ඉවුරු දෑලේ කිරළ, කඩොල් ගස් වියන් බැඳ ඇති සේය. පාරුකරුවෝ නේක බඩු බාහිරාදිය පටවා ගෙන යාත්‍රා කරති. කිරළ කොබෙයි ගායනා යාත්‍රාවේ ගමනේ රිද්මයට තනුවක් සේ ඉඳහිට සවනත රැඳේ. මේ සියලු චමත්කාරයන් පරමින් නැහැපුඩු ඔස්සේ කුස වෙත දුවන සුගන්ධයකි. එය පාරු පැලෙන් සුළඟට මුසුවේ. සැබැවින් ඒ යුගෙනුග රස නොනිමෙන පාරු බතේ පුසුඹයි.
පාරු ගමනේ තවත් කොටසක් ඔබ වෙත ගෙන එනු රිසියෙන් කාල යාත්‍රා කළ අපට අතීතයේ සුජීවත්වූවා වැනි හැඟීමක් දැනුණි. එය එලෙසින්ම ඔබ සිත මත තබා අප මේ සැරසෙන්නේ පාරු කතාවේ ආගිය විත්ති සොයා යනු පිණිසය.
ගෙවුණු සියවසේ මුල් භාගය වනතුරුත් දිවයිනේ ප්‍රකට ප්‍රවාහන මාධ්‍යයක් වූ පාරු ගමන් ඇසුරේ වෙනම උප සංස්කෘතික් නිර්මාණය වී තිබිණි. එහි රස මතක මීට දශක දෙක තුනකට ඉහත අප අතරින් නික්ම ගිය පරම්පරාව සමඟ වැළලී ගියේය. ශේෂ වී ඇති මතක සහ මේ ඇසුරේ ලියැවුණ පත පොත විස්තර ඇසුරින් අප පාරු ගමනේ දෙවැනි කතාව ඔබට කියමු. ගෙවුණු සතියේ ඔබට කියූ කළු ගංදෑලේ පාරු කතාවේ මෙන්ම හලාවත, පුත්තලම, කොළඹ, ආශ්‍රිත පාරු ගමනේත් රස විත්ති පිරුණු අපූරු සංස්කෘතිය මෙවර ඔබ හමුවේ තබමු.
පළමු පාරුවේ රස මතක අතරින් පාරු බතේ කතාව අප ඔබට කිවයුතුය. පාරු බත පිළිබඳ මතක රස නහර පිනායන්නකි. පොල් අතු සෙවිලි කළ පියසි දෙකකින් යුතුව සැකසුණු පාරුවේ වහළ යට වූ පාරු මුළුතැන්ගෙය කුඩාය. දින කිහිපයක ගමනට ඇවැසි අනුපාන මෙහි ගබඩාකර තිබේ. පාරු බත ඉදෙන්නේ මෙහිය. ගෙවුණු සතියේ අපි ඔබට කී පරිදි කෝකියා පිරිමියෙකි. ඔහු මේ ගමනට එක්වූයේම ඉවුම් පිහුම් පිණිසමය. මේ මහ තැන නිතැතින්ම ඉවුම් පිහුම් කලාවේ කෙළ පැමිණියෙක් විය. තවද ඔහුට පාරු බත පිසීමේ ලා මනා අත්ගුණයක් තිබිණි. එය පාරැ ගමනේම ගුරු-ගෝල ඇසුරින් උගත යුත්තක් විය යුතුය.
පාරු බතේ තිබූ අනුපාන ගැන කියන විට කරවල බැදුම, පොල් සම්බෝල ආදිය පාරු බතේ නොවැරදුණු බව කියැවේ. මේ සඳහා ඉඳහිට පාරු ගමනේදීම අල්ලා ගන්නා මාළු වර්ගද එකතු වී තිබේ. කෙසේ වෙතත් මේ සියල්ල අතරින්ම පාරු සම්බෝලය විශේෂිත විය. උම්බලකඩවලින් රස කොට සැකසුණු පාරු සම්බෝලය මෙන්ම පොල් මැල්ලුමෙහිද තිබුණේ කුසගිනි වඩවන පුදුමාකාර පුසුඹක් බව කියැවේ. එම නිසාම පාරැවේ උම්බලකඩ භාවිත කිරීම ඇසුරු කොටගෙන ජනශ්‍රැතියට එකතුවුණු අපූරු පිරුළක්ද අපට අසන්නට ලැබුණි.
