2019 අගෝස්තු 24 වන සෙනසුරාදා

හේන් ගොවියා කපෝතියි: කැලෑ පාළුවෝ ගොඩයති

 2019 අගෝස්තු 24 වන සෙනසුරාදා, ප.ව. 12:30 290

හම්බන්තොට, සූරියවැව, මීගහජදුර, මත්තල, එළල්ල, ගොන්නොරුව, ලුණුගම්වෙහෙර හා තණමල්විල, හම්බෙගමුව ඇතුළු අවට සියලු ප්‍රදේශවල ජීවත් වන්නේ පාරම්පරික ගොවි ජනතාවකි. ඈත අතීතයේ සිටම මෙම ප්‍රදේශවල ජීවත් වන සියයට අනූවක් පමණ ගැමි ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වූයේ හේන් ගොවිතැනයි. වී ගොවිතැන හැරුණුකොට හේන් ගොවිතැන නිසා මෙම ප්‍රදේශවල ජීවත් වූ ජනතාවගේ අටුකොටු කවුපි, මුංඇට, රටකජු, තල, කුරහන්, මෙනේරි, බඩඉරිඟු ඇතුළු ධාන්‍යවලින් පිරී පැවතුණි. මේ නිසා එදා ගැමි ජනතාවට එකදු වේලක්වත් කුසගින්නේ සිටීමට සිදු නොවිණි. ඒ එදා තත්ත්වයයි.

එහෙත් අද වනවිට එම තත්ත්වය ඉතා වෙනස් වී ගොසිනි. එදා දිනකට එක් වේලක් හෝ තල, කුරහන්, මෙනේරි ආහාරයට ගත් ගැමියන්ට අද ඒවා වෙනුවට පාන්පිටි ගිලින්නට සිදුව ඇත්තේ විවිධ පාලකයන්ගේ අක්‍රමවත් ක්‍රියාකලාපයන් නිසාවෙනි. තේරෙන භාෂාවෙන් කියනවා නම් හේන් ගොවිතැනට තහංචි පැනවීමයි. කලින් කලට හේන් ගොවියාට විවිධ නීති රීති හා තහංචි පැනවීමත් සමඟ පාරම්පරික හේන් ගොවියාට ඉබේටම ඉන් ඉවත්වීමට සිදු වී ඇත. මේ නිසා අපි පාඨක ඔබ වෙනුවෙන් හේන් ගොවි ජනතාව සොයා හම්බන්තොට සූරියවැව හා මත්තල පහළ මත්තල ප්‍රදේශවල සංචාරයක නිරත වූවෙමු.

මත්තල ප්‍රදේශයේ අප කළ සංචාරයේදී උඩ මත්තල කඩපිලේ සිටි හේන් ගොවියන් කිහිප දෙනෙකුම වර්තමානය වනවිට හේන් ගොවිතැනට අත්ව ඇති ඉරණම සම්බන්ධයෙන් අදහස් දැක්වූයේ දැඩි සංවේගයෙන් යුතුවය.

උඩ මත්තල පදිංචි හේන් ගොවියෙකු අපත් සමග පැවසුවේ මෙවන් අදහසකි.

“මහත්තයෝ මගේ වයස දැන් අවුරුදු 59යි. මගේ උපන් ගම මේක. මට දරුවෝ 06ක් ඉන්නවා. මගේ අම්ම තාත්ත කළේ හේන් ගොවිතැන. මමත් ජීවත් වුණේ හේන් ගොවිතැනින්. එදා මේ පළාත් මහ ළඳු කැලෑ. අපි මේ ප්‍රදේශවලට ඇවිත් පදිංචි වෙලා මේ අවට තියෙන ළඳු කැලෑ කපලා හේන් හදලා තමයි ජීවත් වුණේ. මේවා ඒ කාලේ අලි කොටි වලස්සු හිටිය මහ කැලෑ. නමුත් අපිට උන්ගෙන් කිසිදු කරදරයක් තිබුණේ නෑ. හිටි ගමන් හේන්වලට අලි පැනලා කාලා යනවා විතරයි. නමුත් ඒකෙන් අපිට මහ පාඩුවක් වුණේ නෑ. කොහොම හරි මම දරුවෝ 06 දෙනකු උස් මහත් කළේ කන්න දුන්නේ හේන් ගොවිතැනින්. අනික තමයි මත්තල කියන්නේ පාරම්පරික ගොවි ගම්මානයක්. ලෙනාඩ් වුල්ෆ් මහත්තයාගේ කාලෙත් මේ පැත්තේ හේන් ගොවිතැන තිබුණා. එතුමාගේ පොත්පත් වලත් ලියලා තියෙනවා. එදා මේ පළාතේ හිටිය ජනතාව හේන් ගොවිතැන් කරගෙන ගෙවූ දුෂ්කර ජීවිතය පිළිබඳව. එදා අද වගේ පහසුකම් තිබුණේ නෑ. අපි කොච්චර දුෂ්කර ජීවිතයක් ගත කළත් අපිට තුන්වේලට ඇති වෙන්න කන්න බොන්න තිබුණා. අපේ ගෙවල්වල කුරක්කන්, තල, බඩඉරිඟු, මෙනේරි වරදින්නේ නෑ.

