කෙසේ වුවද අත ළඟටම පැමිණ ඇති මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ වගකීම කුමක්ද? ඇත්තවශයෙන් ඔවුන් රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් ඉටු කළ යුත්තේ මොනවාද යන්න පිළිබඳ දැන් සිටම සාකච්ඡා කිරීම සුදුසු වන්නේ එමඟින් ඡන්ද දායකයා දැනුම්වත් වී වඩාත් සුදුසුම පුද්ගලයා තෝරා පත්කර ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබෙන බැවිනි.
ඉදිරි ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයන්ට රට වෙනුවෙන් පැවරී ඇති වගකීම සහ කාර්ය සමුදාය පිළිබඳ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ෙජ්‍යෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්නයන් දැක්වූ කරුණු මෙසේය.
අලුතෙන් පත්වන ජනාධිපතිවරයා අද ශ්‍රී ලංකාවේ ජනතාව හා රජය මුහුණ පා ඇති අර්බුද හා ගැටලු මොනවාද යන්න පිළිබඳ මුලින්ම අවබෝධයක් ලබාගෙන ස්වකීය කාර්යභාරය තීරණය කළ යුතුයි. ඔහුට ඉදිරි අනාගත දැක්මක් තිබිය යුතු වෙනවා. එසේ නොමැති වූ විට කවුරුන් ජනපති වුණත් ඒ වෙලාවට අතට අහුවෙන දේවල් කරනවා. අද සිදුව තිබෙන තත්ත්වය එයයි. දැනට වසර පහක් ඉක්මවීමට ආසන්න නමුත් කළ දෙයක් පෙනෙන්නට නැහැ. කාලය නාස්ති වුණා පමණයි. ඉදිරියට හෝ මේ වැරදි නිවැරදි කරගත යුතුයි.
අලුතෙන් පත්වන ජනාධිපති රටේ ඇති සම්පත් පිළිබඳ අවබෝධ කරගෙන ඒවායින් උපරිම ප්‍රයෝජන ගැනීමට කටයුතු කළ යුතුයි. සම්පත් කළමනාකරණය කිරීමේදී විධිමත් ක්‍රියාමාර්ගවලට එළඹිය යුතු වෙනවා.
රටේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ විශේෂයෙන් සලකා බැලීම අවශ්‍යයි. රටේ ආරක්ෂාව බිඳවැටීම පසුගිය කාලයේ අත්දුටු දෙයක්. කුමන ජනාධිපතිවරයෙක් බලයට ආවත් ජාතික ආරක්ෂාව තහවුරු වන පරිදි ක්‍රියා කළ යුතුයි. රාජ්‍ය ආරක්ෂාව යනු හමුදාවලට විශාල වශයෙන් සෙබළුන් බඳවා ගැනීම නොවෙයි.පොලිස් නිලධාරීන් වැඩි කිරීම නෙවෙයි. අයවැය ලේඛනයෙන් විශාල මුදලක් වෙන් කළා යැයි රටේ ආරක්ෂාව තහවුරු වන්නේ නැහැ. සුදුසු අය බඳවාගෙන, අදාළ ආයතන පිහිටුවා, තියෙන ආයතනවල ව්‍යූහය වෙනස් කළ යුතුනම් එසේ කර රටේ ජනතාව, වනසතුන්, ගස්කොළන් ආදියේ සුරක්ෂිතභාවය ඇතිකර නිසි ඉලක්ක කරා මෙහෙයවීම කළ යුතු වෙනවා. අද වනවිට ආරක්ෂාවට මුදල් වියදම් කළත් ප්‍රධාන පරමාර්ථ ඉටු වී නොමැති බවයි පෙනෙන්නට ඇත්තේ.
