ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උපන් ගෙයි බිස්නස්කාරයෙකි. ඔහු වඩාත් ප්‍රසිද්ධ දේපල ඉඩකඩම් වෙළඳාමටය. නමුත් පසුගිය සතියේ ඔහු ලෝකයටම අණ බෙර ගසා කරන්නට ගිය ගනුදෙනුවක් වැරැදී ගියේය. අමෙරිකාවෙන් හතරෙන් එකක් තරම් වූ ලෝකයේ ලොකුම දූපත, ග්‍රීන්ලන්තය මිලදී ගන්නට ගත් උත්සාහයත් සමඟිනි. දූපතේ අයිතිකරුවෝ තමන් තුළ එය විකුණන්නට කිසිදු අදහසක් නැති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමඟ ට්‍රම්ප් නැවත වතාවක් ලෝකය ඉදිරියේ උපහාසාත්මක චරිතයක් බවට පත් විය. ඩොලර් බිලියන ගණනක් වූ මේ ගනුදෙනුව වැරදී යාමෙන් කණස්සල්ලට පත් වූ ට්‍රම්ප් ලබන මාසයේ ඩෙන්මාර්කයේ කෝපන්හේගන් අගනගරය වෙත යන්නට යොදාගන තිබූ නිල චාරිකාවක් ද අවලංගු කර දැමුවේය.
ට්‍රම්ප්ගේ මේ අමුතු ව්‍යාපාරික උනන්දුව ගැන ඩෙන්මාර්ක් බලධාරීන් ලෝකයට පැහැදිලි කළේ අප්‍රේල් පළවැනිදා මෝඩයාගේ දිනයේ කළ යුතු විහිළුවක් පමා වී සිදු කිරීමක් හැටියටය. එය ඔහුගේ තවත් හාස්‍යජනක “ඔල්මොරොන්දම්” අදහසක් හැටියටය. තමන් අමෙරිකාව ඇතුළු සෙසු ලෝකයා සමඟ ව්‍යාපාර ගනුදෙනුවලට කැමැති නමුත් රට විකිණීමට අදහස් කර නැති බව එරට බලධාරීහු කීහ.
ට්‍රම්ප්ගේ ව්‍යාපාරික අවධානය දිනාගත් ග්‍රීන්ලන්තය වර්ග සැතපුම් 836,330ක (වර්ග කිලෝමීටර 2,166,086) වපසරියකින් යුතු ලොකුම දූපතයි. එසේ වුවද 2018 සංගණනයට අනුව එරට වෙසෙන්නේ 55,877ක් තරම් වූ සාපේක්ෂව සුළු ජනගහනයකි. රටෙන් සියයට 80ක් පමණම හිමකඳු සහිත කතරකි. ගිම්හානයේ රාත්‍රියටත් හිරු පායන, සිසිරයේ දී “උත්තරාලෝකය” ලෙස හැඳින්වෙන සොබාදහමේ මනස්කාන්ත මිරිඟු දසුනෙන් අහස ආලෝකවත් වන මේ රට, ඩෙන්මාර්ක් රජය යටතේ ස්වයංපාලන බලය ලත් භූමි භාගයකි. ආක්ටික් සහ අත්ලාන්තික් සාගරවලින් මායිම්ව ඇති මෙම දූපත උතුරු අමෙරිකානු භූමියේ කැනඩාවට වඩාත් යාබදව අමෙරිකාව සහ රුසියාව අතරමැද පිහිටි උපක්‍රමික වශයෙන් වැදගත්කමක් දරන භූ දේශපාලනික මර්මස්ථානයකි.
