2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

අහම්බෙන් හමු වූ අපේ කාලයේ වීරයෝ තුන්දෙනෙක්

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 1841

අපේ නිවසට යන පාරේ වෙල හරහා ඈත බැලූ විට වෙල්යායේ ඈතින් මහල් හය හතක ගොඩනැගිල්ලක් පසුගිය අවුරුදු කිහිපයේ දී ඉහළට මතුව ආයේය. ඉස්සර ඒ හරියේ තිබුණේ වේරහැර ලංගම ඩිපෝවයි. කොළඹ හොරණ පාරෙන් දැන් එතැනට පිවිසෙන ස්ථානයට බස්වල භාෂාවෙන් කියන්නේ ආර්.එම්.බී. කියාය. ලංගම බස් රථවලද ඉඳහිට RMB යන්න සටහන් වේ. එතැන ඇත්තේ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවයි.

Registration of Motor Vehicles යන වචන අනුව එය RMV වුවත් දැන් බොහෝ අය එතැනට කියන්නේ RMB කියාය. මා කලින් කී ගොඩනැගිල්ලට ද පිවිසෙන මාර්ගය ඇත්තේ එතැනිනි. එම ගොඩනැගිල්ලේ ඇත්තේ රෝහලකි. බාහිර රෝගීන්ට එහි ප්‍රතිකාර කරන බව RMV හන්දියේ පුවරුවක සටහන් වේ. එය නිකම්ම රෝහලක් නොවේ. එය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට අයත් රෝහලයි. දැන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය ඉස්සර ඇකඩමියකි. අප විශ්වවිද්‍යාලයට යන කාලේ කොතලාවල ආරක්ෂක ඇකඩමියට අප කීවේ KDA කියාය. සිසු සිසුවියන් කළු කලිසමකින් හා සාක්කු සහිත සුදු කමිසයකින් සමන්විත නිල ඇඳුමකින් සැරසී RMV හන්දිය සමීපයේ බොහෝ විට සිටිනු පෙනේ. ඒ KDU නිල ඇඳුම විය යුතුය.

වෙලෙන් එහා ඈත පෙනෙන කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨයේ රෝහලත් මඟදී හමුවන යොවුන් සිසු දරුවනුත් දකින විට මට අවුරුදු 37කටත් ඉහත කොළඹ විශ්වවිද්‍යාලයේ අප සමඟ එකට දේශනවලට සහභාගි වූ, එකට ක්‍රීඩා කළ, එකට විශ්වවිද්‍යාල කැන්ටිමෙන් ප්ලේන්ටිය බෙදාගෙන බිව්, එකට පාඩම් කළ එකට සරසවි සතුට අප හා බෙදාගත් එවකට KDA අපේ සිසු සොහොයුරන් මතකයට නැගේ. එවකට කොතලාවල ආරක්ෂක ඇකඩමියේ සිසුන්ට උපාධිය පිරිනැමුණේ කොළඹ විශ්වවිද්‍යාලයෙන් සහ මොරටුව විශ්ව විද්‍යාලයෙනි. කොළඹ විශ්වවිද්‍යාලයෙන් ඔවුනට විද්‍යා උපාධියත්, ශාස්ත්‍රවේදී උපාධියටත් පිරිනැමුණු අතර මොරටුව විශ්වවිද්‍යාලයෙන් ඔවුනට ඉංජිනේරු උපාධිය පිරිනැමුණේය.

එවකට KDA අපේ මිතුරන්ට, අප මෙන් කැමති ඇඳුමක් ඇඳගෙන සරසවි එන්නට ඔවුන්ගේ ඇකඩමියෙන් අවසර ලැබුණේ නැත. ඔවුන් තනි සුදු කලිසම හා කමිසයෙන් ද කළු සපත්තුවලින් ද සැරසී පැමිණිය යුතු විය. ඒ ඔවුන්ගේ සරසවි නිල ඇඳුමයි. RMV හන්දියේ, KDU සිසුන් දකින විට මට එකල KDA සිසුන්ගේ නිල ඇඳුම මතකයට එයි.

