කොළඹ කුණු අරුවක්කාඩුට රැගෙන එන බව ජනතාවට දැනගන්නට ලැබීමත් සමඟ මෙයට විරෝධය දක්වමින් ජනතාව පෙන්වා දුන්නේ මේ තුළින් ප්‍රදේශයට සිදුවන පරිසර හානිය සහා ඒ තුළින් ජනතාව පීඩාවට පත්වන ආකාරයයි. බස්නාහිර හා මහ නගර සංවර්ධන අධිකාරියේ රාජ්‍ය නිලධාරින් ජනතාවට විද්‍යාත්මකව කරුණු පහදා දෙමින් පැවසුවේ අරුවක්කාඩුව කසළ අංගනය නිසා කිසිම පරිසර හානියක් සිදුනොවන බවයි. කොළඹ කුණු පුත්තලමට රැගෙන ඒමේදී ඉතාමත් ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා බවද ඔවුන් දිගින් දිගටම ජනතාව හමුවේ පැවසූ කරුණකි.
එම ප්‍රකාශත් සමඟ ජනතාව තරමක් නිහඬ වුවද පසුව කිසිම ක්‍රමවේදයකින් තොරව තම බලය පාවිච්චි කරමින් මහජනතාවට වූ පොරොන්දු කිසිවක් තඹ සතයකට මායිම් නොකර කොළඹ හා මහ නගර සභාව කොළඹ කුණු අරුවක්කාඩුවට රැගෙන ඒමට පෞද්ගලික කොන්ත්‍රාත් සමාගමකට ලබාදීමට පියවර ගනු ලැබීය. එම කොන්ත්‍රාත් සමාගම බස්නාහිර හා මහනගර සංවර්ධන අධිකාරියේ බලය පාවිච්චි කරමින් අධිකරණ නියෝග ද නොතකා මහජනතාව පීඩාවට පත්වන ආකාරයට ටිපර් රථවලින් කසළ රැගෙන ඒම ආරම්භ කර මාස තුනකට ආසන්න කාලයක් ගතවී ඇත.
ජනතාව මහපාරට බසිමින් දැවැන්ත උද්ඝෝෂණ පවත්මින් කසළ රැගත් ටිපර් රථවලට අරුවක්කාඩුවට යාමට නොදී මග හරස් කරමින් ජනතා විරෝධය පෙන්වූවද රාජ්‍ය හා දේශපාලන බලය හමුවේ සියල්ල නිෂ්ඵල විය. ජනතා පරමාධිපත්‍යය වෙනුට අදාළ රාජ්‍ය නිලධාරීන්ගේ සහ දේශපලනඥයන්ගේ පරමාධිපත්‍ය ජයගෙන ඇත. පරිසර අමාත්‍යංශය භාර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු අදළ බලධාරින් සියලුදෙනාට මේ කසළ ගැටලුව කීවද ඔවුහු නෑසුණා සේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන්නට කටයුතු කළහ.
සේරක්කුලිය ගම්මානයේ ජනතාවට සහ පුත්තලම කසළ විරෝධී සියලුදෙනාට සරණක් ලබාගැනීමට බොහෝ දෙනකු වෙත ගියද එය ගඟට කැපූ ඉනි මෙන් නිෂ්ඵල වූයේ කුණු මාෆියාවක් රට තුළ ක්‍රියාත්මකවන නිසාද යන්න ජනතාවට මතුවූ ප්‍රශ්නයකි. ජනතාවගේ ඉල්ලීම සාධාරණ බව පෙනී පෙනීත් පුත්තලම පොලිස් අධිකාරීවරයා (ජේ.ඒ. චන්ද්‍රසේන) ඇතුළු සෙසු පොලිස් නිලධාරීන්ට සිදුවූයේ ගඳ ගස්සමින් අපද්‍රව්‍ය වලින් ගලන අප ජලය මහ මග පෙරෙමින් කොළඹ සිට අරැවක්කාඩුවට කසළ රැගෙන එන ටිපර් රථවලට ආරක්ෂාව ලබාදීමටයි.
