චන්දිමා නිසංසලා රත්නායක මෙනවිය ඉංග්‍රීසි විෂය බාර ගුරුවරිය වශයෙන් හැටන් ශ්‍රීපාද විද්‍යාලයේ සේවය කළාය. පාසලේ 6 වැනි ශ්‍රේණිය බාර ගුරුවරිය වූයේ ද ඇයයි. ගම්පොල කීරපනේ ප්‍රදේශයේ සිට කිලෝමීටර් 60කට ආසන්න දුරකින් පිහිටි පාසලේ සේවයට නිතිපතා යන නිසංසලා රාජකාරිය නිමවා යළිත් නිවසට පැමිණෙන්නේ සවස 4.30ට පමණය. උපාධිධාරී තරුණ ගුරුවරියක වූ නිසංසලා රත්නායක මෙනවිය ඉකුත් පළමුවැනිදා පාසලට ගිය ද යළිත් නිවසට පැමිණියේ නැත.
මොහොතින් මොහොත දියණියගේ පැමිණීම ප්‍රමාද වූයෙන් නිසංසලා ගුරුවරියගේ මව පාසලේ විදුහල්පතිවරයාගෙන් ඒ ගැන විමසුවාය. ඔහු පවසා තිබුණේ නිසංසලා මහත්මිය සුපුරුදු වෙලාවටම රාජකාරිය නිමවා පිටත්ව ගිය බවකි. වැඩිදුරටත් හෙළි වී තිබුණේ ඇය තවත් ගුරුවරියක හා පැමිණ ඇති බවත් ගම්පොලදී බස් රථයෙන් බැස නිවසට යාමට සූදානම්ව සිටි බවත්ය. එහෙත් තොරතුරක් නොවූයෙන් ඇය නිවසට යන මඟ පිහිටි පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ඉදිරියේ සී.සී.ටී.වී. කැමරාවක් පරික්ෂාවට ලක්කිරීමට පියවර ගෙන තිබුණි. එදින පස්වරැ 4.6ට පටිගත වූ වීඩියෝ දර්ශනය අනුව නිසංසලා මෙනවිය තරමක වැස්සේ කුඩයක් අතැතිව ගමන් බෑගය හා තවත් අමතර බෑගයක් සහිතව පාගමනින් නිවස දෙසට යන අයුරු සටහන්ව තිබිණි. එහෙත් නිවසට නොගිය ගුරුවරිය ඒ මොහොතේ සිටම අතුරුදන්ව සිටියාය.
ඔක්තෝබර් පළමුවැනිදා පස්වරුවේ නිවසට මීටර් 100ක් පමණ දුරකදී හදිසියේ අතුරුදන් වූ චන්දිමා නිසංසලා රත්නායක (27) තරුණ ගුරැවරිය ගැන නිවැසියන්, ඥාතීන් හා ගම්වාසීන් එක්ව සොයා බැලුව ද කිසිදු ආරංචියක් ලැබී නැත. ඒ සම්බන්ධයෙන් ගම්පොල පොලිස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගුරුවරියගේ මව හා පියා ක්‍රියාකර තිබුණේ ඉන් පසුවය.
සිය නිවසට කිලෝමීටර් 60කට වැඩි ඈතක රාජකාරියේ නිරත වූ නිසංසලා නිවසට එන අතරමඟ නිවසට ඉතාමත් ආසන්නයේදී අභිරහස් ලෙස අතුරුදන් වූ පසුව දින හතක් යනතුරුම හෝඩුවාවක් හෝ තිබුණේ නැත. අවසන් වරට තරුණ ගුරුවරිය වැසි සහිත මොහොතක නිවසට පැමිණෙමින් සිටි බවට වූ සී. සී. ටී. වී. සාක්ෂිය නිසා ගම්මුන් එක්ව කාණු, ඇළ මාර්ග හා කැලැ රොදවල ද පරික්ෂා කොට තිබිණ. මේ අතර සිදුවීමෙන් පසුව යම් ආරංචියක් වී තිබුණේ මහවැලි ගඟේ කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවත් එය මහනුවර පේරාදෙණිය, කටුගස්තොට, පොල්ගොල්ල හා ලේවැල්ල යන ස්ථානවලදී දකින්නට ලැබී ඇති බවත්ය. මේ අතර ආරක්ෂක අංශ සාමාජිකයකු විසින් කියා ඇත්තේ පොල්ගොල්ල වේල්ල මතින් පහළට මළ සිරුරකට සමාන යමක් වැටී පාවී යන අයුරු දුටු බවය. මෙම කටකතා සම්බන්ධයෙන් අවධානය යොමු කළ ගම්පොල පොලීසියේ නිලධාරීන් කටුගස්තොට, වත්තේගම, කුණ්ඩසාලෙ හා තෙල්දෙණිය පොලිස්ථාන දැනුම්වත් කර අදාළ තොරතුරු පිළිබඳ අවධානය යොමු කරන්නැයි දන්වා තිබිණි.
