2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා

ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ හිරවෙන අහිංසකයෝ

 2019 ඔක්තෝබර් 26 වන සෙනසුරාදා, ප.ව. 12:30 541

මයික්‍රෝ ෆිනෑන්ස් නොහොත් ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් බොහෝ පිරිස් මේ වන විට අති විශාල ණය උගුලකට හසුවී තිබෙන බව සනාථ වී තිබේ. ක්ෂුද්‍ර මූල්‍ය ණය ව්‍යාපෘති රැසක්  මේ වනවිට රට පුරා බහුලව ක‍්‍රියාත්මක වේ. අඩු ආදායම්ලාභීන්හට ප්‍රධාන ධාරාවේ මූල්‍ය සේවාවලින් සහයක් නොලැබේ.. එහෙයින් ඔවුනට මූල්‍ය පහසුකම් සැලසීමේ අභියෝගයක් පවතී. තිරසර ක්‍රමවේදයක් මගින් තමා විසින්ම දිළිඳුකමට එරෙහිව සටන් වැදීමට මිනිසුන්ට උපකාර කිරීම ක්ෂුද්‍රමූල්‍ය ණය ක්‍රමයේ අරමුණය. එමනිසා දිළිඳුකම තුරන් කිරීම, වත්කම් ගොඩනඟා ගැනීම සඳහා දිළිඳු පුද්ගලයන්ට අවස්ථාව සැලසීම, ඔවුන්ගේ ආදායම් ඉහළ නැංවීම සහ ආර්ථිකමය වශයෙන් ආතතියකට ලක්වීමේ අවදානම අවම කිරීම ආදිය ප්‍රධාන වශයෙන් අරමුණු කරගත් මූල්‍ය සේවාවක් වූ බැවින් ක්ෂුද්‍රමූල්‍ය ණය ක්‍රමය දිළිඳු පුද්ගලයන් හට ඉතා වැදගත් ණය ක්‍රමයකි. මේ සඳහා ඉතා අවම පොලියක් යටතේ ණය ලබා දේ. දිළිඳු පුද්ගලයන්ට ඇපවීමකින් තොරව ණය ලබාදීම සඳහා ආරම්භ කෙරැණු ක්ෂුද්‍ර මූල්‍ය සංකල්පයේ පුරෝගාමියා බංග්ලාදේශ බැංකුකරැවෙකු සහ ආර්ථික විද්‍යඥයෙකු වන ඉර්මාන් මොහොමඩ් යූනුස්ය. 1970 දශකය අගභාගයේදී බංග්ලාදේශයේ දිළින්දන්, විශේෂයෙන්ම කාන්තාවන්, සවිබල ගැන්වීමේ කාර්යය ආරම්භ කළ ඔහු 1983දී ග්‍රාමීන් බැංකුව පිහිටුවන ලද්දේ දුප්පත් ජනතාවට ණය සැපයීම මගින් කුඩා ව්‍යාපාර නිර්මාණය කිරීම සහ ඒ තුළින් ඔවුන්ගේ දරිද්‍රතාව නැති කිරීම සඳහාය. එහෙත් ශ්‍රී ලංකාවේ තත්ත්වය මීට වෙනස්ය. මේ වනවිට ක්ෂුද්‍ර මූල්‍ය ණය ක්‍රමය එම පරමාර්ථවලින් බැහැරව අධික පොලියට ණය ලබා දී ණය ගැතියන් ණය උගුලක සිරකොට ඔවුන් තව තවත් දිළින්දන් බවට පත් කරන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.

