2019 ඔක්තෝබර් 17 වන බ්‍රහස්පතින්දා

ධනවතුන් බිහි කරන රුචක යෝගය

 2019 ඔක්තෝබර් 17 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:20 2680

වීර ක්‍රියාවල හොඳ නිපුණත්වයක් ඇති හමුදාවන්හි කටයුතු කරමින් දස්කම් පෙන්වන අය රුචක යෝගයෙන් ජන්ම ලාභය ලබති. එසේම මැර බලයෙන් චණ්ඩිකමින් ජීවිතය මෙහෙයවන ධනවත්තු ද මේ යෝගයට උරැමකම් කියති. විශේෂයෙන් මෙම රුචක යෝගයෙන් ජන්ම ලාභය ලබන්නෝ අතිශය තෙදවත් බවින් යුක්තහ. සුප්‍රසිද්ධ කැපීපෙනෙන සරු දිවියක් ගත කරන අය වෙති. වස්තු සම්පත්, ධන ධාන්‍ය ආදියට ද සැබවින්ම හිමිකම් කියති. මෙම යෝගයෙන් උපන් අයගේ බිය පලා යයි. කාටත් බය නැතිව ඉදිරියට යන ගතියෙන් යුක්ත වෙයි. සතුරෝ මෙල්ල කරමින් පරදවන මොවුන් බොහෝ විට ජය පිට ජය ලබමින් තේජවන්තව වැජඹෙති.

මේෂ හෝ වෘශ්චික ලග්නයෙන් ඉපදී කුජ ලග්නගත වීම නිසා රැචක යෝගය යෙදෙයි. කුජ උච්ච ක්ෂේත්‍රව සිටින අවස්ථාවලදී තරමක් සුබ ඵල ගෙන දීම අඩු වේ. කොහොම නමුත් රැචක යෝගයේ බලය වඩ වඩාත්ම ප්‍රබල වන්නේ කුජගේ මිත්‍ර ග්‍රහයන් විසින් සුබ දැකීම් ඇතුව සිටියහොත් පමණි. අසුබ ග්‍රහයන්ගේ දැකීම බොහෝ විට රැචක යෝගයේ බලය අඩුකර පෙන්වීමක් ද වේ.

වාසනාවන්ත ජීවිතයක් ගත කිරීමට නම් උනන්දුව තිබිය යුතුය. එසේම සුබ ග්‍රහයෝගයකින් ද එසේ නොමැති නම් සුබ ග්‍රහයෝග කිහිපයකින් උත්පත්තිය ද ලබා සිටිය යුතුය. සමහර විටක දී සුබ ග්‍රහයෝගවල තිබෙන සුබ ඵල දුර්වල කරමින් නුසුදුසු නරක පැත්ත ඉස්මතු කෙරේ. එම නිසා ජීවිතය නරක මඟට යොමුකර නොගත යුතුව ඇත. තම ජීවිතය හොඳම පැත්තට යොමුකර ගතහොත් සුබ ග්‍රහයෝගවල ප්‍රතිඵල එලෙසින්ම ලබාගෙන තම ජීවිත හොඳ පැත්තට යොමු කළ හැකිය. පෙර ඍෂිවරයන් පවසා ඇති අයුරැ බලන කල සුබ ග්‍රහයෝග, අසුබ ග්‍රහයෝග දහස් ගණනින් ඇති බව මිනිය හැකිය.

රුචක යෝගය යෙදෙන්නේ අඟහරැ නැත්නම් කුජ ග්‍රහයාගෙනි. කුජ එඩිතරය. හිතුවක්කාරය. හිතුවක්කාර ගති තිබුණ ද ශූරය. වීර වික්‍රමාන්විත භාවයට අධිපතිත්වයක් දරති. කලකෝලාහල අඩදබරවලට අධිපතියා ලෙස හඳුන්වන අඟහරුගෙන් හදිසි අනතුරු, ලේ වැගිරීම් වැනි පීඩා ඇති කරයි. කුජගෙන් විෂ විස වලින් හානි සිදුවේ. එමෙන්ම විදුලිසැරවලින් ජීවිතයට පීඩා ගෙන දේ. හදිසි තීරණවලින් ඉක්මන් විවාහයකට මඟ පාදන්නේ හතේ කුජ සිටින විටකදීය.

ජන්මියකුගේ උත්පත්තියේ දී ලග්නය සතර, හත, දහය යන ස්ථානයක කුජ ග්‍රහයා හෙවත් අඟහරැ බලවත් වීම, නොඑසේ නම් උච්ච ක්ෂේත්‍රව හෝ ස්වක්ෂේත්‍රව සිටීම රැචක යෝගයේ උදාවයි. කුජගේ ස්වක්ෂේත්‍ර රාශිය මකර රාශිය වනවා සේම මේෂ වෘශ්චික යන රාශි ද්වය කුජගේ ස්වක්ෂේත්‍ර රාශි වේ. යම්කිසි කෙනකු මකර ලග්නයෙන් උත්පත්තිය ලබා එම ලග්නයේ කුජ ග්‍රහයා උච්චක්ෂේත්‍ර බලයකින් වැජඹෙන නිසා රුචක යෝගය එම අයට ද යෙදේ. මේෂ ලග්නයෙන් උත්පත්තිය ලබා සිටින ජන්මියකුගේ දසවැනි ස්ථානය මකර රාශියට අයත් වෙයි. එසේ වූ විට දස වැන්නේ කුජ ග්‍රහයා සිටීමෙන් හෙවත් ප්‍රවිශ්ට වීමෙන් රුචක යෝගය යෙදෙන අතර කුජ ග්‍රහයා ස්වක්ෂේත්‍ර වීමෙන් ද සාමාන්‍ය ලෙස එම රුචක යෝගයට හිමිකම් කියයි. කොහොම නමුත් සුබ ග්‍රහයෝගයකින් හෝ සුබ ග්‍රහයෝග කිහිපයකින් උපත ලබා වාසනාවන්ත දිවිපෙවතක් ගත කිරීමට උනන්දු වන්නෝ රුචක යෝගයෙන් දස්කම් දක්වන්නෝ වෙති.

දේශමාන්‍ය
ජ්‍යොතිෂ්‍ය විද්‍යා විශාරද,
මහාචාර්ය හේමපාල පතිරණ