2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

ග්‍රහයකු නීච වුණා යැයි බියවන්න එපා!

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:30 2675
 
ග්‍රහයකු නීච වනවිට අසුබ ප්‍රතිඵල ලැබෙන බව බොහෝ දෙනාගේ විශ්වාසයයි. එහෙත් හැමවිටම නීච ග්‍රහයන් නිසා අවැඩ සිදුවේද යන්න සොයාබැලිය යුතු වේ. යමෙකුට කරදරයක් වන විට නිතර පවසනුයේ අනේ මගේ ග්‍රහයන් නීචවෙලා කියලාය. එහෙත් නරකක් නපුරක් සිදුවන්නේ ග්‍රහයන් නීචවෙලා නිසාද යන්න හැමවිටම සත්‍යයක්දැයි විමැසිය යුතුමය. බොහෝදෙනා සිතන්නේ නීච වූ ග්‍රහයා අශුභ ප්‍රතිඵල උදාකරන බවය. එහෙත් අපට පැවසිය හැක්කේ නීච වූ ග්‍රහයන්ගෙන්ද සුබඵල ලැබෙන අවස්ථා ඇති බවය.
 
ග්‍රහයකු නීචවීම යනු එම ග්‍රහයා විකෘති තත්ත්වයට පත්වීමයි. සාමාන්‍යයෙන් ක්‍රියාකරන ප්‍රකෘති තත්ත්වය වෙනස් වීමයි. මෙහිදි නරක ඵල මෙන්ම සුබඵලද ගෙනදීමට ඉඩ තිබේ. එය ඒ ඒ තැනැත්තාට විෂය වන පරිදිය. නීච වූ ග්‍රහයාගේ නීචත්වය නැති කරන නීච භංග රාජයෝග ඇතිවීමට ඉඩ ඇත. එවැනි විටෙක ඉතාම වැදගත් ප්‍රභූ පුද්ගලයන්, වැඩදායක අය බිහිවීමට පුළුවන. එලෙස බිහිවන ජන්මීන් නිසා ඔහුට වඩා රටට සමාජයට සුබඵල ගෙනදෙයි. එය ජාතික වශයෙන් වාසනාවක්ද වෙනවා ඇත. අතීතයේ මෙවැනි සුවිශේෂ පුද්ගලයන්ගේ කේන්ද්‍ර පිරික්සූ විට ඒ අයට මෙවැනි රාජයෝග තිබූ බව ප්‍රත්‍යක්ෂ වේ.
 
ග්‍රහයන් පිළිබඳ සලකා බලන විට ඒවාට නීචවන රාශි තිබේ.
 
ග්‍රහයා නීච රාශිය
රවි තුලා
සඳු වෘශ්චික
කුජ කටක
බුධ මීන
ගුරැ මකර
ශුක්‍ර කන්‍යා
ශනි මේෂ
රාහු වෘශ්චික
කේතු වෘෂභ
යුරේනස් වෘෂභ
නැප්චූන් මකර
 
ග්‍රහයන්ගේ නීච බව නැති වී රාජයෝග උදාවන අවස්ථා කිහිපයක් මෙසේය.
 
• නීච ග්‍රහයා සමග අංශක 12 – 15ට ළං වූ උච්ඡ ග්‍රහයකු ඇතිවීම.
• නීච ග්‍රහයන් දෙදෙනකු මුහුණට මුහුණ ලා සිටීම.
• නීච ග්‍රහයාට උච්ඡ ග්‍රහයකු බැල්ම දැමීම.
• නීච ග්‍රහයා ලග්නාධිපතියකු වීම.
• නීච ග්‍රහයා සිටින රාශි අධිපතියා කේන්දර ස්ථානයක හෝ ත්‍රිකෝණයක සිට නීචයාට දෘෂ්ටි දැමීම.
• නීච ග්‍රහයා තුන්පත් රාශියේ අධිපතියා උච්ඡ හෝ ස්වක්ෂේත්‍ර බලයෙන් සිටීම.
• නීච ග්‍රහයා හෝ එම ග්‍රහයා සිටින රාශියේ අධිපතියා ලග්නයේ හෝ චන්ද්‍රයාගේ කේන්ද්‍ර ගතවීම.
 
මෙම අවස්ථාවලදී එකකින් හෝ නීචය අහෝසි වී නීචභංග රාජයෝගයක් නිර්මාණය වීම අනිවාර්යයෙන් සිදුවනවා ඇත.
අනගාරික ධර්මපාලතුමාගේ කේන්ද්‍රය
 
මෙහි 4 වැන්නේ සතුරැ ග්‍රහයා කන්‍යාරාශිගතව ඇත. එවිට සතුරු නීච වෙයි. එහෙත් බුධ කන්‍යා රාශියට උච්ඡ වන නිසා සිකුරුගේ නීචවීම භංග වී ඇත. එවිට නීච භංග රාජයෝගයක් නිර්මාණය වී තිබේ.
 
තවත් මෙවැනි කේන්ද්‍ර රුසක් උදාහරණ ලෙස දැක්විය හැකිය. ඒවා හිමි පුද්ගලයන් දෙස් විදෙස් කීර්තියට පත්ව ඇත. ඒ නිසා ග්‍රහයන් නීච වූවා යැයි බිය විය යුතු නැති අතර එයින් යහපතක් සැලසෙන අවස්ථා ඇති බවද අවධාරණය කළ යුතුය.
 
විශේෂ ජ්‍යොතිෂවේදියකු විසිනි
 2024 නොවැම්බර් 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 නොවැම්බර් 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00