2019 අගෝස්තු 31 වන සෙනසුරාදා

මට සිලිටි සිහිනයකි

 2019 අගෝස්තු 31 වන සෙනසුරාදා, ප.ව. 12:30 223

මට සිලිටි සිහිනයනි ගයාන් ඉන්දුල කොඩිතුවක්කුගේ දෙවැනි කාව්‍ය සංග්‍රහයයි. ගයාන්ගේ ප්‍රථම කාව්‍ය සංග්‍රහය පළ කළේ 2015දීය. ඔහු ඊළඟ කෘතිය සඳහා වර්ෂ හතරක කාලයක් කවි නිර්මාණය කරමින් ඒවා අධ්‍යයනය කරමින් සාහිත්‍ය ඇසුරු කරමින් කල්ගත කළ බව පෙනේ. අද පරපුරේ බොහෝ තරුණ කවීන්ට නැති ඉවසිල්ල ගයාන්ට ඇති බව ඒ අනුව අපට පෙනේ.

ගයාන් මුලින්ම මුහුණපොත හරහාත් ඊටපසුව පුවත්පත් කවි පිටු හරහාත් තම නිර්මාණ පාඨකයන්ට ගෙන ගිය කවියෙකි. ඔහුගේ අප දකින වෙනස නම් සාහිත්‍ය අධ්‍යයනයට ඇති කැමැත්තයි. ඉතා සෙමින් තම නිර්මාණ මංපෙත එළිකර ගනිමින් ඔහු ගමනක් යන බව පෙනේ.

ඔහුගේ එම ගමනේ ප්‍රතිඵල ඉහළ මට්ටමක පවතින බව මට සිලිටි සිහිනයනි^ කෘතියේ නිර්මාණ දෙස විමසුම් ඇස යොමු කරන විට පැහැදිලි වේ.

කෙටි කවි, දිගු කවි මෙන්ම සිව් පද කවි දෙකකුත් මෙහි කවි 34 තුළදී අපට හමුවේ. ඔහු තවදුරටත් සිව්පද කවිය ගැනද අවධානය යොමු කළ යුතු බව නම් පැවසිය යුතුය. බොහෝ තරුණ කවීන් සිව්පද ආර මඟහැරිය ද ගයාන්ට ඒ සඳහා හැකියාව ඇති බව පෙනේ.

කෙටි කවි විමසන විට පද කිහිපයකින් ඔහු ධ්වනිථාර්ථ මතුකරන අපූරැව කදිමයි. මේ පොතේ පළමු කවියයි. 

අම්මා එතරම් හඬද්දිත්
 සුළඟ විත්
 අම්මාතින් සිටවූ මල් ගසේ
 මල් කඩාගෙන රැගෙන යයි

මෙහිදී දරුවන් ලොකු මහත් වූ පසු දෙමාපිය කැමැත්තට පිටුපා යෑම හෝ ඔවුන් මවගෙන් ඈත් වීම සංකේතවත් කෙරේ.

සර් ගිහින් බුදු වෙන්ඩ මෙහි හමුවන තවත් අපූරු කවියකි. බුද්ධාගම සර් තම ශිෂ්‍යාවකට අතවර කර ඇය මඟහරී. එම සිදුවීම කවියා බුද්ධ චරිතයට සම්බන්ධ පද පෙළක් භාවිත කරමින් කවියට නගා ඇත.

ජාති ජාතිත් ආදරෙයි කියන
සර් දන්දුන්න බඩත් උස්සාගෙන
ඕනෙම දෙයක් වෙද්දෙන් කියලා
යනව මං දැන්
ස්විප් විකුණන්ඩ
නේරංජනාවේ හිඳ එන තොටියන්ට

විප්ලවීය මෙනුවක් කවිය බොහෝ දෙනාගේ ඇස නොගැටෙන සිද්ධියක් කවියකට ගොනු කිරීමකි. කසිප්පු පෙරීම සඳහා භාවිතා කරන ක්‍රමවේදය ගයාන්ගේ පෑනෙන් සුහුරැ කවියක් වී ඇත.

ඇමෝනියා පන්සීයකට
යවකාරත් සමානව ගෙන
සීනි කිලෝ දහයකට
ඊස්ට් කිලෝවක් දමනු මැන

මෙහි 9 වැනි කවිය ද ජීවන යථාර්ථයක් හෙළි කරන කවියකි.

පිනි මිදුණු ජනේල වීදුරුව මත
එක එක හැඩයට අපේ නම් ලියා
ඉර එනතුරු බලා හිඳිමි

පාඨක සිත් අමන්දානන්දයට පත්කරන, ඔවුන්ට සිතීමට ඉඩහරින තේමා රාශියක්ම ගයාන්ගේ කවියට හසු වී ඇත. රඟහල නිසලයි - දෙකම්මුල් සීතලයි, මෙහෙ හීන කියන්නෙම මරණ, රුදුරු සුදු දුමට එදිරිව, උග්‍ර විෂ නෙමේ මං නිර්විෂ, ත්‍රෛලෝක විජයපත්‍රම් ගයාන්ගේ කවි පොතේ ඇති සුවිශේෂී තේමා ඔස්සේ ලියූ කවි කිහිපයකි. ගයාන්ට කවි මගේ යා හැකි දුර බොහෝය. ඔහුගේ පළමු පොතට වඩා සාධනීය ලක්ෂණ රාශියක් දෙවැනි කවි පොතෙන් අපට ස්පර්ශ කළ හැකිය. තව තවත් කාව්‍ය අධ්‍යයනය කරමින් තම කවි විශිෂ්ටත්වයට පත් කරගැනීමේ ඉඩ ඔහු සතුය. ෙමම කෘතිය සන්ථව ප්‍රකාශනයකි.

- පාඨක

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00