2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

නීතියට යටත් නැති ඡන්ද වියදම්

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:31 148

ජනාධිපතිවරණය ක්‍රමයෙන් උණුසුම් වෙමින් පවතී. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තම අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ නම් කළේය. ඉන් සතියකට පසු ජනතා විමුක්ති පෙරමුණ අනුර කුමාර දිසානායක තම අපේක්ෂකයා ලෙස නම් කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෛත්‍රීපාල සිරිසේන යළි ඉදිරිපත් කිරීමේ සැලසුමක් තිබුණද එම අදහස ඉවත් කර ගෙන ඇති බව පෙනෙන්නට තිබේ. 2015 ජනාධිපතිවරණයේ ඡන්ද ලක්ෂ හැට දෙකක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ පරාජය කළද මේ වනවිට ඔහුගේ ජනප්‍රියත්වය පහත වැටී ඇති බව පැහැදිලිය. එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර අර්බුදය මත තවමත් අපේක්ෂකයකු නම් කිරීමට එම පක්ෂය ඇතුළු සන්ධානයට නොහැකි වී තිබේ. පක්ෂය තුළ කණ්ඩායම් දෙකක් ලෙස බෙදී එක් පිරිසක් රනිල් වික්‍රමසිංහටද තවත් පිරිසක් සජිත් ප්‍රේමදාසටද සහය පළ කරමින් සිටිති. 

ඉදිරියට ඇත්තේ මැතිවරණ වසරකි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය, පාර්ලිමේන්තු මැතිවරණය, පළාත් සභා මැතිවරණය සහ ප්‍රාදේශීය සභා මැතිවරණය ලෙසින් මැතිවරණ හතරක් පැවැත්වෙයි. මෙම මැතිවරණ සඳහා අති විශාල මුදලක් වැයවන බව නොරහසකි. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරන පරිදි ජනාධිපතිවරණය සඳහා රුපියල් කෝටි 400ක්ද, පළාත් සභා මැතිවරණයට රුපියල් කෝටි 450ක් ද වැය වෙයි. 2020 අගෝස්තු මාසයේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වීමට නියමිතය. ලබන මාර්තුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර පාර්ලිමේන්තු මැතිවරණයද පැවැත්වීමට සිදුවන බව පැවසේ. ඒ සඳහාද තවත් කෝටි 500ක් පමණ වැය කෙරෙනු ඇත. මෙතරම් මුදලක් වැය කරන්නේ කුමක් සඳහාද?
රටේ සමස්ත භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර් 65610 කි. පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන මන්ත්‍රී සංඛ්‍යාව එම භූමි ප්‍රමාණය අනුව බලන කල වර්ග කිලෝමීටර් 6.56කට එක් මන්ත්‍රීවරයකු බැගින් සිටින බව පෙනේ. පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන්  225 කින්, පළාත් සභා නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරැන් 437 කින් හා පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් 8436 කින් එම පිරිස සමන්විතය. ඒ හැර ජනාධිපතිවරයකුද සිටී. රුපියල් කෝටි 1500කට අධික මුදලක් වැය වන්නේ මේ පිරිස මේ රට පාලනය කරනු පිණිස පත්කර ගැනීම සඳහාය.

මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයන්ද මැතිවරණ සඳහා කෝටි ගණනින් වැය කරති. අතීතයේ පැවැති නීතිය වූයේ තම ඡන්ද කොට්ඨාසයේ එක් ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි වූ උපරිමය රැපියලක් ලෙසිනි. පසුකාලීනව මෙම ක්‍රමය වෙනස් වූ අතර අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම මුදල කොපමණද යන්න පිළිබඳ සීමාවක් නොමැත. අතීතයේ දේශපාලනයට පැමිණි බොහෝ දෙනෙක් ඒ සඳහා ඉදිරිපත් වූයේ මුදල් සෙවීමට නොව තම තත්ත්වය පවත්වාගෙන යෑමේ අරමුණ ඇතිවය. එහෙත් දේශපාලනය මුදල් සෙවීමේ ඉල්ලමක් බවට පත්වීමත් සමඟ කෙසේ හෝ පාර්ලිමේන්තුවට හෝ පළාත් පාලන ආයතනයක ඇමතිවරයකු හෝ මන්ත්‍රිවරයකු වීමට බොහෝ අය පෙළඹිණි. තම දේශපාලනය සඳහා මුදල් වැය කරන්නේ තමා නොව තම හිතවතුන් හා පාක්ෂිකයන් බවට බොහෝ දේශපාලකයෝ ප්‍රකාශ කරති. තම අපේක්ෂකයාට සහය දැක්වීමේ මුවාවෙන් විවිධ දූෂිතයන් මැතිවරණ ව්‍යාපාරය තුළට රිංගා ගන්නා අතර පසුකාලීනව ඔවුන් සතුටු කිරීමටද දේශපාලකයාට සිදුවේ. ඒ සඳහා ඔවුන් භාවිත කරනුයේ රටේ සම්පත්ය. එහෙයින් අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිමය පිළිබඳව නීතියක් ක්‍රියාත්මක කළහොත් නිකරැණේ වැයකරන විශාල මුදල් ප්‍රමාණය මෙන්ම දූෂණයද බොහෝ දුරට අවම කරගත හැකි වනු ඇත.

මෙතරම් විශාල මන්ත්‍රී පිරිසක් පත්වීමට මග පෑදුණේ 1977 පසුය. එතරම් මැති ඇමැතිවරුන් පිරිසක් සිටියද රටේ සංවර්ධනයට පලදායි සේවාවක් ඔවුන්ගෙන් සිදුවී නොමැති බව ජනතාවගේ මතයයි. මන්ද ඒ ඒ අපේක්ෂකයන්ගේ අරමුණ තමන් මැතිවරණයට වැය කළ මුදල උපයා ගැනීම විනා රටට සේවය කිරීම නොවන බවට චෝදනා නැඟේ. මැතිවරණවලට මෙන්ම දේශපාලනඥයන් විශාල පිරිසක් නඩත්තු කිරීමට සිදුවී ඇත්තේ මේ රටේ බදුගෙවන ජනතාවටය. මෙවැනි පිරිසක් පත් කිරීම සඳහා මැතිවරණ පැවැත්වීමට අති විශාල මුදලක් වැය කළ යුතුද, එය ශ්‍රී ලංකාව වැනි දියුණු වෙමින් පවතින රටකට දැරිය හැකිද, මෙම අධික වියදම් අවම කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න පිළිබඳව අපි විද්වත් පිරිසකගෙන් විමසා බැලුවෙමු. පහත පළ වන්නේ ඒ සම්බන්ධයෙන් ඔවුන් ප්‍රකාශ කළ අදහස්ය.

නිවැරදි ක්‍රමයක් හදා ගත්තොත් වියදම අවම කරගත හැකියි
මහාචාර්ය සුදන්ත ලියනගේ - ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය

ප්‍රජාතන්තවාදී රටක මැතිවරණ පැවැත්වීම අනිවාර්ය කරුණකි. මැතිවරණයක් පැවැත්වීම සඳහා ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, මැතිවරණ නිලධාරීන්ගේ සේවය, ඡන්ද මධ්‍යස්ථාන ස්ථාපනය කිරීම, ඡන්දය ගණන් කිරීම, ප්‍රවාහන කටයුතු වැනි සියලු කාර්යයන් සඳහා විශාල වියදමක් දැරිය යුතුය. බොහෝ දියුණු රටවල පරිගණක තාක්ෂණය ඔස්සේ ඡන්දය ප්‍රකාශ කරනු දැකිය හැකිය. එයට ඡන්ද පත්‍රිකා නොමැත. ඡන්ද නිලධාරීන් විශාල පිරිසක් අවශ්‍ය නොවේ. එහෙයින් වැයවන මුදලද අවමය. සාක්ෂරතාව අවම තත්ත්වයක පැවතියද ඉන්දියාවේද මෙම ක්‍රමය අනුගමනය කරනු ලබයි. ශ්‍රී ලංකාවේ සාක්ෂරතාව ඉහළ මට්ටමක පවතී. ඔවුහු විවිධ සමාජ ජාල, පුවත්පත් පරිහරණය කරති. එහෙයින් ඇතැම්විට වැරදි මතයක් වුවද සමාජගතවීමට ඇති ප්‍රවණාතාව වැඩිය.