ආරක්ෂක ඇකඩමියේ නේවාසිකව සිටි අපේ KDA මිතුරන්ව ඒ කාලේ ඔවුන්ගේ නිල බස් රථයෙන් සරසවියට ගෙනැවිත් ඇරලවයි. ඔවුන් සමහර දේශන තිබුණේ රීඩ් මාවතේ එවකට හමුදා නිවස්නයක් පවත්වාගෙන ගිය පැරැණි රේස් කෝස් නැරඹුම් ප්‍රේක්ෂකාගාරයේය. දැන් එය සුපිරි වෙළෙඳසල් සමූහයක් ලෙස නවීකරණය කර තිබේ.

සුදු ඇඳුමෙන් සැරසී සරසවියේ ඉන්නා ඇකඩමි සිසුන් කවුරුදැයි සරසවියේ සිසුහු ඇඳුමෙන් හඳුනා ගනිති. ඔවුහු බොහෝ දෙනෙක් හවස් වරුවේ රගර් ක්‍රීඩාව හා වෙනත් ක්‍රීඩාවල නිරත වූහ. සරසවියේ කටයුතුවලින් ඔවුන් නිරත නොවූයේ ශිෂ්‍ය දේශපාලන කටයුතුවල පමණකි. ඔවුහු සරසවියේ සැමදෙනාම සුහද සිතින් ඇසුරු කළහ. ඔවුන් කොළඹ සරසවියෙන් ඉවත් කළ යුතු බවට තැනින් තැන විරෝධයක් මතුවන විට ඔවුන් වෙනුවෙන්, ඔවුන් සරසවිය තුළම රැකගත යුතු බවට හඬ නැගුවේ එවකට ස්වාධීන ශිෂ්‍ය සංගමයයි. එසේ කළේ ඔවුන් හා පැවති දැඩි සහෝදරත්වය නිසාමය.

ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමිය ආරම්භ වූයේ 1980 ඔක්තෝබර් 11 වැනිදාය. හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල විසින් රජයට පරිත්‍යාග කළ කඳවලවත්තේ අක්කර 48ක භූමියේ දී මෙය ඉහත සඳහන් දිනයේ දී විවෘත කරන ලද්දේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසිනි. 1981 අංක 68 දරන ජෝන් කොතලාවල ආරක්ෂක ඇකඩමි පනතින් ඊට රාජ්‍ය අනුමැතිය ලැබිණි. එම ඇකඩමියට කළ පළමු ඇතුළත් කර ගැනීම් තුන (intakes) එවකට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය ස්ටැන්ලි කල්පගේ, කොළඹ විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර, මොරටුව විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය සී. පටුවතවිතාන යන අයගේ අධීක්ෂණය යටතේ සිදු වූ බව වාර්තාවල සටහන් වේ.

හමුදාවේ පිළිවෙත නිසාදෝ ඇකඩමියේ සොයුරන් ඔවුනොවුන් ඇමතුවේත් ඔවුන් හැමදෙනා අතර හැඳින්වූයේත් ඔවුන්ගේ පළමු නමින් නොව වාසගමෙනි. පළමු නමින් ඇමතීමේ සිරිතක් හමුදාවේ නැති සෙයක් පෙනේ. ගුණසේකර, වන්නිආරච්චි, ඈපා ජයමහ, අබේකෝන්, රත්නායක, රූපසිංහ, සිල්වා (මෛත්‍රී), වික්‍රමසූරිය, (කානපි) විජේසේකර, මේ සියලු දෙනා මගේ batch එකේ සොයුරන්ය.

ගුණසේකර සරසවියෙන් නික්ම ගිය පසු මට මුණගැසුණේම නැත. නැවත ඔහු කිසිදා මට හමුනොවන බවද සහතිකය. එහෙත් ඒ ශාරීරිකව පමණි. ඔහුව මට මනසින් මුණගැහෙන්නට සිහිවටන බොහෝ තිබේ. ඇත්තෙන්ම ඔහු අපූර්ව පුද්ගලයෙකි. එවන් අයකුට සමීප චරිතයක් මට “අපේ කාලයේ වීරයෙක්” සෝවියට් නවකතාවේ (මිහායිල් ලෙර්වන්තව්ගේ) පෙචෝරින්ගේ චරිතය ආශ්‍රයෙන් මුණගැසී තිබේ.