රටේ කඩිනම් ආර්ථික වර්ධනයක් ඇති කිරීමේ අවශ්‍යතාව විශේෂයෙන් කැපී පෙනෙනවා. ආර්ථික වර්ධන ව්‍යාපෘති අලුතෙන් ඇති කළ යුතුයි. මෙම තත්ත්වය Big push යනුවෙන් හඳුන්වනවා. මෙයින් අදහස් වන්නේ ආර්ථික වර්ධනයට තල්ලුවක් දීමයි. අපේ රටේ පසුගිය වසර පහ තුළ ආර්ථික වර්ධන වේගය සියයට 2 – 2 ½ දක්වා පහළ බැසලා තිබෙනවා. පසුගිය වර්ගවාදී යුද්ධය සමයේදී වුවද අපේ ආර්ථික වර්ධන වේගය සියයට 5 මට්ටමේ තිබුණා. එහෙත් මේ වනවිට යුද්ධයක් නොමැති වුවද වර්ධන වේගය ඉතාම පහළට වැටිලා. මෙයට බාහිර හේතු පෙනෙන්නට නැහැ. GSP + සහනය ලැබිලා තිබෙනවා. පසුගිය කාලයේ තිබූ මත්ස්‍ය වෙළෙඳාම් තහනම ඉවත් කළා. විදේශ ණය හා අධාර ද ලැබෙමින් තියෙනවා. මේ සියලු පහසුකම් ලැබුණත් ආර්ථිකය අසමත් වී ඇති නිසා ඒ පිළිබඳ කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම නව ජනපතිවරයාගේ ප්‍රධාන වගකීමක් වෙනවා.
1970 වසරවල රටේ ආර්ථිකය පහළ වැටී තිබුණත් ජේ. ආර්. ජයවර්ධන ජනපති වූ පසු මහවැලි සංවර්ධන ව්‍යාපාරය නිදහස් වෙළෙඳ කලාප වැනි විශාල ආර්ථික ව්‍යාපෘති ක්‍රියාත්මක කර රටේ ආර්ථිකය වර්ධනය කළා. මෙවරද අභිනව ව්‍යාපෘති ආරම්භ කර රටේ ආර්ථිකය නගා සිටුවිය යුතුයි. මහින්ද ජනාධිපති ලෙස කටයුතු කළ සමයේ පටන්ගත් Port city වැනි ව්‍යාපෘති උදාහරණ ලෙස ගතහැකියි.
පසුගිය වසර පහක කාලය තුළ අපේ රැකියා වෙළෙඳපොළ වර්ධනය වූයේ නැහැ. රැකියා වෙළෙඳපොළට එකතු වන පිරිසට වඩා වැඩියෙන් රැකියා දීමෙන් තමා රැකියා විරහිතභාවය අඩු කළ යුත්තේ. රැකියා විරහිතභාවය ප්‍රධාන ප්‍රශ්නය නෙවෙයි. එය අතුරු ප්‍රතිඵලයක් පමණයි. විරුකියාව ඇතිවන්නේ රටේ ආර්ථිකය වේගයෙන් සංවර්ධනය නොවීම නිසයි. ව්‍යාපෘති වැඩිවෙනවානම් ආයෝජනය ඉහළ නගිනවා නම් විරැකියාව ද අවම වෙනවා. ජේ. ආර්. ජනාධිපතිවරයාගේ සමයේදී මුලින් තිබූ සියයට 23ක රැකියා විරහිතභාවය සියයට 10 දක්වා පහළ හෙලන්නට හැකිවුණා. මෙවැනි විශාල වැඩපිළිවෙළවල් අදටත් අවශ්‍ය වෙනවා.
ගෙවල් තනලා, පන්සල්වලට මුදල් බෙදලා, දහම් පාසල් දියුණු කරලා, කාර්යාල විවෘත කරලා රටේ ආර්ථිකය වර්ධනය කළ නොහැකියි. ඒවා ආර්ථික වැඩපිළිවෙළවල් නොව සමාජ සංවර්ධන වැඩපිළිවෙළවල් පමණයි. ආර්ථිකයේ යටිතල පහසුකම් සංවර්ධනය නොකර සමාජයේ යටිතල පහසුකම් වැඩිකිරීමෙන් ලැබෙන ප්‍රතිඵල අල්පයි. ඒ නිසා අධිවේගී මාර්ග, වරාය, ගුවන් තොටුපොළවල් වගේ ජාතික ආර්ථික වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කළ යුතු වෙනවා.
අද නීතියද, විනයද, සදාචාරය ද පහළ වැටී ඇති බවට කතිකාවතක් නිර්මාණය වී තිබෙනවා. එවැනි ජනතාවක්, පාර්ලිමේන්තුවක්, පොලීසිය ආදි ආයතන ඇති රටක් යහපත් රාජ්‍යයක් බවට පත්වෙන්නේ නැහැ. නීතිගරුක විනයෙන් යුක්ත පුද්ගලයන් සහ ආයතන ඇති කළ යුතු වෙනවා. ඒ නිසා රටේ පිරිහෙමින් පවතින විනය ඇතිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැගීම පත්වන ජනාධිපතිගේ විශාල වගකීමක් වෙනවා. ජපානය වැනි රටවල් මෙහිදී ආදර්ශයට ගතහැකියි. ඒ රටවල් එලෙස දියුණු වී ඇත්තේ සියල්ලටම පෙර විනය හා සදාචාරය යහපත් වීම නිසයි.