පරිගණක වංචා (කොම්පියුටර් ජිල්මාට්) සිදුවිය හැකිය යන මතයක් මේ වනවිට සමාජගත වී ඇති හෙයින් එවැනි ක්‍රමවේදයක් අනුගමනය කිරීමට තවමත් පියවර ගෙන නොමැත. ඡන්ද පත්‍රිකාවක් සලකුණු කළ විට එය වෙනස් කළ නොහැකිය යන විශ්වාසය ජනතාවට තිබේ. පරිගණක මැතිවරණ ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනතාව තුළ විශ්වාසයක් නොමැකි වුවහොත් විශාල ගැටලු සහගත පසුබිමක් නිර්මාණය වනු ඇත. පරිගණක තාක්ෂණය හෝ විකල්ප ක්‍රමයක් විශ්වාසදායී ලෙස භාවිත කළ හැකිනම් මැතිවරණ වැය විශාල ප්‍රමාණයකින් අවම කරගත හැකිවනු ඇත. එහෙත් වත්මන් ප්‍රවණතා අනුව එවැනි ක්‍රමයකට පිවිසීමේ අසීරුතාවක් පවතී.

ප්‍රජාතන්ත්‍රවාදය යනු වැඩි පිරිසකගේ මතයයි. එය සැමවිටම නිවැරදි විය නොහැකිය. අපි සියල්ලන් එක්ව කිසියම් පිරිසක් බලයට පත් කරන්නෙමු. ඒ සඳහා මැතිවරණ පැවැත්විය යුතුය. පසුගිය කාලය පුරා මැතිවරණ පැවතියේ කඩින්කඩය. පසුගිය සමයේ නියමිත දිනයේ මැතිවරණ නොපැවැත්වීම මත 2020 වසරේ ප්‍රධාන මැතිවරණ තුනක් පැවැත්වීමට සිදුවනු ඇත. මේ සඳහා දළ වශයෙන් රුපියල් කෝටි 1500ක් පමණ වැය කිරීමට සිදුවේ. එය ශ්‍රී ලංකාව වැනි රටකට දැරිය නොහැකි වියදමකි. රජය දිගින් දිගටම මැතිවරණ කල් දැමීම මත එක් වසරක් තුළ මැතිවරණ සඳහා විශාල මුදලක් දැරීමට සිදුවනු ඇත. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම සඳහා අසීරුවෙන් හෝ මෙම මුදල වැය කිරීමට සිදුවේ.

විශාල මුදලක් වැයවීම අවම කර ගැනීම සඳහා අනාගතයේ විකල්ප ක්‍රියා මාර්ගවලට එළඹිය යුතුය. පළාත් සභා අපට අවශ්‍යද යන්න සම්බන්ධයෙන් කතිකාවතක් නිර්මාණය වී තිබේ. වැඩි පිරිසකගේ මතය වන්නේ එය අනවශ්‍ය බවකි. පළාත් සභා මැතිවරණයක් නොපවත්වා පළාත් සභා සඳහා නියෝජිතයන් පත් කිරීමේ ක්‍රමවේදයක් සකස් කළ හැකිය. අදාළ පළාත නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සහ ප්‍රාදේශිය සභා සභාපති, උප සභාපති සහ විපක්ෂයනායකගේ එකතුවකින් එවැන්නක් නිර්මාණය කළ හැකිය. එමෙන්ම එකම අවස්ථාවේ ජනාධිපතිවරණ හා මහා මැතිවරණය පැවැත්විය හැකි ක්‍රමවේදයක් සකස් කරගත හැකිනම් මැතිවරණ සඳහා දැරීමට සිදුවන විශාල පිරිවැයෙන් අඩක් පමණ ඉතිරිකරගත හැකි වනු ඇත. එහෙත් ජනාධිපතිවරණයක පවතින්නේ මහා මැතිවරණයක පවතින හැසිරීම නොවේ. මහා මැතිවරණයක පවතින්නේ පළාත් සභා මැතිවරණයක හැසිරීම නොවේ. එහෙයින් එකවර මැතිවරණ පැවැත්වීමේ ගැටලුද පැන නැඟිය හැකිය. සමස්තයක් වශයෙන් ගත් කළ මැතිවරණ ක්‍රමයම ගැටලු සහගත බව බව පෙනී යන්නකි. අපට අවශ්‍ය වන්නේ වඩාත් සාධාරණ මැතිවරණ ක්‍රමයක් සකසා ගැනීමය. එසේ කළහොත්  මැතිවරණ වියදම 25%කින් පමණ අවම කරගත හැකිවනු ඇත. ශ්‍රී ලංකාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. එහෙයින් අධික මුදලක් වැයවනවා යැයි පවසමින් මැතිවරණ පැවැත්වීමෙන් වැළකී සිටිය නොහැකිය. මැතිවරණ සඳහා වැයකරනුයේ ජනතාවගේ බදු මුදල්ය. ඒවා රටේ සුබසාධනය උදෙසා වැය කිරීමට ඇති මුදල්ය. එහෙයින් අවම මුදලකින් මැතිවරණ පැවැත්විය හැකි ක්‍රමවේදයක් නිර්මාණය කිරීම අත්‍යවශ්‍යය.

අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම සීමා පැනවිය යුතුයි
නීතීඥ එස්. ජී. පුංචිහේවා

ජනාධිපතිවරණයට කෝටි 400ක් පමණ වැයවන බව පැවසෙයි. ශ්‍රී ලංකාව පවතින්නේ ඒ සඳහා කෝටියක්වත් වැයකළ හැකි තත්ත්වයක නොවේ. ඉදිරියේදී අවම වශයෙන් මැතිවරණ තුනක්වත් පැවැත්වීමට සිදුවේ. ඒ සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම මත  රටේ ධනයෙන් මැතිවරණ පැවැත්වීම හැර ජනතාව සුබසාධනය උදෙසා වන කිසිදු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට නොහැකි වනු ඇත. මැතිවරණයකට වැයකරන මුදලින් ජනතාවට කිසිදු ප්‍රතිඵලයක්  අත්පත් නොවේ. සිදුවන්නේ  තවදුරටත් බදු බරින් පෙළීම පමණි. එහෙයින් මැතිවරණ වියදම් ජනතාවට ඔරොත්තු නොදෙන්නකි. මැතිවරණ වියදම් අවම කර ගැනීම සඳහා කිසිදු වැඩපිළිවෙළක් මෙතෙක් නිර්මාණය වී නොමැත. කලකට පෙර මැතිවරණ සඳහා දින නියම කිරීමේ බලය මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට පැවරිණි.

ඒ අනුව පිරිවැය අවම කර ගැනීම සඳහා එකවර පැවැත්විය හැකි මැතිවරණ පිළිබඳව ඔහුට තීරණය කළ හැකිය. ජනාධිපතිවරණ සහ පළාත් සභා යන මැතිවරණ එක්වර පැවැත්විය හැකි නම් වියදම අවම කර ගත හැකිය. තමාට එලෙස කළ හැකි යැයි සභාපතිවරයාද ප්‍රකාශ කර තිබේ. එහෙත් ඉන් තමන්ට දේශපාලන වශයෙන් අවාසියක් සිදුවනු ඇතැයි කියමින් ඇතැම් දේශපාලනඥයන් මෙයට අකුල් හෙලන බව පෙනෙන්නට තිබේ. ජනතාව කොතරම් අපහසුතාවට පත් වුවද තම දේශපාලන අරමුණු උදෙසා වෙන් වෙන් වශයෙන් මැතිවරණ පැවැත්වීම ඔවුන්ගේ අරමුණයි.