ගුණසේකරව (ඔහුගේ පළමු නම මම පසුව කියමි) අප ඇමතුවේ (ගුණ්ඩා) යන ආදරණීය නාමයෙනි. ඔහු අතේ ඉංග්‍රීසි නවකතාවක් වැරදුණේ කලාතුරකිනි. ඇලිස්ට්‍රා මැක්ලින්ගේ, ෆෙඩ්රික් ෆොසින්ගේ, ආතර් හේලිගේ පොත් බොහෝ විට ඔහු කියවූවේය. ඒවායේ කතා හා චරිත ගැන, චිත්‍රපට ගැන, මම ඔහු සමඟ බොහෝ කතා කර ඇත්තෙමි. බොහෝ යහළුවන්ට සමීප වී ඔවුන්ගේ රුචි අරුචි දේට අනුව හොඳින් කතා කිරීමේ පුරුද්දක් ඔහුට තිබුණේය. සමූහය සමඟ ඉන්නා විට පමණක් නොව මිතුරන් සමඟ තනි වී ඔවුන් හා සමඟ එකිනෙකා කැමැති දේ කතා කරන්නට තරම් දැනුමක් ඔහු සතු වූයේය. හැමදෙනාටම සවන් දී හැමදෙනාගෙන්ම යමක් ඉගෙනීමේ පුරුද්දක් ද ඔහු සතු විය.

ඔහු දැඩි උනන්දුවකින් ශරීර අභ්‍යාසවල නිරත වූයේය. ඔහුගේ අරමුණ වූයේ සිරුරේ මස්පිඬු ලොකු කර හැඩකර ගැනීම නොව, ශරීර ශක්තිය වර්ධනය කර ගැනීමයි. එම නිසාම ඔහු දැඩි ශක්තිවන්තයෙක් වූයේය. ශාරීරාරක්ෂක සටන් ක්‍රම ද ඔහු දැඩි උනන්දුවකින් ප්‍රගුණ කළේය. සරසවිය පිටුපස තිබූ අපි බලෙන් අල්ලාගත් නේවාසිකාගාරය වූ පෝක්ලන්තයට වී දවස් කිහිපයක් ඔහු මට ආත්මාරක්ෂක සටන් ක්‍රම ඉගැන්වූයේය. (පෝක්ලන්තය යනු එවකට Queens club එකට අයිතිව තිබූ Skosh ක්‍රීඩා කරන ගොඩනැගිල්ලයි.)

මා කුඩා කාලයේ පටන් දැන සිටි අයිකිඩෝ (ජූඩෝ හා සමාන) කිහිපයක් ඔහුට කියා දුන් විට ඔහු ඉතා ආසාවෙන් ඒවා අල්ලා ගත්තේය. ඔහු ප්‍රධානීන්ගෙන් ඉල්ලාගෙන ශාරීරික අභ්‍යාස සහිත දඬුවම් විඳි අයකු බවට සැවොම දැන සිටියහ. ඇත්තෙන්ම ඔහුගේ අතපය යකඩ වලට වඩා සවිමත් විය. ඔහු සරසවියේ දී කිසිදාක උනන්දුවෙන් කෙල්ලක දිහා බැලූ අයකු නොවේ. ආදරයෙන් බොළඳ වන්නට ඔහු කැමති නොවූයේය. ඒ ඔහුගේ පෞරුෂයේ හැටිය. ආදරයෙන් බොළඳ නොවූවත් මිතුරුදම ඉදිරියේ වෙඬරු පිඬක් මෙන් උණුවන හිතක් ඔහු සතු විය.

වන්නිආරච්චිට තිබුණේ ඊට වෙනස් පෞරුෂයකි. උස මහත දේහයක් හිමි ඔහු දක්ෂ රගර් ක්‍රීඩකයෙක් විය. ඔහු ආදරයේ බොළඳ බව නොව ගැඹුර හොඳින් වටහා ගත්තෙකි. ඒ නිසා ඔහු අපේ ඊළඟ වසරේ සොයුරියක හා වඩාත් කුළුපග වූයේය. රගර් ක්‍රීඩාවේදී කඟවේනකු මෙන් ප්‍රතිමල්ලවයා බිම දැමූ ඔහු ක්‍රීඩාපිටියේ තරගය හමාර වූ පසු ප්‍රතිමල්ලවයාගේ හොඳ මිත්‍රයෙක් වූයේය. හෙතෙම විනයගරුක බවේ ප්‍රතිමූර්තියකි. කිසි දිනක ඔහු කේන්තියෙන් කතා කරනවා මා දැක නැත.
ඈපා අනිත් ඇකඩමි සොයුරන්ට වඩා නිහඬ සංසුන් පුද්ගලයෙක් වූයේය. ඔහු ශරීර ප්‍රමාණය අතින් ද අනෙක් ඇකඩමි ශිෂ්‍යයන්ට වඩා කුඩාය.