වසර ගණනාවක් තිස්සේ මහජන සුහදශීලි, මිත්‍රශීලි පොලීසිය ජනතාවගේ හතුරන් බවට පත් කරන්නට කොළඹ කුණු සමත් වීය. පොලීසියෙන් මහජනයාට සිදුවිය යුතු සේවය සුළුවෙන් හෝ අඩුපාඩු වීය. එම අඩුපාඩු මග හරිමින් පොලීසියට සුපුරුදු සේවා කාලය ඉක්මවා සේවය කිරීමට සිදුවීය. කොළඹ සිට අරුවක්කාඩුවට කසළ රැගෙන ඒමට කොන්ත්‍රාත් ලබාගත් පිරිස් තම වගකීම නිසි අයුරින් සිදුනොකිරීම නිසා ගල්මුල් ප්‍රහාරවලට ලක්වීමට සිදුවීය.
එවන් අවස්ථාවල කුණු කොන්ත්‍රාත් සමාගම තමන්ගේ කුණු වසා ගනිමින් පොලීසියට දෝෂාරෝපණය කරමින් ඉහළ දේශපාලන අධිකාරියට පැමිණිලි කර ඇති බවත් වාර්තා වෙයි.
පොරොන්දු වූ ආකාරයට කසළ රැගෙන එනවා වෙනුවට ඒ කිසිවක් පිළිබඳ නොසිතා නිති විරෝධී ආකාරයට කසළ රැගෙන එන ටිපර් රථවලට ආරක්ෂාව දෙමින් සාධාරණය ඉල්ලන මහජනතාවගේ ඉල්ලීමට සවන් නොදෙමින් පොලීසිය හැසිරෙන්නට වූයේ පොලීසියේ වරදක් නිසා නොව දේශපාලන බල පුලුවන්කාරකම නිසා පොලීසියට එලෙස කරන්නට සිදුවීම නිසයි.
ජනතා විරෝධය දිගින් දිගටම එන්නට වීය. පොලිස් අධිකාරී චන්ද්‍රසේන මහතා හමුවී දිගින් දිගටම ජනතාව කසළ ගැටලුව පිළිබඳ කියන්නට වූහ. අවස්ථා කිහිපයකදී පුත්තලම දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී මේ පිළිබඳ කතා කෙරිණි. දිස්ත්‍රික් ලේකම්වරයා වරෙක පැවසුවේ වසර දහයක් භාවිතා කරන්නට හැකි කසළ අංගනය මේ සිදුකරන ආකාරයට මාස හයක්වත් කිරීමට නොහැකි වන බවයි. එය සැබෑකරමින් වර්තමානය වනවිට සියල්ල සිදුවී හමාරය.
දේශපාලන අධිකාරිය, ආගමික නායකයන්, සිවිල් සංවිධාන, පරිසර සංවිධාන, හලාවත දගුරු හිමිපාණන්, බෞද්ධ භික්ෂුන් වහන්සේලා කොළඹ කුණු සේරක්කුලියට රැගෙන ඒමෙන් සිදුවන විනාශය පිළිබඳ දිගින් දිගටම කතා කළේ ක්‍රමවත් ආකාරයට කසළ ප්‍රවාහනය කර වීමට ඇති අවශ්‍යතාවය ඉස්මතු කර පෙන්වමිනි. ඒ සියලු උත්සහයන්වල ප්‍රතිඵලය වූයේ අරුවක්කාඩුවට යෝජනා වූ කසළ ව්‍යාපෘතිය අවිධිමත් ලෙස සේරක්කුලියේ ක්‍රියාත්මක වීමයි.
සියලු උත්සාහයන් අසාර්ථක වෙද්දී යා යුතු එකම තැන අධිකරණය බවට පත්වීය. අධිකරණය ස්වාධීන බවත් නීතිය එක හා සමාන බවත් නිතර අසන්නට ලැබුණද එය ක්‍රියාත්මක වීමේදී එසේ වනවාද යන්න ප්‍රශ්නාර්ථයකි. අධිකරණය ස්වාධීන වුවද විනිසුරුවරුන්ට තින්දු තීරණ ලබාදීමේදී වඩා වැදගත් වන්නේ පිළිගන්නට හැකි පිළිගන්නා පිරිස් (විශේෂයෙන්ම රාජ්‍ය නිලධාරීන්) ලබාදෙන සාක්ෂිය.