‘පාරුකාරයාගේ උම්බලකඩේ වගේ’ මෙය පාරු බත සිංහල ජනමූල අතර කොතරම් තදින් කා වැදී තිබුණේදැයි කියන්නට අපූරු උදාහරණයකි. පාරු බතද මෙකල කොතරම් ජනප්‍රිය වීද යත් පාරු බත ඉදෙන සුවඳට ගංඟා ඇළවල් අද්දර උන්නු නෑම්බියන් පාරු බත්මුල් ඉල්ලා ඇවිටිලි කර ඇති බවට කියැවෙන කතාන්දර අපට අසන්නට ලැබුණි. වරෙක අප කියැවූ පරිදි ගෙදර ළිපේ ඉදුණු බත කන්න පාරු සම්බෝල ටිකක් දීලා පලයල්ලා කියා පාරුකරුවන්ට ඇවිටිලි කළ බවලතුන් මෙකල සිට තිබේ. පාරැ බතේ රස මතක වඩා වැඩියෙන් ඇත්තේ හැමිල්ටන් ඇළ අද්දර ජනතාව ඇසුරේ බව මේ සොයායාමේදී අපට අවබෝධ විය. කළු ගඟේ පාරු කතාවට වඩා හලාවත පුත්තලම මීගමුව ආදී ප්‍රදේශවල පාරු කතා තරමක් වෙනස් බවද කිව යුතුය.
මෙකල හලාවත, පුත්තලම, මීගමුව වැනි ප්‍රදේශයවල සිට ලුණු, කොප්පරා, පොල්, ලී කොටන් වැනි ද්‍රව්‍ය පාරුවේ කොළඹට රැගෙන විත් තිබේ. කොළඹ සිට ආපසු යනවිට හාල්, පිටි, සීනි, සිමෙන්ති, යකඩ බඩු, ගෘහ භාණ්ඩ ආදීය නැවත රැගෙන ගොස් ඇත. ඇළ අද්දර සිට ජනාවාස පැවතීම නිසාවෙන් යන එන ගමනේ කතාබහ කිරීමෙන් පාරුකරුවන් හා ගොඩබිම සිටි මිනිසුන්ට හිතවත්ව තිබේ. පාරුකරුවන්ගෙන් කොප්පරා ඉල්ලාගෙන එන කොල්ලෝ කුරුට්ටෝද මෙම ඇළ ඉවුරේ වූ බව කියැවේ.
අතරමඟදී කෑම ගැනීම වෙනුවෙන් කඩමණ්ඩිද තිබී ඇත. තවද රා තැබෑරැම් පවා පාරුකරුවන් වෙනුවෙන් ඉදිව තිබූ බව කියැවේ. ඒ ඇසුරේ බිහි වී ඇත්තේ අපූරු සංස්කෘතියකි.
වෙරළකරයේ ධීවර කර්මාන්තයට සමගාමීව පාරැකරැවන්ද බිහිව සිටි මෙම වකවානුවේ අපූරු සංස්කෘතික ගැටුමක්ද නිර්මාණය වී තිබේ. පාරු ගොයියෝ සහ මූදු ගොයියෝ අතර වූ මේ ගැටුම කුල බෙදීමකට සමාන බව කියැවේ. එකිනෙකා උස් පහත් කර දක්වමින් පැවති මෙම ගැටුම සරණ බන්ධන සම්බන්ධයෙන්ද බලපා ඇතැයි අපට කියවන්නට ලැබුණි. පාරු ගමනේදී එකිනෙකා හඳුනාගැනීමට ගමේ නම භාවිත වූ බවද අසන්නට ලැබේ. කෙසේ වෙතත් මෙම පරපුර අද වනවිට ජීවතුන් අතර නැත.