කලක සිට හිතේ තිබූ ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහස ට්‍රම්ප් වඩාත් අවධාරණය කර තිබුණේ මේ නොබෝදාය. මෙයට පෙර අමෙරිකාවේ ජනාධිපතිවරුන් දෙදෙනකුම වෙනත් භූමි භාගයන් මිලදී ගෙන සිය රටට ඈඳාගෙන තිබේ. හිටපු ජනාධිපති ඇන්ඩ_ ජොන්සන් 1867 දී රුසියාවෙන් ඇලස්කාව මිලට ගත්තේය. ඩොලර් ලක්ෂ 72කටය. තෝමස් ජෙෆර්සන් 1803 දී ප්‍රංශයෙන් ලුසියානාව මිලට ගත්තේය. ඩොලර් ලක්ෂ 150කටය. ඉතින්, ට්‍රම්ප් උත්සාහ කළේ මේ අය අතරට තමන්ගේ නමත් එක්කර ගනිමින් ඉතිහාසගත වැදගත් චරිතයක් බවට පත්වීමටද?
සැබෑවටම ග්‍රීන්ලන්තය ට්‍රම්ප්ගේ ලෝක භූ-දේශපාලනික බල ව්‍යාපෘතියේ වැදගත් තැනක් උසුලන මර්මස්ථානයකි. එය රුසියාවට සහ යුරෝපයට යාබදව පිහිටි ගෝලීය වශයෙන් වැදගත් ස්ථානගත වීමක් සහිත භූමි භාගයකි. රුසියාවේ යුරෝපය වෙත සිදුකෙරෙන හිතුවක්කාර බලපෑම්වලට එරෙහිව ස්ථානගත වන්නට යුදමය වශයෙන් අතිශය වැදගත් සන්ධිස්ථානයකි. රුසියානු අතහිත ලබන චීන ආර්ථික බූවල්ලාගේ බලපෑමෙන් යුරෝපය මුදාගැනීම සඳහා වූ මෙහෙයුමේ ද වැදගත්කමක් උසුලන ස්ථානයකි. එසේම එරට සොබාවික සම්පත් බහුල භූමි භාගයකි. පිරිසුදු ජලය, අයිස්, වාතය, මාළු, මිනිරන් ඇතුළු ඛනිජ ද්‍රව්‍ය, දුර්ලභ ලෝහ මූලද්‍රව්‍ය එහි බහුලය. අමෙරිකාව ග්‍රීන්ලන්තයේ ඇති මේ භූ-දේශපාලනික සහ ආර්ථික වැදගත්කම තේරුම්ගෙන ඇත්තේ අද ඊයේක නොවේ. හැරී ට_මන් අමෙරිකානු ජනාධිපතිවරයා ද වරෙක ග්‍රීන්ලන්තය වෙත ලන්සුවක් ඉදිරිපත් කර තිබුණේ ඒ හේතුවෙනි. ඔහු එකල, එනම් 1946 දී ඒ සඳහා ඩොලර් මිලියන 100ක් ගෙවන්නට ලෑස්ති වී සිටියේය. ට්‍රම්ප් උත්සාහ දැරුවේ ඒ වැරැදුණු ගනුදෙනුව හමාර කරන්නටය.
දෙවැනි මාගරීතා රැජනගේ ආරාධනයෙන් ලබන සැප්තැම්බර් 2 වැනිදා ට්‍රම්ප් කෝපන්හේගන් වෙත නිල රාජ්‍ය සංචාරයක යෙදෙන්නට සැලසුම් කර තිබුණි. එහිදී නේටෝ රටවල ආරක්ෂක කටයුතු ගැන කලාපීය නායක කිම් කීල්සන් හා ඩෙන්මාර්ක් අගමැතිනිය ෆෙඩ්රික්සන් සමඟ තීරණාත්මක සාකච්ඡා වටයක් පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණි. ඇය තමන්ගේ ග්‍රීන්ලන්ත ගනුදෙනුව උපහාසයට ලක් කිරීමත් සමඟ හදිසියේ සිත් අමනාපයට පත් ට්‍රම්ප් අවලංගු කර ඇත්තේ මේ තීරණාත්මක වැදගත්කමකින් යුතු නිල රාජ්‍ය සංචාරයයි.
