2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

මාදම්පිටිය කනත්තේ පිපිරී ගිය කොළඹ කුඩු පාතාල යුද්දේ

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 70

අගෝස්තු 15 වැනිදා පස්වරුවේ වෙලාවකි. කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ මාදම්පිටිය කනත්තේ අවමගුල් උත්සවයක කටයුතු සිදුවෙමින් තිබිණි. අවමංගල්‍යට සහභාගී වන අයුරෙන් කනත්ත භූමියට ත්‍රිරෝද රථයක් පැමිණියේය. එහි දෙතුන් දෙනෙක් වූහ. සැණෙකින් ක්‍රියාත්මක වූ ඔවුහු අත වූ තියුණු ආයුධ කිහිපයක් ඒ මේ අතර වනමින් එතැන රැඳී සිටි දෙදෙනකු බරපතළ ලෙස කපා කොට දමා එසැණින් පළා ගියහ.

ප්‍රහාරය දුටුවන්ට කිසිවක් සිතන්නට අවස්ථාවක් නොවීය. ඇතැමුන් මර බියෙන් දිවගොස් තිබුණි. කිහිපදෙනෙක් යාන්තමට දැක තිබුණේ කුඩු රොෂාන් නැමැත්තා මැර කල්ලිය සමඟ පැනගිය බවකි.
අවමඟුල් උත්සවය මැදට එල්ල වූ පාතාල ප්‍රහාරය හේතුවෙන් ආනමාළු රංග සහ ඔහුගේ ළඟම සගයෙක් කැපීම් තුවාලවලින් ජීවිතක්ෂයට පත්ව සිටියහ. මාදම්පිටිය සුසාන භූමියේ සිට කුඩු රොෂාන් ඇතුළු පිරිසක් පැනයාමත් ඝාතනයට ලක්ව තිබුණේ ආනමාළු රංග සහ ඔහුගේ හිතවතෙක් නිසාත් ගැටුමට හේතුව කුඩු රොෂාන් චූටි උක්කුන් පාර්ශවයේ පවතින ආරවුලක් බව නිගමනය කරගන්නට අසල්වාසීන්ට වැඩි වෙලාවක් ගියේ නැත.

ප්‍රහාරයත් සමඟ විමර්ශන ඇරඹූ ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරීන් සැක සහිත ත්‍රිරෝද රථයක් කනත්ත භූමිය ආසන්නයේ තිබී සොයාගෙන තිබුණි. සැකකරුවන් ත්‍රිරෝද රථයකින් පැමිණි බවට තොරතුරු වාර්තා වී තිබූ පසුබිමක සැක සහිත ත්‍රිරෝද රිය පිළිබඳව කඩිනමින් තොරතුරු සොයන්නට නිලධාරීන් පියවර ගෙන තිබුණි. පාතාලයේ ගැටුමක් වූ මෙහි ඉදිරි විමර්ශන පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය මගින් මෙහෙයවනු ලැබීය. එහිදී පෙර කී ත්‍රිරෝද රථයේ ලියාපදිංචිය සම්බන්ධයෙන් පැය කිහිපයක් තුළදී තොරතුරු හෙළිකර ගැනීමට පොලීසිය සමත්ව තිබුණි. ඒ අනුව අනාවරණය වී තිබුණේ ත්‍රිරෝද රථය මට්ටක්කුලිය සමිට්පුර ප්‍රදේශයේ පදිංචි නිරෝෂනී නැමැත්තියකට අයත් වන බවය. වැඩිදුරටත් හෙළිව ඇත්තේ නිරෝෂනී නැමැත්තිය කුඩු රොෂාන් යන අයගේ බිරිය බවය.

කුඩු රොෂාන්ගේ ඉතිහාසය දන්නා විශේෂ කාර්ය බලකාය සමිට්පුර ප්‍රදේශයේ කුඩු රොෂාන්ට අයත් නිවාස හතරම පරික්ෂාවට ලක් කළේය. කුඩු රොෂාන්ගේ මහගෙදර තෙමහල් නිවසකි. එය පරික්ෂාවේදී නිරෝෂනීගේ මව එහි සිට ඇත. අනෙක් නිවාස තුන පරික්ෂා කිරීමේදී කුඩු රොෂාන්ගේ සමීපතමයන් තිදෙනකු කොටු වී තිබුණේ මුවහත් කඩු දෙකක් ද සමඟය. ඔවුන් අතර කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයා වන අජා නොහොත් කෝලිත නැමැත්තා ද සිට ඇත. ඔහු කැලණිය වරාගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ පිරිසගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් පසුව තවත් සැකකරුවන් 5 දෙනකු වත්තල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත්ව ඇත. ඒ අනුව ආනමාළු රංග හා ඔහුගේ සගයකු ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට අත්අඩංගුවට පත්ව සිටින සැකකරැවන් ගණන අටකි.