අධික ලෙස මුදල් වැය නොවන මැතිවරණ ක්‍රමයක් පිළිබඳ අවසන් තීරණය ගැනීම මැතිවරණ කොමිසමේ සභාපතිට පැවරිය යුතුය. සියලු මැතිවරණ නියමිත දිනයක පැවැත්වීමට ඔහු තීරණය කළ යුතුය. එවිට යම් පමණකින් වියදම් කළමනාකරණය කර ගැනීමට හැකි වනු ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එම බලතල මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වෙත පැවරුණද ඔහුට ඒ සඳහා කටයුතු කිරීමට විවිධ බාධා පමුණුවා තිබේ. මෙම ක්‍රමවේදය වෙනස් විය යුතුය. 
පළාත් සභා මැතිවරණය ප්‍රමාද වන්නේ එය සමානුපාතික මැතිවරණ ක්‍රමය යටතේ පවත්වනවාද කේවල ක්‍රමය යටතේ පවත්වනවාද යන්න පිළිබඳ තවමත් තීරණයකට එළඹිය නොහැකි බැවිනි. අපට අවශ්‍ය මේ ක්‍රම දෙකේම මිශ්‍රණයකි. ශ්‍රී ලංකාවට මෙතරම් මැතිවරණ අවශ්‍යද යන්න පිළිබඳවද අප සලකා බැලිය යුතුය. පළාත් සභා රටට අවශ්‍යද? පළාත් සභා අහෝසි කොට එම බලතල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් යටතට පත්කළ නොහැකිද? ප්‍රාදේශීය සභා මැතිවරණ කඩින්කඩ නොපවත්වා එකවර පැවැත්විය නොහැකිද? මෙවැනි කරුණු පිළිබඳ අවධානය යොමු කිරීමෙන් මැතිවරණ සඳහා වැයවන විශාල මුදල අවම කරගත හැකිවනු ඇත. කිසිදු රජයක් මෙවැනි ක්‍රියාමාර්ග කෙරෙහි අවධානය යොමු කර නැත. එහෙයින් මහජනතාව එවැන්නක් සඳහා බලපෑම් කළ යුතුය. 

මැතිවරණ සඳහා රජය පමණක් නොව අපේක්ෂකයන්ද කෝටි ගණනින් මුදල් වැය කරති. එම මුදල් තමන්ගේ නොව පාක්ෂිකයන් හා හිතවතුන්ගෙන් ලද බවට ඔවුහු සඳහන් කරති. අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිමය සීමාව සඳහන් නීතියක් පැනවිය යුතුය. ඔහු හෝ හිතවතුන් හෝ එම සීමාව ඉක්මවා මුදල් වැය කරන්නේ නම් ඒ සඳහා දඬුවම් පැමිණ විය යුතුය.

මැතිවරණ සඳහා වන සියලු බර පැටවෙන්නේ ජනතාව මතයි
මහාචාර්ය සිරිමල් අබේරත්න - ආර්ථික විද්‍යා අංශය , කොළඹ විශ්ව විද්‍යාලය

ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම සහ මැතිවරණ වියදම් අවම කිරීම යන දෙකම එකවර කළ නොහැකිය. ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමට නම් මැතිවරණ පැවැත්විය යුතුය. මැතිවරණ පැවැත්වීම සඳහා මුදල් වැය කළ යුතුය. ඉදිරියේදී මැතිවරණ කිහිපයක් පැවැත්වීමට නියමිතය. මෙම මැතිවරණ සියල්ලම රටට අවශ්‍යද නැතිනම් ඒවා වෙනස් කළ යුතුද යන්න පිළිබඳ කිසිදු කතිකාවක් නොමැත. එහෙයින් මේ සියලු මැතිවරණ සඳහා වන සියලු බර පැටවෙන්නේ ජනතාව මතය. අවශ්‍ය දෙයට වඩා වැඩියෙන් වියදම් කරනුයේ අනවශ්‍ය දේ සඳහාය. එය රටක පරිහානිය සඳහා බලපාන කරුණකි.

