තැන තැන ඈතින් සමර ගෑ ගොඩනැගිලි තිබුණු බිම ළවැලි ඇතිරූ පන්සලක් බඳු තැනකට ඉතා කුඩා කාලයේ අම්මා මා එක්කරගෙන ගියා මට හොඳින් මතකය. ඒ ආසන්නයේම තැනක විශාල ධර්මශාලාවක තැන තැන වූ පන්ති (කාමර වෙන් නොකළ) 10ක් පමණ විය. ඉන් එකක අප ඉඳගෙන උන්නා මට හොඳින් මතකය.
ධර්ම ශාලාවේ හරි මැද උස් වේදිකාවක් බඳු තැනක විදුහල්පතිවරයාගේ ස්ථානය තිබිණි. ධර්මශාලාව වටා තිබූ පන්තිවලට එම උස් ස්ථානය හොඳින් පෙනුණේය. වරින් වර එළඹෙන කාල පරිච්ඡේද වෙන් කරන සීනුව නාද කළේ එතැන සිටයි.
අපේ පන්තියට ඉහළ සිංහල උළු ඇතිරූ වහලයේ රීප්ප අතරින් දිවයමින් ලේනුන් දෙදෙනකු සටනක නියැලෙද්දී පහළ සිටි ළමෝ සැමදෙනා ඔල්වර හඬ නැගුවෝය. ඉනේ රිදී පාට හවඩියක් දවටා ගත් කරුණාවන්ත ගුරුතුමියක් අපට ගල්ලෑල්ලේ අකුරු ලියන්නට කියා දුන්නාය. අම්මා මා එක්ක ගියේත් ධර්මශාලාවේ වූ පාසල තිබුණේත් රත්මලානේ පරම ධම්මචේතිය පිරිවෙණේ බව දැන ගත්තේ පසුවයි. පාසල කජුවත්තට ගෙනියන බව තැනින් තැන කියනු මට ඇසුණේය.
ටික දිනක් යද්දී ධර්මශාලාව මැද තිබූ උස් වේදිකාවේ මුල් පුටුවට, කලිසම් අදින ප්‍රධාන ආචාර්යවරයෙක් ආයේය. කොට පුද්ගලයකු වූ ඔහුගේ ක්‍රීම් පාට කලිසම ක්‍රීස් එක හොඳට මතු වෙන්නට කැඳ දමා ඉස්තිරික්කයෙන් මැද තිබිණි. ඔහුගේ ඇඳුම වඩාත් පිළිවෙළට තිබූ නිසාත් උපැස් යුවල නිසාත් තේජවන්ත පෙනුමක් ඔහුට ලැබී තිබුණේය.
ටික දිනකට පසු පරමධම්ම චේතිය පිරිවෙණේ පවත්වාගෙන ගිය පාසලට අයත් සියලු දේ බර බාගයක පටවා ගැනිණි. පාසල සතුවූ සියලුම භෞතික වාස්තු සම්භාරය (පන්තිවල තිබූ ඩෙස් බංකු, පුටු හැර) එම කරත්තයේ පටවා ගතහැකි තරම් කුඩාය. කරත්තය පසු පසින් පැමිණි ගුරු මණ්ඩලයත්, සිසුනුත්, විදුහල්පතිවරයාත් පරමධම්මචේතිය පිරිවෙණින් හේන පාර කෙළවරට විත් හේන පාරෙන් හැරී එතෙක් කල් ජනයා කජුවත්ත නමින් හැඳින් වූ අක්කර හත අටක භූමි භාගයට පිවිසුණෝය. විදුහල් භූමියේ බටහිර මායිමේ හොඳින් ඉදිකළ දිගටි ගොඩනැගිල්ලකුත් නැගෙනහිර මායිමේ ටකරන්වලින් තනිකර ඉදිකළ දිගටි ගොඩනැගිල්ලකුත් තිබිණි. හෝඩියේ පන්ති කිහිපයකින් අපේ පන්තියද එකක් වූ අතර අප ආවේ බටහිර මායිමේ පිහිටි දිගටි ගොඩනැගිල්ලටයි. ඒ වනවිටත් එම භූමියේ තවත් ගොඩනැගිල්ලක් ඉදිවෙමින් තිබිණි. ගල්කිස්සේ හේනපාර කනිෂ්ඨ විද්‍යාලය ආරම්භ වූයේ එසේය. ඒ වනවිට පන්ති තිබුණේ පහළ බාලාංශය (හෝඩියේ) සිට පස්වැනි පන්තිය දක්වා පමණකි. පසුව 1980 ගණන්වලදී එය ලලිත් ඇතුලත්මුදලි විද්‍යාලය යන නම ලැබුවේය.
මා මුලින් කීවේ 1964 තරම් අතීතයේ සිදුවූ කතාවකි.