තුන්වේලෙන් එක වේලක් අපි එදා තලපයක් කෑවා. අද රට දියුණු වෙලාලු. ඉතින් ඔය කියන දියුණුවත් එක්ක අපේ ගොවිතැනට යම් යම් බාධක දැන් වසර කීපයක සිට ආවා. අද වනවිට එය දැඩි ලෙස උග්‍රවෙලා තියෙනවා. ඉස්සර අපි මේ වෙනකොට බැද්ද කපලා පුච්චලා බෝග හිටවන්න බිම් සකස් කරලා ඉවරයි. පළමු බෙලිතෝ වැස්ස එනකොට අපි ඇට හිටවන්න පටන් ගන්නවා. නමුත් මේ වසරේ අපිට හේන් කරන්න අවස්ථාව ලැබුණේ නෑ. හේන් හදන්නේ අපේ ඉඩම්වල නෙමෙයි කැලේ කපලා තමයි හේන් කරන්නේ. නමුත් දැන් කැලෑවලට ඇතුළු වෙන්න විදියක් නෑ. හැමතැනින්ම බෝඩ් ගහලා කැලෑ වෙන්කරලා තියෙනවා. කැලෑ රක්ෂිත විදියට නම් කරලා. ඉතින් හේන් කරන්න නෙමෙයි දර කෑල්ලක්වත් කඩන්නවත්  කැලයට යන්න විදියක් නෑ. කැලෑ මහත්වරු ඇවිත් කුදලගෙන ගිහින් උසාවි දමනවා.

ගිය අවුරුද්දෙත් අපි හේන් කරන්න කැලේ කැපුව වෙලාවේ කැලෑ මහත්වරු ඇවිත් අපිට නඩු දැම්මා. එක්කෙනාට රුපියල් අනුදාහ, පනස්දාහ දඩ ගැහුවා. මේ අවුරුද්දෙදිත් අපි කැලෑ මහත්වරුන්ගෙන් අවසර ඉල්ලුවා හේන් කරන්න. නමුත් ලැබුණේ නෑ. ඒ නිසා මේ අවුරුද්දේ අපි කවුරුවත් හේන් කළේ නෑ. ගෙදර ඉඩමේ හදා ගත්ත දෙයක් විතරයි. අපිට කැලෑ කපන්න තහනම් වුණාට ලොකු ලොකු මුදලාලිලාට නම් කැලේ කපන්න තහනමක් නෑ. ඒ අයට නම් හිතූ හිතූ හැටියට කැලෑ කපන්න මැති ඇමතිවරුන්ගේ සහාය, ආරක්ෂාව වගේම දෙවියන්ගේ ආශිර්වාදයත් නොඅඩුව ලැබෙනවා. ඒක තමයි පුදුමේ කියන්නේ. පාරම්පරිකව හේන් ගොවිතැන් කරගෙන ආව අපිට තහනම් කරපු හේන් ගොවිතැන අද ලොකු ලොකු මුදලාලිලා කිසිදු කරදරයක් නෑතිව අක්කර පනහ සීය වටකරගෙන කරගෙන යනවා. අනේ ඉතින් පාරම්පරිකව හේන් ගොවිතැන කරගෙන ආව අපි නීතියට යන්න තියෙන බය නිසා සහ මැති ඇමතිවරැන්ගේ ආරක්ෂාවත් හා දේවාශීර්වාදයත් නොමැති නිසා වෙන වෙන අයගේ ගෙවල්වල වතුවල කුලියට යනවා දැන්. මේක තමයි අද පාරම්පරික හේන් ගොවියට අත්වෙලා තියෙන ඉරණම” යැයි ඔහු පැවසීය.

මත්තල ගමේදී අපට හමු වූ තවත් හේන් ගොවිතැන් කරන ගොවි මහතෙකු අපට පැවසුවේ මෙවන් අදහසකි.

