2017 මාර්තු 18 වන සෙනසුරාදා

සාර්ථක විවාහයකට හඳහන ඕනෑම නැහැ

 2017 මාර්තු 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 952

 

සාර්ථක විවාහ ජීවිතයක් ගතකිරීමේදී පොරොන්දම් පරීක්ෂාව අත්‍යවශ්‍ය වන අතර, ග්‍රහ ගැලපීම් පොරොන්දම් ගැලපීම් සිදුකළත් ඒවාට හසු නොවන්නා වූ විවාහයට බලපාන්නාවූ වෙනත් විවාහ දෝෂද පවතිනු ඇත. පොරොන්දම් 20න් 20ම ගැලපුණත් විවාහයට බලපෑම් ඇතිකරන්නාවූ දෝෂ කිහිපයක් ගැන විමසා බලමු.

ප්‍රධාන වශයෙන් විෂ කන්‍යා දෝෂ, අංගාර දෝෂ, නාශාංශක දෝෂ, කළුකුමාර දෝෂ, තුන්කුළුදුල් දෝෂ, ලේ නෑකම් දෝෂ, කඩහංදි මාර දෝෂ, විවාහ ජීවිතයට බලපෑම් ඇති කිරීමට සමත් වන්නාවූ දෝෂ කිහිපයකි.

උත්පත්තියේදී ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව අඟහරැ ග්‍රහයා ජන්ම ලග්නයේ හෝ ලග්නයෙන් 2, 4, 7, 8, 12 යන තැනක තැන්පත් වීද එලෙසම සඳුගෙන් හෝ සිකුරුගෙන් 1, 2 4, 8, 12 යන තැනක අඟහරු තැන්පත් වීද එසේ තැන්පත්ව උත්පත්තිය ලැබීමේදී අංගාර දෝෂයට යටත්ව එනම්, කුජගේ දෝෂය සහිතව උත්පත්තිය ලද අයකු වේ. හඳහන් දෙකේම මෙම දෝෂය යෙදේනම් එවිට විවාහ දෝෂය භංග වී ඇත. අඟහරු ලේ ධාතුවට අධිපති ග්‍රහයා වන නිසා අඟහරු දෝෂය ගැලපීම සාර්ථක විවාහයකට ඉවහල් වනු ඇත.

ස්ත්‍රියකගේ උත්පත්ති ග්‍රහචාරය නිසා පුරුෂයාට මරණය හෝ අංශභාගී තත්ත්වයට පත්වීමට හෝ ආබාධිත තත්ත්වයට පත්වීමක් ලෙස විෂ කන්‍යා දෝෂය හඳුනාගත හැක. යම්කිසි ස්ත්‍රියක් ඉරිදා දිනයක උත්පත්තිය ලබා කැති, අස්ලිය, සියාවස නැකතක් හිමිවූයේද දොළොස්වක තිථිය උදාව පැවතියේද සෙනසුරාදා දිනයක උත්පත්තිය ලබා සතවක තිථියෙන් කැති නැකත උදාව පවතිද්දී උත්පත්තිය ලැබුවේද ඇය ද විෂ කන්‍යාවක් වේ. අඟහරැවදා දිනයක විසා හෝ සියාවස නැකතකින් උත්පත්තිය ලබා සතවක තිථියද පැවතුණේනම් ඇය ද විෂ කන්‍යාවක් වේ.

තවද විවාහය පත්වන්නාවූ දෙදෙනාම එකම මහදශාවක් ගතකිරීම අයහපත් වනු ඇත. එහිදී දෙදෙනාම එකම මහදශාවේ එකම අන්තර් දශාවක ගතකරන්නේනම් දෙදෙනා කඩහන්දි මාර දෝෂයට භාජනය වී ඒ මත විවාහයෙන් පසු නොසිතූ විරූ කරදර විපත් ගෙන දෙනු ඇත. නමුත් එකම මහදශාවක වෙනත් අන්තර් දශා ගත කරන්නේනම් එසේ නොවනු ඇත.

මෙහිදී තව දෙයක් ප්‍රකාශ කළ යුතු වේ. හොඳින් හඳහන්වල දෝෂ බලා විවාහයට පත්වූවන්ට වඩා හඳහන් නොබලා විවාහයට පත්වූවන් සාර්ථක විවාහ ජීවිත ගතකරනු දැකගත හැකි වී ඇත. විවාහයට හඳහන් දෝෂ ගැලපීම අත්‍යවශ්‍ය වුවද දෙදෙනා අතර මානසික කායික බැඳීම යහපත් නම් විවාහ ජීවිතය සාර්ථක වනු ඇත.

ජ්‍යොතිෂ ශාස්ත්‍රසූරී
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
මෙලාන් වික්‍රමරත්න
ගෝනපල

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 19 වන සෙනසුරාදා, ප.ව. 02:00