වැඩිහිටි වියට පත් මා හට කලාතුරකින් හෝ පාසල් භූමියට ඇතුළුවෙද්දී කඳුළු උනන්නේ ඇයි දැයි මට ඉස්සර තේරුම් ගත නොහැකි විය. ඇන්ටන් චෙකෝව්ගේ චෙරි උයන නාට්‍යයේ රැනියේවිස්කායා (Ranyevskaya) ආර්යාව තම ළමා කාමරයට, කාලයකට පසු පැමිණි අවස්ථාව කියවද්දී මට එය තේරුම් ගත හැකිවිය. තම ළමා කාමරයට, කාලයකින් පැමිණි ඇයගේ දෑසට කඳුළු උනයි.
පාසල යනු ගොඩනැගිලි රාශියකින් සමන්විත භූමියක් පමණක් නොවේ. ඒ භූමියේදී මගේ ළමා කාලය බෙදා හදාගත් චරිත, සිදුවීම් තවමත් මසිතේ හොල්මන් කරයි. ඒ සමහර චරිත කාලයත් සමඟ කයින් මිය ගිය මුත් මනෝකායෙන් එම චරිත තවමත් මා හා ඉඳහිට දොඩමින් අතීත සැමරුම් බෙදා ගනිති.
හේනපාරට පැමිණ ටික දිනක් ගතවෙද්දී හොඳින් ඉදිකර තිබුණු ගොඩනැගිල්ලේ එක් පන්ති කාමරයකින් පියානෝවක හඬ නැගෙන්නට ගත්තේය. තවත් පන්ති කාමරයකින් බෙරහඬ පැතිරෙන්නට ගත්තේය. ඔල්ගා ගුරුතුමිය පියානෝව සමඟ ගී ගයන්නට දරුවන්ට කියා දෙන අතර ග්‍රේෂන් මහතා නැටුම් කියා දුන්නේය. ඔහු කිසිදින අඩිය සොලවා නටනු මා දැක නැති මුත් ඔහුගෙන් නටන්නට ඉගෙන ගත් සිසු දරුවෝ වසරක් පාසා යුනෙස්කෝ ජයග්‍රහණ හිමි කරගත්හ.
ක්‍රීම් පාට ජාතික ඇඳුම අඳින කොණ්ඩය රැළි නැගෙන්නට පීරු තවත් ගුරුමහතෙක් පාසලේ නාට්‍ය රඟපාන්නට දරුවන්ට උගන්වනු පෙනිණි. මා ජීවිතයේ පළමු වරට දුටු නාට්‍ය ශේක්සිපියර්ගේ වැනිසියේ වෙළෙන්ඳා නාට්‍යයයි. එකල වී.ඩී. ද ලැනරෝල් කතුවරයානන්ගේ පරිවර්තනය කළ වැනිසියේ වෙළෙන්ඳා නාටකයේ සරල පරිවර්තනයක් 4 හේ 5 සිසුන්ගේ සිංහල පාඩමට නියම වී තිබිණි.
පාසලට අලුතෙන් පැමිණි බෙනඩික් කුමාරගේ මහතා පුහුණුකොට වේදිකා ගත කළේ එම නාට්‍යයයි. උසාවි දර්ශනයේ ෂයිලොක් මස් රාත්තලම ඉල්ලා සිටින දර්ශනය මසිත තදින්ම පැහැර ගත්තේය. බාල මහලු කොයි කාටත් දිරවන ලෙස ශේක්ස්පියර් නාටක නිෂ්පාදනය කළහැකි බව මා දන්නේ බාලාංශ පන්තියේදීම වැනිසියේ වෙළෙන්ඳා රසවිඳි නිසාය.
තවත් ටික දිනක් යද්දී පාසල් වත්ත පහළ නැගෙනහිර කෙළවරේ මහා කජුගස් කපා බිම හෙලා අලියකු ලවා අද්දනු ලැබිණි. පාසල් වත්තේ අලියකු පෙනී පෙනී සිටීම අදහා ගත නොහැකි සතුටකි. තව ටික දවසකින් බුල්ඩෝසරයක් පැමිණ එය තුනීබිමක් බවට පත්කළ පසු පිට්ටනියේ අවසාන නිමැවුම් කටයුතු දිග තලයක් ඇති තවත් යන්ත්‍රයකින් සැකසුම් කරනු ලැබිණි. පිට්ටනියේ පැත්තක විශාල කජු ගස් දෙක තුනක් ඉතිරි කරනු ලැබුවේය. ළමෝ කලක් යනතුරු කජු වාරයට ඒවායේ පුහුලන් පොලු ගසා කඩා කෑවෝය.