අපි හේන් ගොවිතැනින් තමයි මෙච්චර කාලයක් ජීවත් වුණේ. නමුත් දැන් බැද්ද කපන්න දෙන්නේ නෑ. ඉතින් හේන් කරන්න විදියක් නෑ. ඒ කාලේ ඉඳලා අපි හේන් කරපු කැලෑ දැන් අලි කළමණාකරණ රක්ෂිතය කියලා ටිකක් වෙන් කරලා. තවත් කැලෑ කොටස් කිහිපයක් රක්ෂිත හැටියට නම් කරලා. එදා අපි හේන් කළ කැලය අද මල්අස්නාගල රක්ෂිතය ලෙස නම් කරලා. ඉතින් මේ කැලයට නිකන් හරි ඇතුළු වුණොත් වන සංරක්ෂණයේ මහත්වරු ඇවිත් අපිව කුදලගෙන ගිහින් උසාවි දමනවා. ඉතින් එහෙම වුණාම රුපියල් පනස්දහස, හැට දහස වගේ ලොකු ගණන් දඩ ගහනවා. ඒ නිසා මේ අවුරුද්දේ අපි හේන් කපන්න ගියේ නෑ. ඔය නීති රීති ගේන බලධාරීන් දන්නේ නෑ. හේන් ගොවිතැනේ තියෙන වටිනාකම. හේන් ගොවිතැනේ ඉන්න ගොවියෙක් කවදාවත් කැලේ විනාශ කරන්නේ නෑ. පරිසරය විනාශ කරන්නේ නෑ. ඒ සියල්ල ආරක්ෂා කරගෙන තමයි හේන් ගොවිතැන කරන්නේ. පුදුමේ කියන්නේ මේ ප්‍රදේශවල ගොවි ජනතාවට නිතිරීති දමපු බලධාරීන්ට අමතක වෙලා තියෙනවා මේ මත්තල, උඩ මත්තල කියන්නේ පාරම්පරික ගොවි ගම්මානයක් බව.

මාස හතරක පමණ කාලයක් සිදුවෙන මෙම හේන් ගොවිතැනින් ලැබෙන අස්වැන්නෙන් ගමේ ජනතාව වසරේ මාස 12ම ජීවත්වීමට පුරුදුව සිටිති. සුපුරුදු පරිද මෙවරද බෙලිතෝර වැසි ඇද හැලුණද හේන් ගොවියන්ට වෙන වසරවල මෙන් මෙවර කැලේ කපා පුච්චා හේන් සකස් කිරීමට අවස්ථාව නොලැබුණේ නිති රීති හා අණපනත් ඊට හරස් වීම නිසාය. හේන් කැපූ ඇතැම් ගොවියන්ට සිදුවූයේ කැපූ හේන්වල බීජ සිටුවීම වෙනුවට අධිකරණයට ගොස් දඩ කන්නටය. වගා සඳහා සූදානම් කෙරුණු හේන් එහෙම්මමය. හේන් ගොවියාද අධිකරණයට ගොස් දඩ කා විත් ගේ මුල්ලට වී සුසුම්ලති. ඒ මේ වසරේ ඉතිරි මාස ටික දරු මල්ලන් ජීවත් කරවීමට නොහැකිවය.

හේන් ගොවිතැන අහිමි වීමෙන් අසරණ වූ ගොවි මහතෙක්,

මට දැන් අවුරුදු 65ක් වෙනවා. අපි එදා පටන් කළේ හේන් ගොවිතැන විතරයි. අවුරුද්දේ මාස් කන්නය එළඹීමත් සමග තමයි අපි හේන් ගොවිතැන් වැඩ කරන්නේ. වසරේ මාස හතරක වගේ කාලයක් තමයි හේන් ගොවි තැන තියෙන්නේ. හේන් ගොවියා මේ මාස හතරේ නොවිඳිනා දුකක් විඳිනවා මේ හේන් ගොවිතැන සඳහා. මේ මාස හතරේ කරන හේන් ගොවිතැනෙන් ලැබෙන බෝගයෙන් තමයි අපි අවුරුද්දේ මාස 12ම අඹු දරුවන්ට කන්න දෙන්නේ හා අපි ජීවත් වෙන්නේ. හැබැයි මෙදාපොටේ අපිට ඒක නැති වුණා.

අපි හේනක් කරලා අතහරිනකොට හැදෙන ලා තණකොළේ තමයි සතුන්ගේ හොඳ ආහාර බවට පත්වෙන්නේ. මේ නීතිරීති හදන මහත්වරුන්ට මේක තේරෙන්නේ නෑ. පුදුමේ කියන්නේ මේ හැම නීතියක්ම බලපාන්නේ ගමේ ඉන්න මේ අහිංසක මිනිස්සුන්ට විතරයි. බලන්නකෝ මහ කැලේ ඇතුළේ ඩෝසර් දමාගෙන කැලෑ කපලා කරලා තියෙන මහා පරිමාණ වගාවන් ටික. මේවට කිසිදු ගැටලුවක් නෑ.

හේන් ගොවිතැන අහිමි වූ ගෙවිලියක් අපිට කී තවත් කතාවකි මේ.

