවැඩි දුරකින් පිහිටි අඹන හන්දිය මූලිකකොටගෙන රැපියල් මිලියන දහසකට අධික වියදමකින් නිම කෙරෙන නව නගරය හෙක්ටයාර් 29ක භූමි ප්‍රමාණයකින් යුක්තය. මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ, ඉංජිනේරැ ඩී.බී. විජේරත්න මහතා පැවසුවේ මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී කොන්ගහවෙල රෝහල් හන්දිය බලපෑමට ලක්වූ බවත් එහි පැවති රාජ්‍ය ආයතන හා ව්‍යාපාරික ආයතන සියල්ල මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය මගින් අඹන මංසන්දිය ආශ්‍රිතව ස්ථාපිත කරමින් පවතින බවත්ය.

අඹන හන්දිය නව නගරයේ සිට මොරගහකන්ද ජලාශය දක්වා දුර කිලෝමීටර් 17කි. නවනගරය මූලිකකොටගෙන රෝහල් සංකීර්ණය, සමෘද්ධි බැංකුව, සමෘද්ධි මහ සංගම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය, තැපැල් කාර්යාලය, මහජන පුස්තකාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් මුරපොළ, මහජන පොළ හා නාඋල ප්‍රාදේශීය සභාවට අයත් වෙළඳ සංකීර්ණය ඉදිකිරීම් අවසන් අදියරේ පවතී. එමෙන්ම නව සංකල්පයක් අනුව සේවාපියස ගොඩනැගිල්ල ඉදිකෙරෙන්නේ ග්‍රාම නිලධාරී, කෘෂි කර්ම නිෂ්පාදන සහකාර, සමෘද්ධි සංවර්ධන නිලධාරී, ආර්ථික සංවර්ධන නිලධාරි, පවුල් සෞඛ්‍ය නිලධාරි යන අයගේ සේවා එකම ස්ථානයකදී ලබාගැනීමේ පහසුව සඳහාය.

මොරගහකන්ද ව්‍යාපෘතියට ලග්ගල හා නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දෙකේ පදිංචිව සිටි ජනතාවගේ ඉඩම් අහිමිව ඇත. නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කෝන්ගහවෙල, මොරගොල්ල, මාරගමුව, රජාවෙල හා මිල්ලගහමුල තැන්න යන ගම්වල ජනතාවට අවශ්‍ය පොදු පහසුකම් සැලසීම මූලික කොටගෙන අඹන හන්දිය නවනගරය ඉදිකෙරේ. 

රජයේ නව සංවර්ධන වැඩසටහන පිළිබඳව අදහස් දක්වන මොරගහකන්ද ව්‍යාපෘතියේ නියෝජ්‍ය ව්‍යාපෘති අධ්‍යක්ෂ (ඉඩම් අත්පත්කර ගැනීම් හා නැවත පදිංචි කිරීම්) මහින්ද රණසිංහ මහතා 

මොරගහකන්ද ජලාශය ඉදිකිරීමේදී කෝන්ගහවෙල රෝහල් හන්දිය සම්පූර්ණයෙන්ම බලපෑමට ලක්වුණා. රාජ්‍ය ආයතන කිහිපයක් හා පෞද්ගලික ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ඉවත් කිරීමට සිදුවුණා. එම ගොඩනැගිලි හා සේවාවන් ලබාදීම වෙනත් ස්ථානයක ආරම්භ කිරීමට මොරගහකන්ද කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය කටයුතු කළා. ඒ සඳහා සුදුසුම ස්ථානය වශයෙන් අඹන හන්දිය තෝරාගත්තා. 