විදුහල්පති ඇම්. විජයපාල මහතාගේ නායකත්වයට ගුරුවරු සැවොම උරදුන්හ. බෙනඩික් කුමාරගේ මහතාගේ කැපවීමෙන් වසරක් පාසා, පාසලේ වාර්ෂික සඟරාවක් එළිදුටුවේය. දරුවන්ගේ ඉංග්‍රීසි සහ සිංහල රචනා එහි පළවූයේය. පසු කලෙක පුවත්පත් කිහිපයකම කතෘ ධුරය ඉසුලු කිත්සිරි නිහාල් පීරිස්ගේ පළමු රචනාව පළවන්නට ඇත්තේ ඒ සඟරාවලයි. මගේ පළමු ඉංග්‍රීසි රචනාවට තිබුණේ වැකි දෙකකි. එකී සඟරාවක එය පළවූයේය.
“My Kite is red. I like my kite”
අලුත හැදු ක්‍රීඩා පිටියේ පළමු ක්‍රීඩා උත්සවය සංවිධානය කළේද බෙනඩික් කුමාරගේ මහතාය. ඔහු ලියූ පාසල් ගීයට ඔල්ගා විජේවර්ධන තනුව යෙදුවාය. “ජය ජය මාතා විදුහල් මාතා, දිනේ දිනේ මාතා” බෙනඩික් කුමාරගේ මහතා පාසලේ නම පාසල් ගීයට යොදද්දී දැඩි අපහසුවකට පත්වූ සෙයක් පෙනේ. අප පාසලෙන් අස්වන තුරුම පාසලට නම තබා තිබුණේ හේනපාර කනිෂ්ඨ විද්‍යාලය කියාය. ටී.බී. ඉලංගරත්නයන්ගේ පොත් කියවන විට “සමන් විද්‍යාලය,” “විජිත විද්‍යාලය”, වැනි අකුරු තුනේ නම් තිබූ පාසල් අපට ඒවායේ එමට හමුවිය. හදිසියේ වැල්ලවත්තේ කුණුමෝල වත්ත පාරේ පාසල තිබුණි නම් අප වැටෙන්නේ සෑහෙන අමාරුවකය. පාසලට හරි නමක් නොතැබීම ගැන කුඩා අපි පාසලෙන් අස්වන තුරුමත් තවමත් බලධාරීන්ට දොස් තබමු. පාසලකට නමක් තබන හැටි බලධාරීන් ටී.බී. ඉලංගරත්නයන්ගේ පොතකින් හෝ ඉගෙන ගත යුතුව තිබුණේය.
තෑගි බෙදා දීම්, ක්‍රීඩා උත්සව වසරක් පාසා නොවරදවා පාසලේ පැවැත්වෙද්දී දෙහිවල ගල්කිස්ස රත්මලාන ප්‍රදේශයේ පාසල් අතර හොඳ නමක් දිනාගන්නට (පාසලට හරිහැටි නමක් නැතිවිටදී පවා) අපේ පාසලට හැකිවිය.
උස පැනීමේ දුර පැනීමේ ආදී පිටිය ඉසව් පැවැත්වූයේ ක්‍රීඩා උත්සවයට පෙරාතුවය. පාසලේ ඉහළම පන්තිවල වයස් සීමාවේ උස පැනීමේ තරගය සැමගේ සිත් ගත් තරගයක් විය. උපරිම උස පනින්නට හැමදාම අනිවාර්යයෙන් ඉතිරි වන දෙදෙනෙක් උන්හ. එක් අයෙක් තිලක් ඩයස්ය. අනෙක් සිසුවා සුසිල් ප්‍රනාන්දුය. හරස් දණ්ඩ අඟලෙන් අඟල ඉහළට එසවෙද්දී දෙදෙනාම එකිනෙකාට නොපරදින අයුරින් එම උස පැන්නෝය. බලාසිටි අප අපේ නිවාසයේ සිසුවෝ සුසිල්ට ඔල්වර නැගුවෝය. වරෙක තිලක් ඩයස් ශූරතාව හිමිකර ගත්තේය.
සුසිල් ප්‍රනාන්දු, එම්.එස්. ප්‍රනාන්දුගේ වැඩිමල් පුත්‍රයාය. අද ඔහු තම පියාගේ ගීතවලින් රසිකයන් පිනවයි. තිලක් ඩයස් පසු කලෙක දක්ෂ ගිටාර් වාදකයෙක් විය. ඔහු ජීප්සීස් කණ්ඩායමට ද වරෙක හවුල් වූයේය. තිලක් ඩයස් මෙන්ම පාසලේ බෑන්ඩ් කණ්ඩායමේ Drum set වාදනය කළ රංජිත් කුසුම් කුමාරද පසුකලෙක දක්ෂ වාදකයෙක් බවට පත්විය. කිසිම පාසල් තූර්ය වාදක කණ්ඩායමක එකල Drum Set එකක් තිබුණේ නැත.
