බොහෝ දෙනා විවාහ වන්නේ පොරොන්දම් පරීක්ෂාවෙනි. එසේ වුවද පොරොන්දම් ගැලපීමෙන් කරන විවාහ සාර්ථක වේද, එසේ නොකර සිදු කරන විවාහ අසාර්ථක වේද, යන්න ඍජු ලෙස සරල රේඛාවකින් බෙදා වෙන්කර පැවසීමට නොහැකිය. ඒ නිසා පොරොන්දම් ගැලපීම යනු විවාහයක සාර්ථක අසාර්ථක භාවය මනින එක් ක්‍රමවේදයක් බව කිව යුතුය. ඒ නිසා පොරොන්දම් ගැලපුණා යැයි විවාහ වන දෙපළ අනවශ්‍ය උද්දාමයක් ඇතිකර ගැනීම නුසුදුසුය. පොරොන්දමට අතිරේක වශයෙන් දෙදෙනාගේ කල්ක්‍රියාව ද වෙනත් පවුලේ සහ සමාජයේ ප්‍රශ්න ද සෞඛ්‍ය තත්ත්වය ද බලපානවා ඇත.
අවහිර බාධකවලින් තොරව යහපත් අන්දමින් දිවිමඟ ගත කිරීමට ගන්නා ප්රයත්නයේ මහඟු ප්‍රතිඵල පොරොන්දම්වල සනිටුහන් වේ. විවාහයෙන් පසු ජීවිතය පිළිබඳ මූලික අරමුණු සහ එහි හොඳ නරක පොරොන්දම් බැලීම තුළින් විද්‍යාමාන වේ. පාරම්පරිකව එන විදිහට නම් අට පොරොන්දම, දස පොරොන්දම, විසි පොරොන්දම යනාදී වශයෙන් නිරීක්ෂණයට ලක් කිරීමෙන් සුබ අසුබ විනිශ්චය කර තීරණවලට එළඹීමට පහසුතාවයක් ඇති වේ. පොරොන්දම් බලා කරන විවාහයක් අති සාර්ථක නැති නම් යම් සාර්ථකත්වයක් ඇතිවිය යුතුව තිබේ. එසේ නමුත් පොරොන්දම් පරීක්ෂාවෙන්ම එය සාර්ථක නොවේ යන්න මගේ හැඟීමයි. කුමන පරීක්ෂණයක් කළත් සමහර විට විවාහයට ප්‍රශ්න ඇතිවන අවස්ථා නැතිවා නොවේ. එය සාමාන්‍ය දෙයකි. විවාහයේ සාර්ථකත්වය විමර්ශනය කර බැලීමේදී දික්කසාද වීම, රෝගී වීම, වැන්දඹු වීම, අකල් මරණයට පත්වීම යනාදිය සාකල්‍ය වශයෙන් පරීක්ෂා කළ බැලිය යුතු වන්නේය. බොහෝ විට ඉහත සඳහන් සියලුම දෝෂ කුජ හා ශනි යෝග වීමෙන් ඇතිවන්නට බොහෝ දුරට ඉඩ ප්‍රස්තාව තිබිය හැකිව ඇත.