බොහෝ විට මෙම ණය උගුලට හසුවී ඇත්තේ සුළු පරිමාණ ව්‍යාපාරිකයන් හා ගම්බද කාන්තාවන්ය. ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවල මෙම ණය උගුලට හසුවූ කාන්තාවන් ලක්ෂ 25ක් පමණ සිටින බවට වාර්තා වේ. මොවුනට මෙම ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දෙන්නේ පෞද්ගලික මූල්‍ය ආයතන මගිනි. වෙනත් මූල්‍ය ආයතන සම්බන්ධයෙන් නීති රීති පැනවීමක් ශ‍්‍රී ලංකා මහ බැංකුවෙන් සිදුවන නමුදු ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදීම සම්බන්ධයෙන් එවැනි නීතිරීති ක‍්‍රියාත්මක වීම හෝ නියාමනය කිරීමක් සිදු නොවේ. එවැනි ආයතන ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ලියාපදිංචි වීමේ අවශ්‍යතාවක් නොමැති හෙයින් ද මෙය ලාභදායී ව්‍යාපාරයක් වන හෙයින් ද බොහෝ ආයතන මෙම ක්ෂේත‍්‍රයට පිවිස තිබේ. විවිධ රාජ්‍ය නොවන සංවිධාන, පෞද්ගලික ආයතන හා තනි පුද්ගලයන්  විසින් ක්ෂුද්‍ර මූල්‍ය ආයතන පවත්වාගෙන යනු ලබයි. මේ වන විට මෙවැනි  ක්ෂුද්‍ර මූල්‍ය ආයතන 1500කට අධික සංඛ්‍යාවක් මෙරට පවතී.

ස්වෝත්සාහයෙන් ව්‍යාපාරයක් ආරම්භ කිරීමට ආර්ථික ශක්තියක් නොමැති බොහෝ පිරිස් මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ණය ගැනීමට පෙළඹී සිටිති. ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන ගමින් ගමට පැමිණ සුරංගනා කතා කියමින් ජනතාව ණය ගැනීම සඳහා පොළඹවාලති. මෙම ණය සහ ඒවාට ගෙවන පොලිය පිළිබඳව ඔවුනට එතරම් අවබෝධයක් නොමැත. ඔවුන් සිතන්නේ ණය ලබාගෙන කිසියම් ව්‍යාපාරයක් ආරම්භ කොට තම දිළිඳුකමින් ගොඩ ඒමටය. සාමාන්‍යයෙන් මෙම ණය සඳහා අය කළ හැකි උපරිම වාර්ෂික පොලිය 35%කි. එයද ඉතා ඉහළ පොලී අනුපාතයකි. එහෙත්. ඇතැම් ප්‍රදේශවල ජනතාව ප්‍රකාශ කරනුයේ ඔවුන්ගෙන් අයකරන වාර්ෂික පොලිය 120%ක් හා 230%ක්  වැනි ඉහළ අගයක පවතින බවටය. ණය ගෙවා ගත නොහැකි ඇතැම් පවුල් තම ගෙවල් දොරවල්, ඉඩකඩම් හා ගම්මාන හැර යෑමට පවා පියවර ගෙන තිබේ.

ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබා දීමේදී බැංකු ණයක් ලබා ගැනීමේදී මෙන් ලියකියවිලි රැසක් අවශ්‍ය නොවේ. බොහෝවිට ග්‍රාම නිලධාරියා විසින් පදිංචිය තහවුරු කිරීම ප්‍රමාණවත්ය. ණය ලබා දෙන්නේ කණ්ඩායම් වශයෙනි. ඇපකරුවන් ලෙස ණය ලබාගන්නා කාන්තාවන්ගේ සැමියන්ගේ අත්සන ප්‍රමාණවත්ය.

ණය ලබා දීමේදී රක්ෂණයක් ලෙස යම් මුදලක්ද, ලියකියවිලි සහ අනෙකුත් කටයුතු සඳහා තවත්  මුදලක්ද කපා ගැනෙයි. ඇතැම් ආයතන කලින් ගත් ණය ගෙවීම සඳහා වැඩි ණයක් ලබා දීමට ඉදිරිපත් වන අවස්ථාද ඇත. එවිට කලින් ලබා ගත් ණය ඇත්නම් ඒවාට නොගෙවූ වාරික සඳහා අධික පොලියක් දඩ වශයෙන් ගෙවීමට ණය ගැතියාට සිදුවේ. 