ආනමාළු රංග හෙවත් සම්පත් නිරෝෂන් සහ මොහොමඩ් ඉම්රාන් ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගත් අජා 34 හැවිරිදිය. සෙසු දෙදෙනා 18 හා 19 වියේ පසුවන්නන් බව කියයි. ඔවුන් දෙන්නා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි අය වෙති.

කුඩු රොෂාන් හා චූටි උක්කුන් කල්ලිය අතර ගැටුම වසර ගණනක් තිස්සේ පැවතෙන එකකි. කල්ලි දෙක එකම ගමේ අසල්වැසියන් වීම විශේෂය. කුඩු ජාවාරමේ බලය තමන් සතුකර ගැනීම සඳහා දෙපාර්ශවයම අරගලයක පැටලී සිටී. පාතාල නායකයකු වන බ්ලූමැන්ඩල් සංඛ නැමැත්තාගේ සමීප හිතවතුන් වශයෙන් චූටි උක්කුන් ඇතුළු පිරිස පෙනී සිටී. චූටි උක්කුන් පාර්ශවයට කුඩු ලැබෙන්නේ සංඛ හරහාය. රොෂාන් නැමැත්තා දෙමටගොඩ චමින්දගේ සමීපතමයන් වශයෙන් පෙනී සිටී.

ඒ අනුව රොෂාන්ට කුඩු ලැබෙන්නේ දෙමටගොඩ චමින්ද හරහා බවද වාර්තා වේ. බ්ලූමැන්ඩල් සංඛ හා දෙමටගොඩ චමින්ද දෙදෙනාගේ විරසකයත් වසර ගණනාවක එකකි. වරෙක දෙමටගොඩ චමින්ද රැගත් බන්ධනාගාර බස් රථයකට මාලිගාවත්ත ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයක් එල්ල කර දෙමටගොඩ චමින්ද ඝාතනය කිරීමට උත්සාහ කොට තිබුණේද සංඛ නැමැත්තා විසිනි. මෙසේ පවතින දෙපාර්ශවයේ බල අරගලය චූටි උක්කුන් හා රොෂාන් අතර ද පවතී.

රොෂාන්ගේ පියා ධීවරයෙක් වශයෙන් කටයුතු කළ බවත් එහිදී මුහුදු මාර්ගයෙන් කෙරෙන කුඩු ජාවාරමට සම්බන්ධ වී සිටි බවත් වාර්තා වේ. ඔහුගෙන් දෙමටගොඩ චමින්දට වාසි රැසක් ලැබී ඇතැයි කියති. 2014දී වෙසක් පෝය නිමිත්තෙන් පැවති දන්සලකි. එහි ප්‍රධාන සංවිධායකයන් වී තිබුණේ රොෂාන් පාර්ශවයයි. එය විවෘත කිරීමට එවකට දෙමටගොඩ චමින්ද සහාය දක්වන ප්‍රබල දේශපාලනඥයකු පැමිණ ඇති බවත් එහිදී යම් කතාබහක් ඇති වී විරසකයක් හටගත් බවද කියැවිණි. මේ ආරවුල මාස දෙකක් පමණ පැවති අතර රොෂාන් හා ඔහුගේ පියා කපා කොටා දමා රොෂාන්ගේ පියා ඝාතනය කර තිබුණේ 2014 ජූලි 12 වැනිදා මට්ටක්කුලිය ප්‍රදේශයේදීය. ඒ චූටි උක්කුන් පාර්ශ්වය විසිනි. පසුදා අලුයම චූටි උක්කුන්ගේ නිවසට පැමිණි වෙඩික්කරුවෙක් ඔහුගේ මව ඝාතනය කොට තිබුණේ රොෂාන් පාර්ශවයේ කීමටය.

එතැනි සිට මන්නා, කඩු, පිහි ප්‍රහාර නවතා වෙඩි ප්‍රහාරවලින් පාතාල ගැටුම් නිරාකරණය කරන්නට දෙපිරිස ක්‍රියා කර තිබිණි. ඒ අනුව ගත වූ වසර 6 ඇතුළත පරලොව ගිය දෙපාර්ශ්වයේම ජීවිත රැසකි. ඒ ආකාරයටම පැවති පැරණි කෝන්තරයක් පසුගියදා මාදම්පිටිය සුසාන භූමියේදී කෙළවර කොට තිබුණේ තවත් ගැටුමකට මගපාදමිනි.

සමන්ත ප්‍රදීප් විල්තෙර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00