පාසලේ ක්‍රීඩා උත්සව, තෑගි බෙදාදීම් ඇතුළු බොහෝ උත්සව සංවිධානය කළ බෙනඩික් කුමාරගේ මහතා පසු කලෙක ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂක ජනරාල් ධුරයට පත්වූයේය.
විදුහල්පති විජයපාල මහතා 1975 දී පාසලේදීම හටගත් හෘදයාබාධයකින් මෙලොව හැරගියේය. ඔහුගේ ආදාහන කටයුතු පැවැත්වූයේ නාවල සුසාන භූමියේය. එම අවමංගල සභාව උදෙසා එදා පාසල් සිසුන් නියෝජනය කරමින් කතා කළේ රංජිත් අමරකීර්ති පළිහපිටියයි. ඔහු පසු කාලයේදී දක්ෂ ලේඛකයෙක් බවට පත්විය. කලක් දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකුව සිටියා මට මතකය.
බෙනඩික් කුමාරගේ මහතා 2009 දී පමණ ආපසු මට හමුවූයේ කෘෂිකර්ම උපදෙස් ගන්නට කැස්බෑව ගොවි ජන සේවා මධ්‍යස්ථානයට පැමිණි වෙලේය. අතීතය සිහිකරමින් අපි නැවත කුළුපග වූයෙමු. ඔහු 2009 නත්තලට සිය නිවසට පැමිණෙන ලෙස මට ආරාධනා කළේය. ඒ වනවිට ඔහු විශ්‍රාම සුවයෙන් පසුවෙමින් වගාකටයුතුවල නිරතව උන්නේය. එම නත්තලදා මී විතක රස විඳින්නට බෙනඩික් කුමාරගේ මහතාගේ නිවසේදී මාවිත්තර එවකට ගොවි සංවිධාන සභාපති ධුරයත් කැස්බෑව ගොවිජන සේවා කාරකසභාවේ සභාපති ධුරය ඉසුලුවාවූත් අබේරත්න මහතා ද අප හා එක්වූයේය. (අබේරත්න මහතා ප්‍රවීණ නළු ධර්මප්‍රිය ඩයස්ගේ මාමණ්ඩියයි) බෙනඩික්ස් කුමාරගේ ඔහු ගිය හැම පාසලකටම හේන විද්‍යාලයට කළ සේවාව කර ඇති බව එදා සංවාදයෙන් මම දැනගතිමි. “මම ඉස්කෝල සීයක විතර පාසල් ගී ලියා තියෙනවා.” ඔහු එදා කීවේය.
එම නත්තල් දා පසුවී මාස කිහිපයක් ගිය තැන මට බෙනඩික් කුමාරගේ මහතාගේ මරණය ආරංචි විය. එවේලේම මම මාවිත්තර පිහිටි ඔහුගේ නිවසට ගියෙමි. පාසල් ගීයට තනුව සෑදු ඔල්ගා විජේවර්ධන මිය වසර කිහිපයකට පෙර මිය ගිය පුවත මට කියා තිබුණේ ද බෙනඩික් කුමාරගේ මහතාය. මා සරසවියේ ඉගෙන ගන්නා කාලයේදී ඔල්ගා විජේවර්ධන මිය ලිබර්ටි සිනමාහල අසලදී අවසන් වරට මට මුණගැසිණි.
“මිස් තාම පියානෝ ප්ලේ කරනවාද?” මම ඇයගෙන් ඇසුවෙමි.
“මොකටද?” ඇය ඇසුවාය. “මම ඉන්නේ අරෙහෙ” ඈතින් තිබෙන වැඩිහිටි නිවාසයක් ඇය මට අත දිගුකර පෙන්වූවාය.
හත්වැනි හෝ අටවැනි ශ්‍රේණිවලට පමණක් පන්ති තිබුණු නිසා 1970, 1971 කාලයේ හේන විද්‍යාලයෙන් පිටව සිසුවෝ බොහෝමයක් ආනන්ද, නාලන්දා, තර්ස්ටන්, ඉසිපතන ආදී කොළඹ විද්‍යාලවලට ගියහ. හේන විද්‍යාලයේ ඉගෙනුම ලැබු ඉංජිනේරුවරුන්, වෛද්‍යවරුන්, බුද්ධිමතුන්, ගෘහ නිර්මාණ ශිල්පීහු සිය ගණනක් පසු කාලයේදී විශ්වවිද්‍යාලවලින් පිටතට ආවෝය. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සභාපති මහාචාර්ය (ඉංජිනේරු) ටී.එම්. පල්ලෙවත්ත 2018/19, එම ආයතනයේ වාර්ෂික සමුළුව අමතද්දී, තමා හේන විද්‍යාලයෙන් ඉගෙන ගත් බව ස්තූතිපූර්වකව පවසා තිබෙනු මම අන්තර්ජාලයේ දුටිමි.
සමන් පුෂ්ප ලියනගේ