- ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි
සබරගමුව සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි විචාරකයෙක් වශයෙන්ද ප්‍රකටය ඔහු සිනමාව සහ සාහිත්‍ය සම්බන්ධ විචාර කෘති රුසක්ද පළකළ විද්වතෙකි. මෙවර සන්ථව කාව්‍ය විචාර කෘතිය වන රසාර්ථ දීපනී ආචාර්ය සුනිල් සෙනෙවිගේ කෘතියකි.
සන්ථව කාව්‍ය සම්මාන උළෙල කොළඹ 07 මහවැලි කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී අගෝස්තු 30 දින සවස 3.00ට පැවැත්වේ. සිංහල කවි අස්වැන්නේ රැව ගුණ සුවඳ යන මැයෙන් එහි ප්‍රධාන දේශනය පවත්වන්නේ සුනිල් සෙනෙවි විසිනි.
ඔබ ලියූ රසාර්ථ දීපනී විචාර ග්‍රන්ථය ඉදිරියේදී නිකුත් වෙනවා. ඒ ගැන අපට පැවසුවහොත්?
මෙම විචාර කෘතිය සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙලට සමගාමීව දොරට වඩින පොතක්. මීට අවුරුදු දෙකකට පෙර පටන් ගත් සන්ථව කාව්‍ය විචාර සම්මාන උළෙලේ ඊට පෙර වර්ෂයේ පළවූ කාව්‍ය කෘති අරභයා විචාර කෘති නිකුත් කිරීම සිදුවුණා. ඒ අනුව පසුගිය වර්ෂ දෙකේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති සහ තිඹිරියාගම බණ්ඩාර අතින් කාව්‍ය විචාර පොත් ලියැවුණා. මෙවර පොත ලිව්වේ මමයි. 2018 වර්ෂයේ නූතනම සිංහල කවියට අදාළ කාව්‍ය ග්‍රන්ථ 100ක් අවධානයට යොමුකර තමයි, මේ විචාරය ලිව්වේ. පසුගිය වර්ෂයේ සිංහල කාව්‍ය සංග්‍රහ 156ක් පළවූ බව දැනගත්තත් විමර්ශනයට ඉඩ ලැබුණේ ග්‍රන්ථ 100ක් පමණයි. 2018 වර්ෂයේ කාව්‍ය අස්වැන්න ගැන මා ලියූ දීර්ඝ විවරණයට අමතරව ජයග්‍රාහී සන්ථව කාව්‍ය විචාරත් මෙහි අඩංගු වෙනවා.
ඔබට කවිපොත් 100ක් අධ්‍යයනය කිරීමේදී ලැබුණු නිරීක්ෂණ මොනවාද?
මේක ඉතා දුෂ්කර කාර්යයක්. නමුත් විශාල නිදහසක් භුක්ති විඳිමින් රසිකයෙක් ලෙස තමයි මේ කාර්යය ඉටු කළේ. මේ ග්‍රන්ථ ලැයිස්තුගත කිරීමේදී ගුණාත්මක බව අනුව කොටස් හතරකට කොටස් කළා. ඒ අතරින් විශිෂ්ටතම ග්‍රන්ථ 10ක් මම තෝරාගත්තා.
ඒ විශිෂ්ට ග්‍රන්ථ සඳහන් කළොත්?
එරික් ඉලයප්පආරච්චිගේ දස බිම්බරා, නන්දන වීරසිංහගේ ක්ෂණ නියාම, ලක්ශාන්ත අතුකෝරළගේ අනබිසෙස් අනබිනික්මන්, නඳුන් යසිත දසනායකගේ සුළඟෙහිම සුළඟක්ව, ඩොමිනික් චන්ද්‍රසාලිගේ කාලයම සිතුවිල්ලක් වූ මිනිත්තුව, මාලතී කල්පනා ඇම්බ්‍රොස් ලියූ පියානොහැමූ පියාපත් (කෙටි කාව්‍ය) සහ නොපවතිනු වස් ප්‍රේමයම පවතිමි, ටිම්රාන් කීර්තිගේ පෙම්බරියගෙන් වෙන්වුණු ලුලෙක් හැරෙයි ඇළකට, අපරුක්කේ සිරිසුදම්ම හිමිගේ මෙහොතින් මොහොත සිඹිමි, දිනූ රාජගුරැගේ මල්වඩම් සිනාසිය යුතුය හා සුමිත් චාමින්දගේ අනාත්මය නිමේෂයක, මේ කෘති තෝරාගැනීමේදී මම වෙනත් සාහිත්‍ය සම්මාන විනිශ්චය මණ්ඩලවල ප්‍රතිඵල සලකා බැලුවේ නෑ.