අප කවුරුත් කතා කරන ගැටලුවක් වන්නේ රටේ අල්ලස හා දූෂණය ඉහවහා යාමයි. රජයේ කාර්යාලයකින් අල්ලස් නොදී කිසිවක් කරගන්නට බැරි තැනට පත්ව සිටිනවා. පෞද්ගලික අංශයේද අල්ලස, දූෂණය තිබුණත් ඒ සඳහා නීති සම්පාදනය වී නොමැති නිසා කොටු කරගත නොහැකියි. අද වනවිට යට සිට උඩටම උඩ සිට යටටම අල්ලස හා දූෂණය රජ වී තිබෙනවා. ආසන්නතම උදාහරණය නම් පසුගිය දිනවල සිදු වූ පාස්කු ප්‍රහාරය ආශ්‍රයෙන් විශාල ලෙස අල්ලස හා දූෂණ ක්‍රියා සිදු වූ බවට සාක්ෂි තිබීමයි. නීතියේ දුර්වලතා හා අල්ලස එකට බද්ධ වී තිබෙන කරුණු දෙකක්. පත්වන ජනාධිපතිට අල්ලස දූෂණය නැති කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරන්නට ඇති බව පැවසිය යුතුයි.
දැනටමත් උද්ගතව ඇති අනාගතයේදී තවත් වර්ධනය වන පරිසර දුෂණය අවම කිරීමට විශාල කාර්යභාරයක් පත්වන ජනාධිපති මත පැටවෙනවා. රටේ ජනගහණය වැඩිවීම මෙන්ම පාරිභෝජන වැඩිවීම ද මෙම පරිසර ගැටලුවට හේතු වී තිබෙනවා. අද ඒක පුද්ගල ආදායම අමෙරිකානු ඩොලර් 4100 දක්වා ඉහළ නැග තිබීම නිසා ජනතාව පාවිච්චි කරන භාණ්ඩ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. ලාභදායී භාණ්ඩ ආනයනය ද ඉහළයි. එම භාණ්ඩ කෙටි කලකින් පාවිච්චි කර අවසන් වීමෙන් පරිසරයට මුදාහැරීම ද වේගයෙන් සිදුවෙනවා. ඒ නිසා පරිසරය බොහෝ සේ දුෂණය වීමේ අවදානමක් ඇතිව තිබෙනවා.
පරිසර දූෂණය වනාන්තර, ජල, වායු, ශබ්ද, මාර්ග ආදී විවිධ අංශවලට යොමුවෙනවා. අපේ රටේ මේ වනවිට කසළ නිසා ඇතිවන දූෂණය ද ඉහළ ගිහින් තියෙනවා. පිටරටින් කසළ ආනයනය නිසා තත්ත්වය වඩාත් උග්‍ර වී තිබෙනවා. හඳුනාගත නොහැකි අලුත් රෝග ඇතිවීම, ශ්වසන ආබාධ, උපදින්නට සිටින දරුවන්ට හානි ආදී වශයෙන් පරිසරය නිසා ඇතිවන රෝග මුළු රටටම ඔඩුදුවා තිබෙනවා. තව දශක එක දෙකක් යනවිට මෙම තත්ත්වය උග්‍ර විය හැකියි. පරිසර දූෂණය නැති කිරීමට ගස් රෝපණය කිරීම පමණක් නොසෑහෙන බව සිහියට ගත යුතුයි.
රටේ ප්‍රවාහනය කාර්යක්ෂම කිරීමට විශාල වැඩ කොටසක් නව ජනපති විසින් ඉටු කළ යුතු වෙනවා. පොදු ප්‍රවාහන සේවා සියල්ල අකාර්යක්ෂම නිසා ජනතාව හැකිතරම් දුරට තමන්ගේ ප්‍රවාහනය යොදාගන්නවා. ඒ නිසා සිදුවන්නේ පරිසරය අපවිත්‍ර වීම හා මාර්ග තදබදය ඉහළ යාමයි. එසේම ජනතාවගේ කාලය නාස්ති වීම, ශ්‍රමය වැයවීම ආදිය ද මෙහි අතුරු නරක ඵලයි.