බොහෝ විට විවාහයට එළඹිය හැකි තරැණ ස්ත්‍රීන් හෝ පුරැෂයන් දැන හඳුනා ගැනීමෙන් ද දැකීමෙන් ද මෙසේ වන අවස්ථා එමට මා ලත් අත්දැකීම්වල අඩංගුව ඇත. විවාහ දෝෂ අතර සමහර නිගමනවලදී ශනි කේතු යෝග වී සිටීම ද කුජ රාහු යෝගව සිටීම ද විවාහ දෝෂ ලෙස හැඳින්විය හැකිය. නාශාංසකගතව ඇති 7 අධිපතියා මෙන්ම 5 අධිපතියා ද විවාහ දෝෂයක් ලෙස මෙහිදී දැක්වීම වැදගත් වේ. ග්‍රහයන්ගේ දෘෂ්ටි පැවතීම සහ යෝගව සිටීම නිවැරදි අන්දමට පරීක්ෂා කිරීම වැදගත් වේ. විවාහ දෝෂ ඇති සියලුම ග්‍රහයන්ගේ සම්බන්ධතා ද ඒ ඒ දේ යෙදෙන අන්දමට පරීක්ෂා කර බැලීම කාලෝචිතය. මේ අන්දමට පරීක්ෂා කිරීමේදී කුජ හා ශනි ගැන විශේෂයෙන්ම පරීක්ෂණයට ලක් කළ යුතුය. එහි මංගල දෝෂය කුජ රාහු, කුජ කේතු, එසේත් නොවන්නේ නම් ශනි කේතු ගැන ජන්ම පතක තිබෙන විට අනිත් ජන්ම පත්‍රයේ ද එම දෝෂවලින් එකක්වත් තිබිය යුතු බව සඳහන් කළ යුතුය. බොහෝ අවස්ථාවල දෝෂ භංග වී යන්නේ එවිට බව පෙනේ.
බොහෝ අවස්ථාවල පුරුෂයන්ගේ විනාශය සිදුවන්නේ 1, 4, 7, 8, 12 යන ස්ථාන ස්ත්‍රී ජන්ම පතක යෙදී ඇති විටය. එසේම ස්ත්‍රියගේ විනාශය සිදුවන්නේ පුරුෂයාගේ කේන්ද්‍රයේ ඉහත සඳහන් ස්ථානයක කුජ තැන්පත්ව සිටීමෙන් බව සත්‍ය කරැණකි. එසේම මෙම දෝෂය භංග වන අවස්ථා ද තිබේ. එසේම 1, 4, 7, 8, 12 යන ස්ථානවල කුජ ජන්ම පත් දෙකේම සිටීමෙන් එය නියමාකාරයෙන් සිදුවේ. විශේෂයෙන් කිවයුතු වන්නේ ගුරු බලවත් විට ගුරැට අඟහරැ නැත්නම් කුජ පෙනීමෙන් එසේ නැතිවේ නම් රෝගී වීමෙන් දෝෂ අවම කරගත හැකි, අඩුකරගත හැකි ස්වභාවයක් පෙන්වා දිය හැකි බවය.
1, 2, 3, 4 යන නැකැත් පාදයන් නාශාංශක වශයෙන් ව්‍යවහාරයේ පවතින රවි, ගුරු, සිකුරු, ශනි සහ නැකැත්වල මෙය පිළිවෙළට යෙදේ. දෝෂ ඇතිවීමට හෝ නැතිවීමට බලපාන අවස්ථා ඇත. ඒ පස්වැන්න, හත්වැන්න අධිපති වෙනත් භාවාධිපතියකු සමඟ පරිවර්තනයකට ලක්වීමෙන් සිදුවේ. සමහර විට විවාහ වන දෙදෙනාගෙන් එක් අයකු මරණයට පත්වීම, දෙදරා යාමට පත්වීම, රෝගී වීම පොරොන්දම් සියයට සියයක් ගැලපුණත් සිදුවිය හැකිය. විශේෂයෙන් නැකැත් පොරොන්දම, මහේන්ද්‍ර පොරොන්දම, යෝනි පොරොන්දම, ස්ත්‍රී දීර්ඝ පොරොන්දම, වශ්‍ය පොරොන්දම, රාක්ෂ පොරොන්දම, පක්ෂි පොරොන්දම, ලිංග පොරොන්දම ගැන විශේෂයෙන් සලකා බැලීමට අවශ්‍ය වේ. ග්‍රහ පොරොන්දම් බැලීමේදී පාපංශක චන්ද්‍රයාට අෂ්ටකූටය හා සුදර්ශන චක්‍රය සෝදිසි කිරීම වැදගත්ය. විශේෂයෙන් විසි පොරොන්දමෙන් 18ක්ම චන්ද්‍රයා විමසා බැලීමට උපයෝගී වෙයි. දෙදෙනා දීර්ඝ කාලයක් ජීවත් වීමට හේතු සාධක තිබේද යන්න පොරොන්දමින් සනාථ කරගත හැකිය.
දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