ඔවුන් සියලු දෙනාගේ උපාධිය අවුරුදු 3කින් සම්පූර්ණ වූ නිසා අපට කලින් සරසවියෙන් නික්ම යන දිනය ළඟා වූයේය. එකල මගේ සමරු සටහන් පොත සාමාන්‍ය මොනිටර් එක්සයිස් පොතකි. එහි ඒ බොහෝ අය සටහන් තබා තිබේ. සරසවියෙන් නික්මෙන අන් අය මෙන් නොව ඔවුන් යා යුතු වූයේ රණබිමටයි. ඔවුන් නික්ම යන විට උතුරේ යුද්ධය ගිනි සැරේට ඇවිලී තිබිණි. එකල මෙතරම් සන්නිවේදන පහසුකම් තිබුණේ නැත. ගෙදරකට පවා දුරකථනයක් ලැබුණේ අවුරුදු කිහිපයක් waiting list එකේ උන් පසුවයි. සරසවියෙන් නික්ම ගිය පසු ඒ කාලයේ ඔවුන් ගැන තොරතුරු ලැබුණේ ඉඳහිටය. ත්‍රිවිධ හමුදාවේ නාවික, ගුවන් හමුදා හෝ පාබල හමුදාවලින් එකක් ඔවුන් තෝරාගත යුතු විය.

87-88 වන විට උතුරේ යුද්ධයට අමතරව දකුණේ යුද්ධය ද ඇවිලෙන්නට ගත්තේය. හිටි හැටියේ ආණ්ඩුවෙන් පනවන ඇඳරි නීතියට අමතරව නිල නොවන ඇඳිරි නීතිය ද කැරලිකරුවන් විසින් පනවනු ලැබුවේය. රට පුරා පැවතියේ ජීවිතවල මහා අනපේක්ෂිත බවකි.

ඇකඩමියේ පළමු intake තුන විශ්වවිද්‍යාල තුළට ගැනීමේදී අධීක්ෂණ කටයුතු කළ උප කුලපතිවරුන් දෙදෙනාවම අමු අමුවේ ඝාතනය කරනු ලැබූහ. කොළඹ විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය ස්ටැන්ලි විජේසුන්දර විශ්වවිද්‍යාලය තුළදීම වෙඩි තබා ඝාතනය කරනු ලැබුවේය. මොරටුව විශ්වවිද්‍යාලයේ උප කුලපති මහාචාර්ය පටුවතවිතාන ද ඝාතනය කෙරිණි. ඔහුගේ පුත්‍රයා “චතුර” අප කා සමඟත් මිත්‍ර වූ අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙකි. පානදුරේ සිට විශ්වවිද්‍යාලයට ගිය කැම්පස් බස් එකේ හැමදාම සින්දු කියන්නට සැවොම උද්‍යෝගිමත් කළේ චතුර පටුවතවිතානය.

1992 වන විට මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පශ්චාත් උපාධිය හදාරණ කාලයේ එක් දිනක එවකට නාවික හමුදාපති ක්ලැන්සි ප්‍රනාන්දු ගාලු මුවදොරපිටිය ඉදිරියේ රථයෙන් ගමන් කරමින් සිටියදී බෝම්බයකට හසු වූ වග ආරංචි වූයේය. ඒ සමඟ තවත් නාවික හමුදා නිලධාරියකු ද මියගිය පුවත දැනගන්නට ලැබුණ ද වැඩි විස්තරයක් ඒ ගැන මගේ කන වැකුණේ නැත. මා එකල කාලය ගත කළේ වැඩිපුර මහ මඟය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය හැදෑරුවේ මාතර රාජ්‍ය සේවයේ යෙදී සිටින අතරතුර වීම ඊට හේතුව විය.