පසුගිය සතියේ අප ඔබට කී කළු ගංතොට පාරැ කතාවේ සහ මේ හලාවත් ඇළවල් ඇසුරේ වූ පාරු කතාවේද පොදු වූ දේ බොහෝය. මෙම සංස්කෘතිය ඇසුරේදී පාරැවට එකතු වන නවකයන් පුරුදු පුහුණු කළ ආකාරය එවැන්නකි. පාරුවේ ලොකු තැන වූ තන්ඩලේ රාළ විසින් පාරුවට එකතු වූ නවකයකුට මුලින්ම පවරා ඇත්තේ පාරුව ඇදීමේ රාජකාරියයි. මේ ගමනේදී ඉවුරේ සිට පාරු අදින්නට සිදුවූ අතර ඔවුන් අතරට එකතු වී පාරු ඇදීම නවකයන් විසින් සිදුකළ යුතු විය. පසුව පාරු බත පිසීම හුරුපුරුදු විය යුතු වූ අතර රිටි ගැසීම හෝ හබල් ගැසීමේ අවස්ථාව හිමිවූයේ මේ සියල්ල මනාකොට හුරුවීමෙන් අනතුරුවය. ඇතැම්විට මේ වෙනුවෙන් දීර්ඝ කාලයක් බලා සිටීම පාරුකරුවන්‍ට සිදුවිය. ගඟේ ගමන වුවද ඇළේ ගමන වුවද පාරුව නැවතූ තැන්වලදී තණ්ඩලේ රාළට විශේෂ සැලකිලි හිමි වූ බව කියැවේ.
පාරැවේ තේ හැළිය නිතර රත්කොට තැබුවේද ඔහු වෙනුවෙනි. අතරමඟ කඩ මණ්ඩියකට ගොඩ වූ විට විශේෂ සැලකිලි තණ්ඩලේ රාළට හිමිව තිබේ. තවද පාරුකරුවන් අතර ගැටුම් හා අමනාපකම් තිබී ඇත. එවා ගං දියේදී එකින් එකා හමුවූ විට නොසරුප් වචන දක්වා දුරදිග ගිය බවද කියැවේ. එසේම පාරුකරුවාගේ කට මුඛරි බව මේ කා අතරත් ඉතාම ජනප්‍රිය කතාවකි. ඇතැම්විට ඉවුරේදී ඔවුන් හා කතාබහේදී විශේෂයෙන්ම ප්‍රවේසම් වී ඇත්තේ එබැවිනි.
මේ සියලු මතක නොනිවී ඇත්තේ දහනව වැනි සියවසේ අග සහ දහනව වැනි සියවසේ මුල් භාග ඇසුරැ කරගනිමිනි. එය පාරු යුගයේ අවසානයි. එහෙත් ලංකාවේ පාරු සංස්කෘතිය දියුණුම යුග ලන්දේසි යුගය හා ඉංග්‍රීසි යුගයේ මුල් කාර්තු බව කියැවේ. මෙරට සාරය මුහුදෙන් එතරට පැටවීමට කොළොම් තොටට ගෙන ආවේ පාරැ මතින් මෙම ඇළවල් ගංගා ඔස්සේය. මෙම යුගයේ ප්‍රධාන මගී ප්‍රවාහන මාධ්‍යයක් බවටද පාරු පත්වී තිබිණි. විශේෂයෙන්ම පොල් රා පෙරා සැකසූ රේන්ද ප්‍රවාහනය සිදුවුණේද පාරුවෙනි. පීප්ප වශයෙන් එම ප්‍රවාහනය සිදුවිය. එලෙස ලොරි ගණනාවක බඩු එකවර ගෙන ගිය පාරැවේ ගමන නවසිය තිස් ගණන් වනවිට අභාවයට ගියේය. ලොරි කෝච්චිවල බඩු ඇදීම ලාබදායී විය. මංමාවත් සංවර්ධන වීමද පාරැවේ ගමන නිමාවීමට හේතු විය. මේ සමඟින් බොහෝදෙනාගේ ජීවිකාවට මෙයින් විශාල බාධාවක් එල්ල විය. පාරුකරුවන් පමණක් නොව ඒ ඇසුරේ නිර්මාණය වූ තවත් බොහෝ රැකියා අහිමි විය. ඉවුරැ දෑලේ ගම්බිම් කඩමණ්ඩි ඇසුරේ වූ සජීවී බව බිඳී ගියේය. අවසානයේ එය එක යුගයක මතකයක් පමණක් බවට පත්විය.
► චමිඳු නිසල් ද සිල්වා
(පොත්පත සහ පුවත්පත් වාර්තා ඇසුරිනි)