ද්විතීය භාගයට මධ්‍යස්ථ තත්ත්වයේ ග්‍රන්ථ 27ක් මම ඇතුළත් කළා. මේ අතරින් සිව්වැනි භාගයේ තිබෙන්නේ දුර්වලකම් රැසකින් යුක්ත නිර්මාණයි.
මේ ලෙසින් කාව්‍ය නිර්මාණයට විශාල පිරිසක් එක්වුවත් අද කාව්‍ය විචාරය නම් ඉතා දුර්වලයි නේද?
ඒක ඇත්ත. එන්න එන්නම තරැණ කවි කිවිඳියන් රාශියක් කාව්‍ය ක්ෂේත්‍රයට එළඹෙමින් සිටිනවා. එදා කවි පොතක් පළ කිරීමට ගත් වෙහෙස, පෙරැම් පිරීම අද කිසියම් ප්‍රමාණයකට අන්තර්ජාලයට සම්බන්ධ වේදිකාව නිසා සැහැල්ලු වෙලා තිබෙනවා. නමුත් විචාරකයන් හෝ විචාර අවකාශය වර්ධනය වීමක් දැකගත නොහැකියි.
නමුත් දශක කිහිපයකට පෙර විචාර කලාව වර්ධනීය තත්ත්වයක තිබුණා නේද?
ඔව්. මුද්‍රිත මාධ්‍ය ප්‍රචලිතව පැවති 1940, 50, 60, 70 දශකවල මෙයට වඩා විචාර කලාවට උනන්දුවක් තිබුණා. නිර්මාණකරුවන් තරමටම විචාරකයන්ද උනන්දුවෙන් කටයුතු කළා. බවතරණය බිහිවූ පසුව බවතරණය විචාරයත් බිහිවෙනවා. ඊට පසු බවතරණ විචාර විචාරයක් එනවා. විරාගය පළවූ පසුව ඒ සම්බන්ධ විචාර රාශියක් පළවෙනවා. පසුව මාර්ටින් වික්‍රමසිංහම නවකාංග හා විචාරය නමින් පොතක් ලියනවා.
විචාරය දුර්වලවීමට හේතු ඔබ දකින්නේ කෙසේද?
මේක බරපතළ කාර්යයක්. අපේ රටේ වෘත්තීය මට්ටමේ සාහිත්‍ය විචාරකයන් නැහැ. ඔවුන් නඩත්තු කිරීමේ අවකාශයක් අප රටේ නැහැ. කාව්‍ය විචාරයට පුවත්පත්වල හෝ විද්‍යුත් මාධ්‍යවල අඛණ්ඩ ඉඩකඩක් නෑ. නිර්මාණකරුවන් විචාරයක් පිළිගැනීමට තිබෙන සූදානම සහ විචාර ඉල්ලා සිටීමක් දැකගැනීමටත් අසීරැයි. 1970 දශකයේ පේරාදෙණි විචාර ගුරුකුලයක් පැවතියා. භාවිත විචාර ක්‍රමයක් පැවතුණා. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, මහාචාර්ය විමල් දිසානායක, මහාචාර්ය ඊ.එම්.ජී. සිරිමාන්න ආදිය මෙහිදී කැපී පෙනෙනවා. එයට බාහිරව මහාචාර්ය ඒ.වී. සුරවීර මුල්කරගත් මාක්ස්වාදී විචාරයක් පැවතියා.