කොතරම් නිවැරදි වුවද වැරදිකරුවන්ගේ පිළිගන්නට හැකි ආකාරයට සැකසුණු සාක්ෂි නිසා නිවැරදිකරැවන් වැරදිකරැවන් බවට පත්වන අවස්ථා නැතුවාම නොවේ. මහජන මුදලින් යැපෙන රාජ්‍ය නිලධාරීන්ගේ අසත්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් ජනතාවට සිදුවන අසාධාරණය අධිකරණ පද්ධතියම හෑල්ලුවට ලක්කිරීමට හේතු වන්නකි.
මේ පිළිබඳ පසුගිය දින ආගමික නායකයන් සහා සේරක්කුලිය ගම්වාසින් මාධ්‍ය හමුවක් පවත්වමින් තමන් මුහුණදී සිටින තත්ත්වය මෙලෙස පැහැදිලි කළහ.
“චම්පික රණවක කළේ කොළඹ කුණු ප්‍රශ්නය සේරක්කුලියට දාලා තමන්ගෙ ඡන්ද පදනම හදා ගන්න එකයි.”
“මේ කුණු රැගෙන ඒමේදී විශාල වශයෙන් කොමිස් මුදල් ලබා ගැනීමට අදාළ බලධාරීන් කටයුතු කරනවා. කොළඹ සිට අරුවක්කාඩුවට කසළ ගේන ටිපර් එකට ගෙවන මුදලින් මග දිගේ ඉන්න අයට දීලත් ඉතුරු වෙනවා. ඒ තරම් මුදලක් යන්නෙ නැහැ.”
“ඔය පුපුරපු ටැංකියේ පියනේ ඝනකම අඩි දෙක හමාරක්. ඒක පිපිරෙන්න තරම් ගෑස් එකක් තිබෙනවා නම් ඒ ගැන පරීක්ෂණයක් කරලා ඒ ගෑස්වලින් රටේ ආර්ථිකයට වාසියක් ලබාගන්න කටයුතු කරනවා වෙනුවට මොවුන් කරන්නේ සැබෑ තත්ත්වය යට ගහලා කඩාකප්පල් ක්‍රියාවක් කියා ප්‍රශ්නය වෙන පැත්තකට යවලා නිහඬ වීමයි.”
“අපි කියනවා රාජ්‍ය නිලධාරීන්ට අධිකරණයේ පවතින නඩු කටයුතුවලදී බොරු තොරතුරු දිලා නඩුවලදී මහජනතාවට අසාධාරණයක් වුණොත් අපි ඊළඟ පියවර කරැණු ගණනාවක් පදනම් කර ගනිමින් රාජ්‍ය නිලධාරීන්ට විරුද්ධව පෞද්ගලිකව නඩු දාන බව.”
“මේ ව්‍යාපෘතිය හකුලාගන්න. නැතිනම් මේවාට වග කියන්න වෙන්නෙ දේශපාලනඥායන්ට නොව රාජ්‍ය නිලධාරීන්ට බව පාස්කු සිද්ධියෙන් පේනවා. බලවත් රාජ්‍ය නිලධාරීන්ට හරි දේ කරන්න කියලා අපි කියනවා. පැහැදිලිවම මීතේන් වායුව නිසා තමයි කසළ අංගණය පිපිරිලා ගියේ. මේ කිසිවක් ගැන තොරතුරු මහජනතාවටත් මාධ්‍යයටත් වසන් කිරීම තුළින් මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන ආකාරයට පිළිබඳ ගැටලු තිබෙනවා කියන එක පැහැදිලියි.
මේ අතර රජය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ කසළ අංගණයේ ටැංකියක් පුපුරා යාම කඩාකප්පල්කාරී ක්‍රියාවක් යැයි සැක කරන බවය. ඒ පිළිබඳව කරැණු සොයාබලා වාර්තාවක් ලබාගැනීමට ක්‍රියාකරන බව ද කසළ අංගණයේ ඇතිවෙන මීතේන් වායුව පුළුස්සා ඉවත් කිරීමේ ක්‍රියාවලියක් පවතිද්දී මෙවැනි පිපිරීමක් සිදුවීමට ඉඩක් නොමැති බවද සඳහන් කර තිබිණි.
► රෝවන් පෙරේරා - පුත්තලම