හේන් ගොවියා හේන් කරන්නේ අවුරුද්දකට මාස 04යි. ඒ මාස හතරේදී ලබාගන්නා අස්වැන්නෙන් තමයි මුළු අවුරුද්දම කන්නේ හා ජීවත් වෙන්නේ. ඉස්සර අපේ ගම්වල තල, මෙනේරි, කුරක්කන්, මුං ඇට, කවුපි, බඩඉරිඟු වරදින්නේ නෑ. නමුත් අද මොකද වෙලා තියෙන්නේ. මේ හැමදේම කඩෙන් ගෙනත් කන්න වෙලා තියෙන්නේ අපිට. හේන් ගොවියා කියන්නේ සැපවත් ජීවිතයක් ගත කරන කෙනෙක් නෙමෙයි. හේන් ගොවියා පංච මහා දුකක් විඳිනවා මේ මාස හතරේදී. පංච මහ දුක මොකද්ද කියලා ඇහුවට කැලෑ මහත්වරු තියා හේන් ගොවියට නීති හදන මහත්වරුවත් දන්නේ නැතිව ඇති. මේ කියන පංච මහා දුක ඔය කාටවත් දැනිලා තියෙනවද බලන්න. කැලේ හේන් සුද්ද කරන්න යද්දී පටස්ස කියන අත්ත මුහුණේ වැදීම. එරමිණිය අත්ත කණේ හරි නහයේ හරි පැටලීම. අන්දර කටුවක් අතේ ඇඟිලි පුරුකක් උඩ ඇනීම, ඇමටිල්ල අත්තක් මුහුණේ වැදීම හා අතේ දියපට්ටයක් ඇවිත් ඒ වෙලාවෙම වැඩ කරද්දි ඒක කැඩී යාම. මේ කියන පංච මහා දුක දන්නේ හේන් ගොවියාම විතරයි. මොකද හේන් ගොවියා මේවා අත්විඳලා තියෙනවා. ඒ තරම් දුකක් විඳිනවා ගොවියා. නමුත් ඒකට කෝ සාධාරණය. අපිත් කැමතියි මේ හේන් ගොවිතැන් නතර කරලා දමන්න අපිට ජීවත්වෙන්න මඟක් හදලා දෙනවා නම්.

අප මේ සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ වන නිලධාරීයෙකුගෙන්ද විමසීමක් කළත් ඔහු මාධ්‍ය වෙත තොරතුරැ ලබාදීමට අකමැති විය. එහෙත් අප කළ විමසීම හමුවේ ඔහු පැවසුවේ මෙවන් අදහසකි.

05/2017 චක්‍රලේඛයට අනුව රජයට අයත් කැලෑ කැපීම්, ගිනි තැබීම් හෝ ඉඩම් අල්ලා ගැනීම් තහනම් වෙනවා. ඒ නිසා හේන් කරන අයට කියලා කැලෑ කපන්න දෙන්න පුළුවන් කමක් නෑ. යම් හෙයකින් එවැනි කටයුතු සඳහා අවස්ථාව දුන්නොත් ඒ සඳහා ප්‍රදේශයේ ඉන්න වගකිවයුත්තන් ලෙස අපි වගකියන්න ඕනේ. හේන් කරන්න කියලා තරමක හෝ අවසරයක් ලබාදීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවෙත් නිර්දේශ අනුව ඉතා දුප්පත් අයට අවස්ථාව දීලා තියෙනවා. දුප්පත් අය කියන්නේ ඔවුන් සතුව ගොඩ මඩ ඉඩකඩම් නැති වෙනත් ජීවනෝපායක් නැති අයයි. ඒ අය සදහා හේන් කරන්න කැලයක් කපාගැනීමට යම් සහනයක් ලබාදීලා තියෙනවා.

මේ පැතිවල ඉන්නේ පාරම්පරික හේන් ගොවියෝ තමයි. නමුත් දැන් තියෙන නීති රීතිත් එක්ක හේන් කරන්න කැලෑ කපන්න දෙන්න පුළුවන් කමක් නෑ. හේන් ගොවිතැන සඳහා කපපු සියළුම රජයේ ඉඩම් මේ වනවිට තහනම් කරලා තියෙනවා. කිසිදු හේතුවක් නිසා එම ප්‍රදේශවල වගා කරන්න දෙන්න පුළුවන් කමක් නෑ. මේ ගැටලුවට බිම් මට්ටමේ අපිට කිසිදු විසඳුමක් දෙන්න පුළුවන් කමක් නෑ. මේ සඳහා ඉහළින්ම පිළිතුරක් ලැබිය යුතුයි.

► සටහන හා සේයා රූ - සූරියවැව නුවන් ජයසේකර

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00