පොදු සේවාවල ඇති දුර්වලතා ද නැති කළ යුතුවෙනවා. රෝහල් තදබදය, පාසල් අධ්‍යාපනය අඩාල වීම, ජනතා සේවාවල අඩුපාඩු ආදිය නිසා ජනතාව විශාල හිරිහැරයකට පත්ව තිබෙනවා. සෑම දරැවකුම නගරයේ පාසල් කරා එන්නට උත්සාහ කරන්නේ, සෑම රෝගියෙක්ම ප්‍රධාන ආරෝග්‍යශාලාවලට එන්නට හදන්නේ ග්‍රාමීය පහසුකම් වර්ධනය නොවීම නිසයි. ඒ තත්ත්වය නැතිකර ගමට පොදු පහසුකම් වැඩිදියුණු කිරීම පත්වන ජනාධිපතිගේ වගකීමක් වෙනවා.
ජනතාවට සේවය කිරීමට පිහිටුවා ඇති ආයතනවලින් නිසි පරිදි සේවය නොලැබීම පිළිබඳ ජනාධිපතිගේ අවධානය යොමුවිය යුතුයි. වැඩි කොටසක් රාජ්‍ය ආයතනවලින් අද ජනතාවට නිසි සේවයක් සිදුවෙනවාද යන්න ගැන බැලිය යුතු වෙනවා. පොලීසිය, අධිකරණය, දිසා ලේකම් කාර්යාල ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනතාවට සිදුවන සේවය ගැන අද සතුටු වන්නට බැහැ. ඒවා යම් උසස් තත්ත්වයට පත්කර නියම ජනතා ආයතන බවට වෙනස් කිරීම කාලීන අවශ්‍යතාවක්.
රටේ සෛවරීභාවය අද පීඩාවට පත්වී ඇත. අප දීන රාජ්‍යයක් බවට පත්වීම එයට හේතුව වෙනවා. අප රට තුළ ගන්නා පරිපාලන තීරණවලට පවා විදේශ රාජ්‍යයන් බලපෑම් කරන තත්ත්වයට පත්වෙලා තියෙනවා. අපේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන පවා ඒ අය විසඳුම් දෙන්නට යන තත්ත්වයක් උද්ගත වෙලා. එකිනෙකාට කොන්ද නොනමන සෘජු විදේශ ප්‍රතිපත්තියක් ඇති කිරීම ජනාධිපතිගේ වගකීමක් වෙනවා.
ජාති වශයෙන් රටේ ඒකාබද්ධතාවක් ඇති කළ යුතු වෙනවා. සිංහල, මුස්ලිම්, දෙමළ ආදී ජාති පදනම්ව තෙආකාරව කටයුතු නොකළ යුතුයි. රටේ එක නීතියක් තිබිය යුතුයි. ජාතික කොඩිය, ජාතික ගීය වගේම නීතිය ද එකක් විය යුතු අතර ඉඩම් නීති, විවාහ නීති ආදිය මුළු රටටම එකක් විය යුතු වෙනවා.
සංවර්ධනයේ ග්‍රාමීය හා නගරය අතර විෂමතා අවම කිරීමද වැදගත්. නගරයට එක් ලෙසකටත් ගමට තවත් ලෙසකටත් සැලකිය යුතු නැහැ. කොළඹට කිරි ගමට කැකිරි සම්ප්‍රදාය වෙනස් විය යුතුයි. දුර ග්‍රාමීය ජනතාව ඉතා කටුක ජීවිතයක් ගත කරන අතර නගරයේ ජනයා ලබන පහසුකම් ඔවුන්ට ද හිමිකරදීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක යුතුකම විය යුතුයි. සංවර්ධනයට මුදල් වෙන් කරන විට ද ගමට නගරයට යනුවෙන් වෙනසක් දැක්විය යුතු නොවෙයි.
කුමන පක්ෂයකින් මොන ජනාධිපතිවරයකු බලයට පත්වුවද ඉහත කී පොදු ගැටලු පිළිබඳ ප්‍රමුඛත්වය ලා කටයුතු කිරීම වැදගත්.
► යසවර්ධන රුද්රිගු