ඉඩම් අහිමි වූ පවුල් කිහිපයක් දැනට නව නිවාස ඉදිකර නගරය ආසන්නයේ පදිංචි කර අවසන්. ප්‍රාදේශීය මධ්‍යස්ථානයක් වශයෙන් සංවර්ධනය කරන අඹන හන්දියේ මේ වනවිට රෝහල් සංකීර්ණය, සමෘද්ධි බැංකුව, සමෘද්ධි මහ සංගම් කාර්යාලය, ගොවිජන සේවා මධ්‍යස්ථානය හා නිල නිවාසය සහ පොලිස් මුරපොළ ඉදිකර අවසන්කොට තිබෙනවා. ඊට අමතරව මහජන පුස්තකාලය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, මහජන පොළ සහ ප්‍රාදේශීය සභාවට පවරාදීමට නියමිත කඩ කාමර සහිත වෙළඳ සංකීර්ණය සහ සේවා පියස ගොඩනැගිල්ල ඉදිකරමින් පවතිනවා. මීට පෙර ජලාශයට යටවුණු කෝන්ගහවෙල නගරයේ නොතිබුණු රාජ්‍ය ආයතන කිහිපයක් හා මහජන පොළ මේ ස්ථානයේ ඉදිකිරීම විශේෂයි. ඒ වගේම අඹන හන්දිය තිබෙන කූඹියන්ගහ ඇළ මහ විද්‍යාලය පහසුකම් සහිත පාසලක් වශයෙන් සංවර්ධනය කරන අතරේ නව ක්‍රීඩාංගණයක් ඉදිකෙරනවා. ක්‍රීඩාංගණය දක්වා නව පාලමක් සහිත මාර්ගයක් ඉදිකරමින් පවතිනවා. එම මාර්ගය අඹන හන්දිය විහාරස්ථානය අසලින් ආරම්භ වී රෝහල අසළට ගොස් ඕපල්ගල මාර්ගයට සම්බන්ධ වෙනවා. ඊට අමතරව නගර ව්‍යාපෘතිය නිසා බලපෑමට ලක්වන ව්‍යාපාරිකයන්ට නගර මධ්‍යයේ පර්චස් 6 බැගින් වාණිජ ඉඩම් කට්ටි ලබාදීමට නියමිතයි. ඒ අතර පාසල සඳහා අවශ්‍ය ගොඩනැගිලි හා නිල නිවාස ඉදිකෙරෙමින් තිබෙනවා. ඒ වගේම අඹන හන්දිය සහ අවට ගම්මාන පහක පවුල් 800ක් සඳහා රුපියල් මිලියන 250ක් වැයකර ජල යෝජනා ක්‍රමයක් ඉදිකරමින් තිබෙනවා.

ලංකාවේ නගර සිතියමට අලුතින්ම එකතුවන අඹන හන්දිය මාතලේ ප්‍රාදේශීය නගරයකි. වස්ගමුව, මොරගහකන්ද, රිවස්ටන්, ඕපල්ගල, දඹුල්ල, නාලන්ද ගෙඩිගේ මෙන්ම ජලාශයන් කිහිපයක් ප්‍රදේශය ආශ්‍රිතව පැවතීම නිසා සංචාරක ප්‍රවර්ධනයක්ද අපේක්ෂා කෙරේ.

මොරගහකන්ද ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ (ඉඩම් අත්පත් කරගැනීම් හා නැවත පදිංචි කිරීම්) මහින්ද රණසිංහ මහතාට අපගේ ස්තූතිය හිමිවේ.

අඹන හන්දියට සියලු පහසුකම්
ආත්මී ඩී. ජයරත්න - ප්‍රාදේශීය ලේකම් - නාඋල

මොරගහකන්ද ව්‍යාපෘතියට ඉඩම් අහිමි වූ කළුගඟ ප්‍රදේශයේ ජනතාව නැවත පදිංචි කරලා පහසුකම් සලසා තිබෙනවා. ඔවුන් ලග්ගල නවනගරය ආශ්‍රිතව ජීවත් වෙනවා. ඊට අමතරව මොරගොල්ල, රාජාවෙල, කෝන්ගහවෙල හා මරගමුව වැනි ගම්මානවල අඩක් බැගින් ජලාශයට යට වුණා. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඒ අයගේ මුල්ගම් ආශ්‍රිතව ලබාදීමට කටයුතු කර තිබෙනවා. ඒ සඳහා අඹන හන්දිය නවනගරය ඉදි කෙරෙමින් පවතිනවා. ඒ අනුව අඹන හන්දිය ආශ්‍රිතව ආරෝග්‍යාශාලාව, සමෘද්ධි බැංකු, ගොවිජන මධ්‍යස්ථාන, තැපැල් කාර්යාලය, පුස්තකාලය, මහජන පොළ නව වෙළෙඳ ව්‍යාපාර ගොඩනැගිලි රජය විසින් ඉදිකරමින් පවතිනවා. සියලුම පහසුකම් සහිත නව නගරයක් වශයෙන් මෙම ස්ථානය සංවර්ධනය වෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය ප්‍රමුඛ මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට නාඋල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අවශ්‍ය සියලුම සහායන් ලබාදෙනවා. 

 සමන්ත ප්‍රදීප් විල්තෙර