අද විභාග ඉලක්ක කරගත් නිර්දිෂ්ට කෘතිවලට නම් විචාර පළවෙනවා නේද?
ඒක හරියටම හරි. විචාර පොත් සම්භාරයක් ඒවාට ලියැවෙනවා. ඒවා ඉතා වියළි නීරස පටු තැනක තමයි ගමන් කරන්නේ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ ඉලක්ක කර එහෙම පොත් ලියන පිරිසකුත් විශේෂයෙන් හඳුනාගත හැකියි. ඒ අතරින් විශිෂ්ටයන් කිහිප දෙනෙකුත් ඉන්නවා. නමුත් බහුතරයක ගත යුත්තක් නෑ. විභාග කේන්ද්‍රීය මතයකින් යුත් ජනතාවක් සිටින නිසා මේ විචාර පොත් විකිණෙනවා.
අද නිර්මාණකරැවන් විචාරවලින් අඩුපාඩු පෙන්වා දුන්විට පෞද්ගලිකව තරහ වෙනවා නේද?
නව පරම්පරාවේ දැකගත හැකි දෙයක් තමයි විචාරය ප්‍රිය නොකිරීම. ඒ වගේම විචාරයට උදහස් වීම. මේ ක්‍රම දෙකම මා දැඩිව බැහැර කරනවා. මේ ක්‍රමය නිවැරදි කර නොගත්තොත් කිසිදු සාහිත්‍ය ශානරයකට ඉදිරි ගමනක් නෑ. කවියා, කාව්‍යවේදියා, කාව්‍ය විචාරකයා යන අංග තුනම සමාජයේ පැවතිය යුතුයි. කාව්‍යවේදියා තමයි කවිය ගැන හදාරලා විශේෂඥ මත පළ කරන්නේ. නමුත් අප රටේ කාව්‍යවේදියා දැක ගැනීමට නැති තරම්. නව පරම්පරාව විචාරකයා සහ කාව්‍යවේදියා යන අය දෙකම ප්‍රිය කරන්නේ නැහැ. නිර්මාණකරැවා කවි පමණක් හැදෑරීම ප්‍රමාණවත් නෑ. ඔහු සමාන්තර විෂයයන් කියවිය යුතුයි. විචාර කියවිය යුතුයි. විචාරකයා සතුරෙක් ලෙස නොවෙයි සැලකිය යුත්තේ. විචාරයට උදහස් වීම වැරදියි. නූතනම කවි කිවිඳියන් නිහතමානීත්වය සහ පුළුල් හදවතකින් යුක්ත විය යුතුයි.
ඔබ සාහිත්‍ය සම්මාන උළෙල රුසක විනිශ්චය මණ්ඩල නියෝජනය කළානේ. මෙවරත් විනිශ්චය මණ්ඩලවල ඉන්නවාද?
නෑ. විනිශ්චය මණ්ඩලවලට පත් කිරීම, විනිශ්චයෙන් පසුව රටේ ජනිත වන වාතාවරණය මගේ දැඩි කලකිරීමට ලක්වී තිබෙන්නේ. ඒ නිසා මම තීරණය කළා කිසිදු විනිශ්චය මණ්ඩලයක තව කලක් යනතුරු වාඩි නොවෙන්න. මම රාජ්‍ය සාහිත්‍ය උත්සව, පළාත් සාහිත්‍ය උත්සව, ගොඩගේ සාහිත්‍ය, ස්වර්ණ පුස්තක, රජත පුස්තක වගේ විනිශ්චය මණ්ඩල රුසක හිටියා. මේවායින් සිදුවුණේ කලකිරීමක් පමණයි. සාහිත්‍ය උත්සව සංවිධායකයන් අප කළ ඇතැම් ඉල්ලීම් නොසලකා හැරීම වගේ විනිශ්චය බාර ගැනීමට සමහරු සූදානම් නොවීමත් එයට හේතුවක්. විනිශ්චය ගැන නිර්මාණකරුවන්ගේ විචාරකයන්ගේ සහ රසිකයන්ගේ විනයක් දැකීමටත් අසීරුයි.
කුසුම්සිරි