2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

එක තිතක් එතැන් සිට

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 97

පසුගිය දිනෙක අප කොළඹ මහජන පුස්තකාල ශාලාවට ගියේ එක් තිතක් එතැන් සිට නම් චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටය. කොත්මලේ වරුණි කොඩිතුවක්කුගේ එම චිත්‍ර දැක්ම නැරඹීමට විශාල පිරිසක් පැමිණ සිටියහ. ඒ අතර විශේෂත්වය වූයේ විදුලි රෝද පුටුවල සිටින බොහෝ දෙනෙක් ද එහි පැමිණ සිටීමයි. චිත්‍ර ශිල්පිනියක වූ වරුණි ද සිටියේ රෝද පුටුවකය. කෙසේ වුවත් ඇය ඉන්මිදී ලෝකයේ නිදහසේ සරණා සවිමත් සිතක් හිමි තරුණියක බව ඇගේ චිත්‍ර දෙස බලන විට අපට පසක් විය. 

මගේ චිත්‍රවල විවිධ වර්ණ රාශියක් තිබෙනවා. විවිධ හැඩතල තිබෙනවා. එක රාමුවකට කොටුවෙලා නැහැ. මම එක රාමුවක ඉඳගෙන චිත්‍ර අදින කෙනෙක් නෙවෙයි. චිත්‍ර ශිල්පිනිය තම චිත්‍ර ගැන පවසන්නීය. සැබවින්ම ඇයගේ චිත්‍රවල ඇයටම ආවේණික වූ රටාවක් අපට දැකගත නොහැකිය. ඒවායේ ඇත්තේ අනන්‍යතාවක් සොයා යාමට වෙරදරන සිත්තරාවියකගේ නිර්මාණ සංකල්පනාය. කෙසේ වුවත් ඇය ඉදිරියේදී ස්වකීය අනන්‍ය ලක්ෂණ චිත්‍ර ඔස්සේ මතුකර ගැනීමට උත්සාහ කළහොත් වඩාත් සාර්ථක නිර්මාණ බිහිකළ හැකිවේයි අපට පෙනේ. ඇයගේ නිර්මාණ සංකල්පනා ප්‍රබල වන හෙයිනි. කළ යුත්තේ ඒවා ඉදිරිපත් කරන විලාසය වඩාත් ඔප්නංවා ගැනීමයි.

ප්‍රදර්ශනයට ඉදිරිපත් කළ නිර්මාණ අතරින් ඇගේ ස්ථාපන නිර්මාණ වඩාත් ප්‍රබල අදහස් දනවයි. ඒවායේ තේමා අප සැමටම පොදුය. එහෙත් කිසිම චිත්‍රයකට මාතෘකා යොදා නැත. එය චිත්‍ර විචාරයට ලක්කිරීමේදී ගැටලුවකි.

සමහර චිත්‍රයක් කළු සුදු වර්ණයෙන්ද තවත් සමහර චිත්‍ර විවිධ වර්ණවලින් ද ඉදිරිපත් කිරීමට වරුණි කැමැත්තක් දක්වන බව පෙනේ. කළු, රතු, කහ කළු වැනි වර්ණ චිත්‍ර ද ඇගේ චිත්‍ර එකතු වේ හමුවේ. එක් චිත්‍රයක ඉදිරිපත් කර ඇත්තේ මකුලු දැලක පැටලුණු සමනළුන් සමූහයකි. කළු පසුබිමක සුදු පැහැ සමනළුන් මල් රොන් සොයා ගමන් කරති. එහෙත් මකුළුදැල ඔවුන්ට බාධකයකි.

තවත් චිත්‍රයක ගසක මල්ය. මල් ඉදිරිපත් කර ඇත්තේ වර්ණ ගැන්වූ සීඩී පටවලිනි. බයිසිකල් රෝද දෙකක් මත තැබූ චිත්‍රයක් සහිත ස්ථාපනයකි. එක් චිත්‍රයක ඉදිරිපත් කර ඇත්තේ විවිධ ආකාරයේ වෙස් මුහුණු ගොන්නකි.

තවත් චිත්‍රයක ඇත්තේ මිනිසකුගේ හිස මත වැසූ කපුටන් යුවලකි. කපුටා කූඩු හදන්නට තරම් මිනිස් හිස ප්‍රඥාවෙන් තොරවී ද යන පැනය අපට එහිදී පැනනගී. චිත්‍ර ශිල්පිනිය තම අත්දැකීම් මෙන්ම තම මනසේ කැකෑරෙන අදහස් ද මෙම වර්ණ හා හැඩතල ඔස්සේ අපට ඉදිරිපත් කරයි. ඇගේ චිත්‍රවල මතුපිට කතාවට වඩා යටි පෙළක් ගැබ්ව තිබීම විශේෂිතය. ඇය තෙල් සායම්, දියසායම් මෙන්ම තවත් මාධ්‍ය රුසක් ද තම නිර්මාණ රසිකයන්ට ඉදිරිපත් කිරීමට සඳහා යොදා ගනී. 

එක් චිත්‍රයක ඇත්තේ රළපෙලක් මැදින් ඉහළ ඔසවන මිනිස් අතකි. අත උත්සාහ කරන්නේ සමනළයකු අල්ලා ගැනීමටය. ඒ අත දියේ ගිලෙන කිසිවකුගේ ද වියහැකිය. සමනළයා ඔහුගේ සුන්දර බලාපොරොත්තු වියහැකිය.

ස්ථාපන ආකාරයට ඉදිරිපත් කළ තවත් සිත්තමක් අපට පෙන්වන්නේ මේ ලෝකය කරකැවෙන අතර ඇති මිනිසුන්ගේ බලාපොරොත්තු නොවේද? එහි මධ්‍යයේ ඇති ගසක අත්තක් මත කුරැල්ලන් දෙදෙනෙකි. චිත්‍ර රාමුව වටා කටු කම්බි දිවයයි. පිරිත් නූල්, නවගුණ මාලේ ආදිය එහි ගැටගසා තිබේ. එය මේ ලෝකයේ ජීවන පැවැත්ම හෙළිදරව් කරනා කැඩපතක් වැන්න. බොහෝ දනා පිරිත් නූල්, පඬුරැ හරහා ආගමට අල්ලස් දීමෙන් නව බලාපොරොත්තු දල්වා ගැනීමට උත්සාහ කරති. සමාජය තාක්ෂණයෙන් කෙතරම් ඉදිරියට ගියද මිනිස් මනස ගතානුගතිකත්වයෙන් ඔබ්බට ගොස් නැත. 

වරුණි කොඩිතුවක්කුට තවත් බොහෝ දුර චිත්‍ර ශිල්පය ඔස්සේ යා හැකිය. අගේ පින්සල් පහර අර්ථපූර්ණය. රිද්මයානුකූලය.

 ප්‍රේක්ෂක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00