“ඇය ප්‍රකාශය කළේ මා ගැන නොවේ අමෙරිකාව ගැනයි. ඇයට අමෙරිකාව ගැන එහෙම කියන්න බෑ. අඩු තරමේ මගේ පාලන යටතේ තියන විට!” ඩෙන්මාර්ක් අගමැතිනියගේ උපහාසාත්මක ප්‍රකාශයෙන් පසු ට්‍රම්ප් සිය නෝක්කාඩුව මාධ්‍යයට කීවේ එලෙසිනි. නිල රාජ්‍ය සංචාරය අවලංගු කිරීමට ට්‍රම්ප් හිටි අඩියේම ගත් එම තීන්දුව ගැන තමන් කණගාටුවට පත්වන බව ෆෙඩ්රික්සන් අගමැතිවරිය කියා තිබේ.
ග්‍රීන්ලන්තය වෙත ට්‍රම්ප්ගේ අවධානය යොමු වන්නට හේතු වූ වැදගත් කාරණය ඇත්තේ, තිරයෙන් පිටුපසය. එරට සතුව ඇති මහඟු ස්වභාවික සම්පත් ධන නිධානයයි. මහ පොළොව සතු ඉතාමත් දුර්ලභ අතිශය වටිනා මූලද්‍රව්‍ය තැන්පතු රාශියක්ම ග්‍රීන්ලන්ත හිමකඳු මගින් වැසී තිබේ. නීයෝඩිමියම්, ප්‍රසියෝඩිමියම්, ඩිස්ප්‍රෝඩියම් සහ ටර්බියම් නමැති දුර්ලභම මූලද්‍රව්‍යයන් මෙන්ම සරුසාර යුරේනියම් තොගයක් ද මේ හිමකඳු යට තිබේ. වර්තමාන මෙන්ම අනාගත ලෝකයේ ද සරුසාර ව්‍යාපාර බවට පත්ව ඇති මොබයිල් ෆෝන්, පරිගණක, විදුලි කාර් නිෂ්පාදනයේ දී සහ අනාගත සරැසාර බලශක්ති ප්‍රභවයක් වන ඉන්ධන කෝෂ නිපදවීමේදී මෙන්ම න්‍යෂ්ටික බලාගාර සහ උපකරණ නිපදවීමේදී මේ මූලද්‍රව්‍ය අතිශය වැදගත්කමක් දරයි. දැන් මේ මූලද්‍රව්‍ය නිස්සාරණය කර ලෝකයට බෙදාහරින ගනුදෙනුවට බරසාර ලෙස අතගසා ඇත්තේ චීනයයි. චීනය මේ ගනුදෙනුවේදීද අංක එක බවට පත්ව ඇත්තේ දකුණු අප්‍රිකානු පතල්වලට පින් සිදුවන්නටය.
ග්‍රීන්ලන්තය තුළ මේ දකුණු අප්‍රිකානු පතල්වලට පමණක් දෙවැනි වන ලොකුම දුර්ලභ ලෝහ මූලද්‍රව්‍ය නිධි සහිත පතල් පවතියි. එරට නිරිතදිග ප්‍රදේශයේ පවතින ක්වෙන්ෆීල්ඩ් පතල එවැන්නකි. ඔස්ට්‍රේලියානු පතල් කොම්පැණියක් 2007 සිට වැඩ අරඹා ඇති එය තුළ පමණක් අතිශය දුර්ලභ වටිනා ලෝහ ද්‍රව්‍ය ටොන් මිලියන සිය ගණනක් පවතින බව ගණන් බලා තිබේ. මේ සෙනසුරාදා ප්‍රංශයේ ඇරැඹුණු G-7 සමුළුවට යන්නට සිය ‘එයාර්ෆෝස් වන්’ යානය කරා පියනගන අතරේ ට්‍රම්ප්, හැමදේටම වගේම ග්‍රීන්ලන්තයටත් හොඳ මිලක් ඇති බවත්, ඩෙන්මාර්කයට හොඳ ව්‍යාපාරිකයෙක් වන්නට අවස්ථාවක් දැන් ලැබී ඇති බවත්, කියා තිබුණේ ඉහත ධන නිධාන ගැන හිතේ තබාගනය.
► සුගත් පී. කුලතුංගආරච්චි