කවිවලින් වෙඩි තිබ්බ
තොටමුණේ කැලණි ගං අහස යට
හැම හැන්දෑවෙම පායන
පුරසඳටත් වඩා කලඑළිය
ප්‍රසං වත්තේ අඩ සඳවතිය
ජාඩි කා වයින් බී ජැන්ඩියට අඳින
ගල් අරක්කුම බොන
එකම සින්දුව කියන හවසක
රූබන්ලා මිචෙල්ලා
මොහොමඩ්ලා සිද්දික්ලා අතරෙ
මරතෝඩි රටාවන් දිග
බායි අබායක් තුළ
උඹේ නේල් ආට් දිග
යශෝධරාවක් සොයන මං
පට්ටලේ කිණිහිරක
වදින ගිනි පුළිඟුවක් මෙන්
දැවි දැවී පත්තුවෙන
සඳකිඳුරු ආදරේ
තාම වෑල්ඩිං කරනවා
මංෆර්මිලා
උඹෙ පර්දාවෙ වැදුන හුළඟක්
ගතේ දාඩිය නිව්වා බං
වත්තෙ මංගල්ලෙ පොළේ දා
තුට්ටුවක ඔට්ටුවට කාපු ලඩ්ඩු
ඉස්පොල්ලෙ ගියා බං
අකුණක් වගේ උඹෙ
මන්දස්මිතිය වැදිලා ෆර්මිලා
ඉහත්තාවේ දෙඉවුරු යාකොට
එක හිතින් පාලම හැදුවා මං
අල් කුරාණය බයිබලය
ජාතක පොත් පිටුවල
නෑ අපි වගේ උන් බං
පන්සල් වත්තේ ගල් කණුවක
හට් එකක් ඇතුළෙ ආට් එකකට
උඹෙයි මගෙයි නං කෙටුව මං
ඉන්ෂා අල්ලාහ්-
මට හිතෙන්නෙම
ඒක දෙවියන්ගේ කැමැත්ත බං
ටුශාන් වීරරත්න