නාවික හමුදාපතිවරයා සමඟ ගාලු මුවදොර පිපිරී ගිය බිම් බෝම්බයට හසු වූයේ මගේ මිත්‍ර සඳුන් ගුණසේකර වග මා දැනගත්තේ සති කිහිපයකට පසුය. ඔහුගේ අවමඟුලටවත් සහභාගි වන්නට මට නොහැකි වූයේය. එකල සන්නිවේදනය ඒ තරම් දුර්වලය. ඔහු මගේ සමරු සටහන් පොතේ තැබූ සටහන මට මතක් විය.

“Be resolved that “Honor” is Heavier than Mountain and “Death” is lighter than feather” 

(අදිටන් කරගනු මෙය ගරුත්වය කන්දකට වඩා බරසාරය, මරණය පිහාටුවකට වඩා සැහැල්ලුය) 

1992 නොවැම්බර් 16 මියගිය ලුතිතන් කොමාන්ඩර් සඳුන් ගුණසේකර මරණය පිහාටුවක් සේ සැහැල්ලුවෙන් සලකා රට වෙනුවෙන් ජීවිතය පූජා කළේය.

දැනට අවුරුදු 15කට පමණ පෙර දවසක ප්‍රවීණ රංගන ශිල්පී විශ්වජිත් ගුණසේකර මා සමඟ දීර්ඝ සංවාදයකට වැටුණේය. ජීවිතයේ තම අධිෂ්ඨානයන් ජය ගනිමින් ඉදිරියට යද්දී තම අයියාගේ මරණය ඔහුට යම් පසුබෑමක් ඇතිකළ බව ඔහු එවිට කියා සිටියේය. මම ඒ ගැන විස්තර ඔහුගෙන් හාරා අවුස්සා බැලුවෙමි. 

“අයියා කොහොමද නැති වුණේ?” මම ඇසුවෙමි.

“නේවි කමාන්ඩර් එක්ක ගෝල්ෆේස් ඉස්සරහ බෝම්බෙට අහුවුණේ ඒ මගේ අයියා”

“සඳුන් ගුණසේකරද?”

“ඔව්”

ඒ වන විටත් මම “විශ්වා” හඳුනාගෙන අවුරුදු හත අටක් ගෙවී තිබුණේය. ඔහු අපේ “ගුණ්ඩා”ගේ මල්ලී වග දැනගත්තේ එදාය. 2011/12 කාලයේ දී මධ්‍යම රාත්‍රියේ මම ඔවුන්ගේ පියා මෙලොව හැරගිය වේලේ මල්වතු හිරිපිටියේ කඳුගැටයක් මත පිහිටි ඔවුන්ගේ නිවසට ගියෙමි. විශ්වා මා තනිවම ඔහුගේ කාමරයට එක්කරගෙන ගොස් ඔහුගේ ඡායාරූප ඇල්බම මට පෙන්වූයේය. අප සරසවියේ දී ගත් ඡායාරූප එක ඇල්බමයකත්, සොයුරාගේ අවසාන කටයුතු කළ දිනයේ ඡායාරූප තව ඇල්බමයකත් තිබුණි. මගේ ආදරණීය මිතුරාට දක්වන්නට නොලැබුණු අවසාන ගෞරවය මම ඔහුගේ පියාට පුද කළෙමි.

වන්නිආරච්චි යයි මා කීවේ, මේජර් ජනරාල් ධූරය දක්වා යුද හමුදාවේ ඉහළට එමින් සිය ජීවිතයේ අතිශය වැදගත් කාලයක් ශ්‍රී ලංකාවේ උතුරේත්, දකුණේත් යුද්ධ සඳහා කැපවූ මේජර් ජනරාල් සුනිල් වන්නිආරච්චිටයි. ඔහු මට රණවිරුවකු පමණක් නොව මට ඔහු ජීවිතය ජයගත් විරුවෙකි. සරසවි දිවියේ දී සෙනෙහස බෙදාගත් මල්රාජි සමඟ ඔහු විවාපත් වූයේය. මල්රාජිගේ ඒ කාලයේ නම මල්රාජි මීපේගමය. ඈ එවක පටන්ම අතිශය දක්ෂ කතුවරියක වූවාය. ඇය ඒ කාලයේ පටන්ම නිර්මාණකරණයේ යෙදුණාය. පසු කාලයේ ඇය නිසඹු දොළ සහ අහස ඇතුළු සාර්ථක නවකතා කිහිපයක් රචනා කළාය. එම දෙපළගේ දියණිය තිසුරි වයස අවුරැදු 14 දී ලියූ “Colombo streets” නම් කෘතිය 2009 වසරේ රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිකර ගත්තේය. 2014 අගෝස්තුවේ දී ඈ ලියා පළ කළ Terrorist’s Daughter කෘතිය අතිශය විචාරක සම්මානයට පාත්‍ර විය.