ක්ෂුද්‍ර ණය සමාගම් කාන්තාවන් ණය ගැනීම සඳහා පොළඹවා ගන්නේ දිනකට ගෙවිය යුත්තේ ඉතා සුළු මුදලක් බව පවසමිනි. ඇතැම් සමාගම් ණය අයකරන්නේ සතිපතාය. දිනපතා හෝ සතිපතා හෝ අයකරන පොලිය සුළු යැයි ඔවුනට හැඟුනද එය මසකට විශාල මුදලකි. බොහෝ විට සිදුවන්නේ කුමක් හෝ ව්‍යාපෘතියක් ඉදිරිපත් කර ණය ගැනීමය. ඇතැමුන් ණය මුදලින් ආරම්භ කරන ව්‍යාපාර අසාර්ථක වීම, වගා හානි වීම, ඇතැම් විට වෙනත් බැංකුවකින් ලබා ගන්නා ලද ණයක් පියවීමට සිදුවීම වැනි කරුණු මත ඔවුනට ණය ගෙවීමට අපහසු වේ. ඇතැම් පිරිස් එම ණය කිසිදු ව්‍යාපාරයක ආයෝජනය නොකොට තම පෞද්ගලික අවශ්‍යතා පිරිමසා ගැනීම සඳහා යොදවති. ණය ගෙවීම සඳහා ආදායමක් නොමැති අතර ගත් ණය පියවීම සඳහා තවත් ණය ගැනීමට පෙළඹෙති. මේ සියල්ලන් ණය උගුලේ සිරවන්නේ ඒ අයුරිනි.

ග්‍රාමීය මට්ටමේ ස්වයං රුකියා ආරම්භ කිරීමේ හෝ වෙනත් අවශ්‍යතාවන් සඳහා ණය ගත් කාන්තාවන් බොහෝ විට එම මුදල් අනවශ්‍ය ලෙස වැය කරන බව මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පෙන්වා දෙයි. ඇතැම් පිරිස් මෙම මුදලින් ඉලෙක්ට්‍රොනික උපකරණ, ජංගම දුරකතන, විදුලි උපකරණ වැනි දෑ වාරික වශයෙන් ගෙවීමට මිලදී ගන්නා අවස්ථාද වේ. මූල්‍ය විනයක් නොමැතිකම හා අවබෝධයක් නොමැතිකම නිසා ඔවුන් ණය උගුලේ හසුවී සිටින බව විජේවර්ධන මහතාගේ අදහසයි.

ණය ගෙවීමට නොහැකිවන අයට නඩු පැවරීමටද මෙම මුල්‍ය සමාගම් පියවර ගනිති.  ඇතැමුන්ගේ දේපොළ වෙන්දේසි කිරීමටද කටයුතු කරති. ඇතැම් මුල්‍ය සමාගම් නියෝජිතයන් ණය ගෙවීම ප්‍රමාද වූ කාන්තාවන්ට නඩු පැවරීමෙන් වැළකී සිටීමට ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවද පැවසේ. ක්ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ඇතැම් නියෝජිතයෝ ශයිලොක්ලා මෙන් ණයකරුවන්ගෙන් මස් රාත්තලම ඉල්ලා සිටින බව බොහෝ කාන්තාවෝ සඳහන් කරති. ඔවුනට අවශ්‍ය කෙසේ හෝ තමන් ලබා දුන් ණය හා පොලී  මුදල් එකතු කර ගැනීමය. ඇතැම් විට පරැෂ වචනවලින් බැණ වදින අවස්ථාද තිබේ.

මහබැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා ප්‍රකාශ කරනුයේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයන් සඳහා ණය ලබාදීමට හැකිවන පරිදි බැංකු නීතිරීති වෙනස් විය යුතු බවටය. බැංකු කළමනාකරැවන්ගේ දක්ෂතාව මනින්නේ ඔවුන් ලබා දී ඇති ණය ප්‍රමාණය හා ඒ සඳහා උපයා ගන්නා ලද ආදායම අනුවයි. සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර පිළිබඳ සොයා බලා තක්සේරැවක් කිරීම සඳහා නියෝජිතයකු බැංකුවල නැහැ. අවිධිමත් අයුරින් ණය ලබාදෙන පුද්ගලයන් ණය ලබා දෙන්නේ ඇපයක් හෝ ලියකියවිලි හෝ නොමැතිව ඔවුන්ගේ ව්‍යාපාරය හා පිරිවැටුම පිළිබඳ සොයා බැලීමෙනුයි. වාණිජ බැංකුද එවැනි පියවරක් අනුගමනය කළ යුතුයි. බැංකුව ණය වශයෙන් දෙන්නේ ගනුදෙනුකරැවන්ගේ තැන්පතු මුදල්. සාමාන්‍යයෙන් ඉතිරි කිරීමේ ගිණුමකට ගෙවන පොලිය 2% ක් හෝ 3%ක් පමණයි. ස්ථාවර තැන්පතු සඳහා වාර්ෂික පොලී අනුපාතය 9%යි. එහෙයින් බැංකුවේ සමස්ත පිරිවැය වැඩිම වුණොත් 5%ක් හෝ 6%ක් පමණයි. බැංකුව ණය සඳහා 15%, 16% 17% වැනි වාර්ෂික පොලියක් අයකරනවා. ඒනිසා අවිධිමත් අයුරින් ණය ලබා දෙන පුද්ගලයන් සුළු ව්‍යාපාරිකයන්ගෙන් අයකරන පොලියෙන් හතරෙන් පංගුවක් පොලිය අයකළත් බැංකුවට ලාබයි. යනුවෙන් ඔහු පවසයි.