සෑම වසරකම පාහේ මැතිවරණයක් පැවැත්වෙනු දැකිය හැකිය. මෙම මැතිවරණ සියල්ල එකම අවස්ථාවක හෝ එකම මාසයක් තුළ හෝ පැවැත්විය හැකිනම් වියදම් බොහෝ දුරට අවම කරගත හැකි වනු ඇත. ඒ සඳහා රජය නිවැරදි තීරණයකට එළැඹිය යුතු වන අතර ජනතා සහායද ඒ සඳහා අවශ්‍ය වේ. එවැනි යහපත් වෙනසක් සඳහා කිසියම් දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානම් වන විට පිරිසක් එයට විරුද්ධ කටයුතු කරති. දේශපාලනඥයන්ද ජනතාවද බෙදී සිටීම හේතුවෙන් නිවැරදි දේශපාලන තීන්දු ගැනීමට ඇති හැකියාව අවම වී තිබේ. මෙයට දේශපාලන පක්ෂ පමණක් නොව ඔවුන් වටා සිටින ජනතාවද වගකිව යුතුය.

පළාත් සභා යනු පිටින් ගෙනැවිත් අප වෙත බලයෙන් පැටවූවකි. එය සුදු අලියකු බඳුය. විශාල මුදලක් වැය කරමින් පවත්වාගෙන යෑමට සිදුවී තිබෙන ආයතනයකි. එහෙත් ඉන් රටට ප්‍රයෝජනයක් අත්වන්නේද? එම ආයතන ප්‍රයෝජනවත් ලෙස පවත්වාගෙන යෑමට නම් එයට වැඩ කිරීමට අවශ්‍ය කරන මානව සම්පත් හා මූල්‍යමය සම්පත්  ලබාදිය යුතුය. එමෙන්ම ඔවුන්ගේ විෂයපථය පුළුල් කළ යුතුය. අධ්‍යාපනය, සෞඛ්‍ය, සුබසාධන හා ප්‍රජා සේවා වැනි විෂය මුළුමනින්ම පළාත් සභාවලට පැවරිය යුතුය. එවිට තරගකාරී මට්ටමින් එම කටයුතු තවදුරටත් වර්ධනය කිරීමට ඔවුනට වගකීමක් හා වගවීමක් පවතී. එවිට පළාත් සභා සඳහා වැයවන වියදමින් ප්‍රයෝජනයක් අත්වනු ඇත. එසේ නොවන්නේ නම් එය රටට අනවශ්‍ය දෙයක් ලෙස සලකා බැහැර කළ යුතුය.

ප්‍රාදේශීය සභා යනු ජනතාවට වඩාත් සමීප දේශපාලන අධිකාරියකි. දියුණු රටවල ජනතාවගේ සියලු සේවා ඉටුකරනු ලබන්නේ නගර සභා, මහ නගර සභා  සහ ප්‍රාදේශීය සභා යන ආයතන මගිනි. එහෙත් ශ්‍රී ලංකාවේ පවතින තත්ත්වය මෙයට වෙනස්ය. සියලු කටයුතු ඉටුකර ගැනීම සඳහා ජනතාවට රජයේ මධ්‍යම රජයේ ඇමැතිවරයා වෙත යෑමට සිදු වී තිබේ. මෙරට පවතින ක්‍රමය තුළ ඉහළ සිට පහළට ගලා නොයෑමය. එහෙයින් ප්‍රාදේශීය සභාද පළාත් සභා තත්ත්වයටම පත්වී තිබේ. එම ආයතනවලට මහජන අවශ්‍යතා ඉටු කිරීමට ප්‍රමාණවත් මුදල් නොමැත. ජනතා සුබසාධනයට වඩා තමන්ගේ යැපීම සඳහා කටයුතු කිරීමට ඔවුනට සිදු වේ. මෙම ආයතන ජනතාවට පලදායි ආයතන බවට පත් කළ යුතුය. ප්‍රජාතන්ත්‍රවාදය නිවැරදි ලෙස ක්‍රියාත්මක කරන්නේ නම්, මෙවැනි ආයතන සඳහා පැවැත්වෙන මැතිවරණ පලදායි බවට පත් කර ගැනීමට අවශ්‍ය නම් බලතල විමධ්‍යගත කිරීම අත්‍යවශ්‍ය කරුණකි. එසේ නොවන්නේ නම් මෙවැනි ආයතන සඳහා මැතිවරණ පැවැත්වීමට වැය කෙරන මුදල මහජන මුදල් අපතේ යෑමකි.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා

 

 

 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00