“අඩි හයක් උස ජාතික මට්ටමෙන්, රග්බි හා පැසිපන්දු ක්‍රීඩා කළ ගැඹුරු ගොරහැඬි කටහඬක් ඇති මගේ තාත්තාට ඇත්තේ ඉක්මණින් උණුවන හදවතකි. ඔහු තරම් සුන්දර සංවේදී හදවතක් ඇත්තකු මම නොදන්නෙමි. හතුරාටත් ප්‍රේම කරන ඔහු පිරිසුදු කතෝලිකයෙකි.”

“මේ මම මා වීම” යනුවෙන් තිසුරි ලියූ සටහනේ සිය පියා ගැන ලියූ අයුරුයි.

ඇය 2018, දවස් පනස් දෙකේ කුමන්ත්‍රණයට විරෝධය පා තිරසාර සංවර්ධනය පිළිබඳ සහකාර අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස් වූවාය.

මා ඈපා යයි කීවේ මේජර් ජාලිය ඈපාටය. ඔහු මගේ සමරු සටහනේ යොදා ඇත්තේ ධනංජය ඈපා යන නමයි. ජීවිතයේ තමා ලැබූ කටුක අත්දැකීම “මේජර් ජාලිය ඈපා සමඟ සංවාදයක්” නමින් ඔහු 2018 අගෝස්තු 18 බ්ලොග් අඩවියකට දුන් සම්මුඛ සාකච්ඡාවක් අන්තර්ජාලයේ පළ වී තිබේ. ඇඹිලිපිටිය සිසු ඝාතන නඩුවේ චෝදනාවකට ලක්වූ ඔහු වසර 9ක සිර දඬුවමක් වින්ඳේය. තම සම්මුඛ සාකච්ඡාවේ දී ඒ ගැන ඔහු විවෘතව කතා කර තිබේ. ඔහුගේ එම සම්මුඛ සාකච්ඡාවෙන් රජයේ සේවකයකුට උගත හැකි දේ බොහෝය. ජීවිතය ගැන විවෘත දෘෂ්ටියකින් බලන ගත්කතුවරයකුට එම සාකච්ඡාවෙන් ඊටත් වඩා දේ උකහාගත හැකිය. රජයේ සේවයේ දී අමාරැවේ වැටීම සාමාන්‍ය දෙයකි. ඔහුට අවුරැදු 9ක් සිරදඬුවම් විඳින්නට සිදු වූයේ පෞද්ගලික කටයුත්තක් කිරීමට ගිය නිසා නොවේ.

අවුරුදු 37කට පසුව අපට එකිනෙකා මුණගැසී ජීවිතයේ තරුණ සමය ගැන කතා කරන්නට දැන් වාසනාව පෑදී තිබේ. දූ දරුවන්ගේ විවාහ උත්සවවලදී, සාදවලදී අපම සංවිධානය කළ චාරිකාවලදී අපි දැන් මුණගැසී අතීතය සමරමු. එහෙත් සඳුන් ගුණසේකර අපට නැවත හමු නොවන බව අපි දනිමු. ඇකඩමියේ සිටි තිස්ස අබේකෝන්, නෙවිල් ජයමහ, අජිත් පෙරේරා යන අපේ මිතුරන් මුහුණුපොතෙන් නිතර අපට හමුවන්නේය. ඔවුහු මුහුදින් එතෙර ගොස් ලෝකය ද දිනා ගත්තෝය. 

 සමන් පුෂ්ප ලියනගේ