මේ අතර දින 7ක් පුරා අතුරුදන්ව සිටි ගුරුවරියගේ බවට සැක කරන නරක් වූ මළ සිරුරක් තලාතුඔය පොලිස් බල ප්‍රදේශයට අයත් හාරගම ප්‍රදේශයේ මහවැලි ගඟ වික්ටෝරියා ජලාශයට එක්වන ස්ථානය ආසන්නයේ තිබෙන බවට ප්‍රදේශවාසීන් දැනුම්දී තිබිණි. තලාතුඔය පොලීසිය ඒ පිළිබඳ සෝදිසි කර ඇත. පසුව ගම්පොළ පොලීසියට තොරතුරු දන්වා ගුරුවරියගේ ඥාතීන් කැඳවා සිරුර හඳුනාගැනීමට අවස්ථාව සලසා තිබිණ. එහිදී නිසංසලා ගුරුවරියගේ පියා විසින් මළ සිරුර තම දියණියගේ බවට හඳුනාගෙන තිබුණි.
පසුගිය දින කිහිපයේදී ආන්දෝලනයකට තුඩු දී අතුරුදන්ව සිටි තරුණ ගුරුවරියගේ මළ සිරුර දින 7කට පසුව නිවස සිට කිලෝමීටර් 40කට වැඩි ඈතක පිහිටි වික්ටෝරියා ජලාශයට ආසන්න මහවැලි ගඟ ඉවුරේ තිබියදී ඉකුත් 7දා හමුවීම තවමත් අභිරහසකි. ඇය ඇඳ සිටි හැට්ටය සහ අතේ බැඳ සිටි පිරිත් නූල අනුව සිරුර හඳුනා ගැනීමට ඇගේ පියා පසුගිය 8 වැනිදා සමත් වුවද ඒ වනවිටත් සිරුර දුර්වර්ණ වී ඉදිමී තිබී ඇත.
27 හැවිරිදි වියේ පසු වූ නිසංසලා මෙනවිය මෙම මස 29 වැනිදා විවාහ ගිවිසගැනීමට බලාපොරොත්තුව සිට ඇත. ඒ පොලීසියේ උප පොලිස් පරීක්ෂකවරයකු සමඟය. ඊට සූදානමින් පසු වූ ඇය අභිරහස් ලෙස මියයාම සියදිවි හානි කරගැනීමක් ද නැතිනම් ඝාතනයක්දැයි යන්න සැකයක් පවතී. ඊට ප්‍රධාන හේතුවක් වශයෙන් ගුරුවරියගේ මාපියන් පවසන්නේ දියණිය මීට වසර ගණනාවකට පෙර පෙම් සබඳතාවක් පවත්වා ඇතත් නොගැලපීම් නිසා එය නවතා දමා දැනට වසර පහක් පමණ වන බවය.
එහෙත් ගුරුවරියට පෙම් කළ තරුණයා වරින් වර දියණිය පසුපස පැමිණ තිබෙන බවත් ඇයගේ යෝජිත විවාහය පිළිබඳ ආරංචිය ලැබීමෙන් පසුව දියණියට තර්ජනය කොට ඇති බවත් සඳහන් වෙයි. එම තොරතුර ඔස්සේ වැඩිදුරටත් විමර්ශන සිදුකිරීමට ගම්පොළ පොලීසිය කටයුතු කරමින් සිටියි.
වැඩිදුර විමර්ශන සඳහා මළ සිරුර හාරගම ප්‍රදේශයේ සිට රැගෙනවිත් ගම්පොළ දිසා විනිසුරු ශ්‍රිනිත් විජේසේකර මහතා වෙත ඉදිරිපත් කර තිබිණ. මරණ පරීක්ෂණයෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්වූ ආකාරය හඳුනාගෙන ඉදිරි විමර්ශන සිදුකිරීමට නියමිතය. සිරුර පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදුන් අතර ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට නියම කෙරිණි.
මේ අතර සිදුවීමට අදාළ සාක්ෂි ලබාදෙමින් අසල්වැසි කාන්තාවක පවසා තිබුණේ අදාළ මාර්ගයේ කණුවක් සමඟ පවතින වළකට වැසි සහිත වෙලාවකදී තමා ද ඇද වැටී අසල සිටි අයකුගේ උදව්වෙන් දිවි ගලවාගත් බවය. ඒ අනුව එම ස්ථානය අවදානම් සහිත බව ඇය පොලීසියට කියා තිබිණි. කෙසේ වෙතත් ගුරුවරියගේ මරණය ඝාතනය කිරීමක් බවට පොලීසිය විශ්වාස නොකරයි.
ගම්පොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරී ශ්‍රියන්ත පීරිස් පොලිස් අධිකාරී චූලනී වීරරත්න, පොලිස් අධිකාරී ඕ. කේ. අමරබන්දු, ගම්පොල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහත්වරුන්ගේ අධීක්ෂණයෙන් අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් විමර්ශන සිදුකරති.
► සමන්ත ප්‍රදීප් විල්තෙර