2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

විශේෂඥ වෛද්‍යවරියගෙන් අතීත මතක නවකතාවක්

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 120

පුෂ්පා සූරියආරච්චි 1995 සිට ජීවත් වන්නේ ඔස්ට්‍රේලියාවේය. නුවරඑළියේ ඉපිද පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හැදැරූ ඇය විශේෂඥ වෛද්‍යවරියක ලෙස මෙන්ම සිඩ්නි විශ්වවිද්‍යාලයට අනුබද්ධ විකිත්සක පාසැලක කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කරයි. විප්‍රවාසීව දිවි ගෙව්වත් ඇය තම උපන් රට අමතක කර නැති බව පෙනෙන්නේ සිංහලෙන් මෙන්ම ඉංග්‍රීසියෙන්ද ලේඛනයේ නිරත වීමට දරන උත්සාහය නිසාය.

ඔසී රටේ අපේ කතා නමින් ඇය කෙටිකතා එකතුවක් පළකළ අතර පසුගියදා LOST IN FLORAL RAIN නමින් නවතම කෘතිය සරසවි ප්‍රකාශනයක් ලෙස පළවිය. එය ඇගේ ළමා වියේ හා තරැණ වියේ මතක සටහන්වල ආභාෂය ලබමින් නවකතාවක් ලෙස රචිත කෘතියකි. එය හඳුන්වා ඇත්තේ වෛද්‍ය ශිෂ්‍යාවකගේ මතක සටහන් නමිනි. කතුවරිය සෑම පරිච්ඡේදයක්ම ආරම්භ කරන්නේ කවියකිනි. ඇගේ කාව්‍යකරණයට ඇති හැකියාව ද ඉන් පෙනේ. මෙහි ප්‍රධාන චරිතය වන කුසුම් වෛද්‍යවරියක ලෙස සේවයේ යෙදී සිටිනා අතර ඇගේ සිත අතීතයට දිවයයි. කතාව ගලා යන්නේ උත්තම පුරැෂ දෘෂ්ටි කෝණයෙනි. ඒ අතර කුසුම්ගේ මානුෂිකත්වය ද හැඟීම්බර ආකාරයෙන් ඉදිරිපත් කිරීමට කතුවරිය සමත් වී තිබේ.

පළවැනි පරිච්ෙඡ්දය ජැකරන්ඩා මල් විකසිත වීම (Jacarandas blooming) නමින් හඳුන්වා ඇති අතර ඇය රෝහලේ රෝගීන් අතර සිටියදී ජැකරන්ඩා මල් ගොමුවක් දකී. ඇගේ සිත අතීතයට යන්නේ මේ මල් ගොමුව හරහාය.

ඇය බාල කාලයේ ගතකරන ජීවිතය, පසුව උසස් අධ්‍යාපනය සඳහා පේරාදෙණිය සරසවියට ඇතුළු වීම, වෛද්‍ය විද්‍යාව හදාරන අතර කලා කටයුතුවලට දක්වන ඇල්ම මෙහි කදිමට පෙළගස්වා ඇත. විටෙක මෙම කෘතිය නවකතාවක් නොව මතක සටහන් එකතුවක් බවට පත්වෙයි. එදා විශ්වවිද්‍යාලයේ සොඳුරැ පරිසරය වර්තමානයට ස්මරණය කිරීමට ද මේ කෘතිය ඉවහල් වේ.

කතුවරිය කෙටි වාක්‍යවලින් සොබාදහම වර්ණනා කිරීමට දක්වන සමත්කම සෑම අවස්ථාවකම කැපී පෙනේ. කුසුම් වෛද්‍ය විද්‍යාව ඉගෙනගත්ත ද වළේ නාට්‍ය නැරඹීමට දක්වන රැචිය මෙහි  කදිමට පෙළගස්වා තිබේ. විෂය මාලාවලින් වන පීඩනය මදකට තුරන් කිරීමට මහාචාර්ය සරච්චන්ද්‍රගේ නාට්‍ය ද ඉවහල් වී ඇත. 1970 – 80 දශකවල ජීවිතය විග්‍රහ කරන lost in floral rain කාව්‍යාත්මක බස් වහරකින් රචනා වී තිබේ. මෙහිදී කුසුම් මුහුණ දෙන නවක වද අත්දැකීම් ද පොතට එක් කළා නම් කෘතියේ ගලායාම වඩාත් රසවත් වන බව පැවසිය හැකිය.

- පාඨක