බොහෝ දෙනෙක් මේ සම්බන්ධයෙන් චෝදනා කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. ඔවුන් වෙනත් මූල්‍ය ආයතන නියාමනය කරන අයුරින් ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයද දැඩි නියාමනයකට ලක් කළ යුතු වන අතර ඔවුන් අයකරන පොලී අනුපාතයද අවම කිරීමට පියවරගත යුතුයැයිද පවසති. පසුගිය අයවැයේදී රජය ප්‍රකාශ කර සිටියේ ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාගත් කාන්තාවන්ගේ ණය රජය මගින් ගෙවා දැමීමට පියවර ගන්නා බවය. ඒ සඳහා අවම වශයෙන් රුපියල් බිලියන 100ක් පමණ වෙන් කරන බවද පවසා තිබිණි. 

මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කළ ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසන්නේ රජය මේ සඳහා මුදල් සොයා ගන්නේ කෙලෙසකදැයි තමාට නොවැටහෙන බවයි. &රටේ සමස්ත ආදායම රැපියල් බිලියන 2000යි. ණය සඳහා පොලිය ගෙවීමට එයින් බිලියන 1800ක් වැය වෙනවා. රට ගෙනියන්න ඉතිරි වන්නේ බිලියන 200යි. පොහොර නොමිලයේ දීමට බිලියන 400කුත් බදු කපා හැරීමට බිලියන 400කුත් ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට තවත් බිලියන 100කුත් වෙන් කරන බව රජය කියනවා. ඒ සඳහා රජයට මුදල් කොහෙන්ද? ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතන මහ බැංකුව මගින් නිසි නියාමනයකට ලක් කළ යුතුයි. මෙම ණය උගුලේ සිරවී සිටින්නේ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් හා ගැමි ජනතාවයි. ඔවුන්ගේ ව්‍යාපාර දියුණු කර ගැනීමට රජය සහය ලබා දී මෙම ණය උගුලෙන් ගලවා ගත යුතුයි. එහෙත් ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නැහැ යනුවෙන් පවසයි.

එහෙත් ඩබ්ලිව්. ඒ. විජේවර්ධන මහතා පවසන්නේ මෙවැනි ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් මහැබංකුවට නියාමනය කළ නොහැකි බවයි. බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට ක්‍රියාත්මක වන ණය දීමේ ආඥාපනත (Money Lending Ordinance) නමින් ආඥා පනතක් අපේ රටේ පවතිනවා. මේ ණය ක්‍රමය ක්‍රියාත්මක වන්නේ එම පනත යටතේ. මෙම පනත අනුව පොලී අනුපාතය සීමාකර නැහැ. තැන්පතු බාර අරන් ණය දෙනවා නම් ඒවා මහ බැංකුවට නියාමනය කළ හැකියි. මේ ක්‍රමයේදී තැන්පතු බාර ගැනීමක් නැහැ. ඒ නිසා නියාමනයට යටත් කළ නොහැකියි.

කෙසේ වුවද ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලේ සිරවී සිටින පිරිස් ඉන් ගලවා ගැනීම සඳහා රජය මැදිහත් වී කිසියම් ක්‍රමවේදයක් නිර්මාණය කළ යුතුය. එසේ නොවන්නේ නම් මෙම ණය ගැතියන් තවදුරටත් අසරණ වී දිවි නසා ගන්නා තත්ත්වයට එළඹීම වැළැක්විය නොහැකි වනු ඇත.

 ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා