2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා

“පුන්තිලා” ගෙන් වේදිකාවට ආ “නල්ලතම්බ්ලා”

 2019 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 12:31 364

ජ්‍යෙෂ්ඨ සොලිසිටර් ජනරාල් වසන්ත නවරත්න බණ්ඩාර ඇවන්ගාර්ඩ් විමර්ශන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරන වීඩියෝවක් මම සමාජ ජාලයක දුටිමි. මගේ සිත ඒ දැක අවුරුදු 35කට වඩා අතීතයකට දිව ගියේය. 1984 දී එවකට පින්ලන්ත තානාපතිවරයාගේ බිරිඳ වූ හෙලේනා ලෙහ්තමකි අතින් නිර්මාණය වුණු (පුන්තිලා) නාට්‍ය පරිවර්තනය කළේ වසන්ත නවරත්න බණ්ඩාරය. මගේ මතකයේ හැටියට ඔහු ඒ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ එල්.එල්.බී. උපාධිය සම්පූර්ණ කළ නීති ශිෂ්‍යයෙකි. පුන්තිලා නාට්‍ය බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ නාට්‍යයකි.

ඒ නාට්‍යයේ තිබූ ගීත, අවුරුදු 35කින් අසා නැතත් තාමත් ඒවා මගේ මතකයේ රැඳී පවතී. එම ගීතවලට තනු යොදා ඒවායේ සංගීත නිර්මාණය කළේ කළණි පෙරේරාය.

නාට්‍ය ශාලාවේ කෙළවරක, පුන්තිලාගේ නාන කාමරයට පසෙකින් තිබූ, ඔහුගේ මෝටර් රථයේ නැගී පුන්තිලා ඇතුළු පිරිස පහත ගීතය ගායනා කළහ.

විල්තෙර නිල් දිය සිඹිමින්නේ
සීත සුළං එන්නේ
මල්වල රොන් සුණු පිසිමින්නේ
අප හද සනසන්නේ
දුහුල් වලාකුළු පාවෙන්නේ
අනන්ත කඳුරැල්ලේ
නැතුවද අසිරිය ඔබ දන්නේ
තවස්ලන්ත පුරයේ

මල්වතු සුවඳින් නැහැවෙන්නේ
සුන්දර ගිම්හානේ
මිදි වතු පොකුරින් බරවෙන්නේ
සුන්දර ගිම්හානේ
ආදර හසරැලි සොයමින්නේ
සුන්දර ගිම්හානේ
කවුරුද අප හා එක්වන්නේ
තවස්ලන්ත පුරයේ

දැනට වසර කිහිපයකට පෙර පුන්තිලා නාට්‍යයේ ඉංග්‍රීසි පිටපතක් කියවා බලන විට වසන්ත කෙතරම් අපූරුවට පින්ලන්ත පසුබිමේ තිබෙන පුන්තිලා නාට්‍ය අපට සමීපකොට ඇත්තේදැයි තවදුරටත් මට වැටහී ගියේය.

පුන්තිලා නාට්‍ය බිහිවුණේ දීර්ඝකාලීන වැඩමුළුවකින් අනතුරුවයි. දැනට නාට්‍ය හා විවිධ කලා ක්ෂේත්‍රවල සාර්ථක ලෙස නිර්මාණ කාර්යයේ රැඳී ඉන්නා ශිල්පීන් ගොන්නක් එක්කොට මලකින් රේණු විහිදන්නා සේ පුන්තිලා නාට්‍යයෙන් කලා ලොවට මුදාහරිනු ලැබීය. උදේනි අල්විස්, මාලි ජයවීරගේ, මංජු කාරියවසම්, සමන් ජයලත් එදා විකසිත වී අද පවා රංග ක්ෂේත්‍රයේ සුවඳ විහිදුවති.

දක්ෂ ප්‍රතිමා හා නිර්මාණ ශිල්පියකු වූ අනුර දහනායකගේ දෙවැනි නාට්‍ය පෝස්ටරය නිර්මාණය වූයේ පුන්තිලා නාට්‍ය වෙනුවෙනි. සාලමන් ෆොන්සේකාගෙන් රංගනය හැදෑරූ මහේන්ද්‍ර පෙරේරා මත්ති (පුන්තිලාගේ රියැදුරු)ගේ චරිතය තරු විසිරෙන්නට රඟපෑවේ පුන්තිලා නාට්‍යයේය. ලින්ටන් සේමගේ ඇම්බසියේ ලේකම්ගේ චරිතය රඟපා සියුම් රංගන කුසලතා පළ කළේ මෙම නාට්‍යයේය. පුන්තිලා චරිතය රඟපාමින් නිහාල් සිල්වා නැමති නළුවා අලුතෙන් උපත ලැබුවේ මෙම නාට්‍යයෙනි. එය ශ්‍රී ලංකාවේ නාට්‍ය වංශකතාවේ, නැරඹූ කිසිවකුට අමතක නොවන අසහාය චරිත නිරූපණයකි. 

පුන්තිලා චරිතයට පෙර නිහාල් සිල්වා නාට්‍ය 200ක පමණ රඟපා තිබුණත් ඊට පෙර එවන් රංග කුසලතාවක් ඒ කිසිදු නාට්‍යයක රඟපෑ චරිතයකින් ඔහු පෙන්වා තිබුණේ නැත. ඔහුගේ රංග කුසලතාව වඩාත් ඔපවත් වූයේ හෙලේනා ලෙහ්තමකි මෙහෙයවූ වැඩමුළුවෙනි.

නිහාල් සිල්වා රඟපානවා මා මුලින්ම දුටුවේ 1975 අවුරුද්දේය. ඒ සුගත් සමරකෝන්ගේ (අමල් බිසෝ) නාට්‍යයේ මුල්ම නිෂ්පාදනයේය. එම නාට්‍යයේ ප්‍රධාන චරිත රඟපෑවේ ප්‍රේමසිරි කල්පගේ සහ ශ්‍රියානි ෆොන්සේකාය. නිහාල් සිල්වා එම නාට්‍යයේ රඟපෑවේ සහාය චරිතයකි. ප්‍රහසන රංගන දක්ෂතාව ඔහු එම නාට්‍යයේ ද ප්‍රකට කළේය. අමල් බිසෝ කලාත්මක අතින් සාර්ථක නිර්මාණයක් නොවීය. නාට්‍යයේ සිද්ධි අතර පරස්පරතා ද එහි තිබිණි.

නිහාල් සිල්වා සහාය චරිතයක් රඟපෑ 1975 අමල් බිසෝ නාට්‍යයේ මුල් නිෂ්පාදනය මගේ මතකයේ රැඳී ඇත්තේ විශේෂ හේතුවක් නිසාය. එහි මුල් කාලයේ ලුම්බිණි රඟහලේ නාට්‍ය දර්ශන වාරයකට අනුග්‍රහය දක්වමින් එය සංවිධානය කළේ මගේ මිතුරු කැලේ මිතුරන් දෙදෙනෙකි. ඉන් එක් මිතුරෙක් සරත් ද සිල්වාය. සරත් සිල්වාව ඔහුගේ බාල සොයුරන් ඉන්පසු ඇමතුවේ (අමල් කුමාර්) කියාය. සරත් හා එක්ව එම නාට්‍ය දර්ශනය සංවිධානය කළ අනෙක් මිතුරා ඉඳුනිල් ළමාබදුසූරියයි. කටුබැද්ද විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු උපාධිය සමත්ව සිටි ඔහු, ඉංජිනේරුවකු ලෙස මුල්ම රුකියාවට ගියේ ඒ කාලයේය. අපේ මිතුරු සමාජයේ උද්‍යෝගිමත් මිතුරකුව උන් ඉඳුනිල් 2004 සුනාමියේ දී ගාලු පාරේ කහව ප්‍රදේශයේ දී මුහුදු රළට බිලි වූයේ ඔහුගේ සොයුරිය ද සමඟයි. ගල්කිස්සේ පිහිටි ඔවුන්ගේ නිවෙසේ දී එම දෙදෙනාටම අවසාන ගෞරවය දැක්වීමේ සෝචනීය අවස්ථාවට අපි මුහුණ දුන්නෙමු.

මහත් කැපවීමෙන් දීර්ඝ කාලයක් පුරා, නිහාල් පුන්තිලා චරිතය වෙනුවෙන් කැපකිරීම් කළ බව ඔහුගේ රඟපෑමෙන් පෙනී ගියේය. එම චරිතය සඳහා ඔහු තම හිස මුළුමනින් මුඩු කළේය. (ඒ කාලයේ හිස මුඩු කිරීමේ මෝස්තරයක් නොවීය) පුන්තිලා චරිතය උදෙසා අංගරචනය කළේ ප්‍රවීණ අංගරචනා හා රංග ශිල්පී වසන්ත විට්ටච්චි විසිනි. පින්ලන්ත තානාපති නිවෙසේ දී නිහාල් මුලින්ම හිස මුඩු කළ අයුරු වසන්ත අපට කියා ඇත.

පුන්තිලා පින්ලන්තයේ රදළ ඉඩම් හිමියෙකි. එකී ඉඩම් හිමියාගේ දුවණිය, මිතුරන් හා සේවකයන්ගේ චරිතවලින් නාට්‍යයේ පාත්‍ර වර්ගයා සැදුම් ලද්දේය. පුන්තිලා මත්පැනට ගිජු වූවකි. ඔහු මත්පැන් පානය කොට නැතිවිට සේවකයන්ට සැර පරුෂ ලෙස අණ දෙන ඔවුන් පෙළන ඉඩම් හිමියෙකි. මත්පැන් පානය කොට මත්වන පුන්තිලා කාරැණිකය. විනෝදකාමීය.

මුළු නාට්‍ය පුරා පුන්තිලාගේ චරිතය ආධිපත්‍ය දරනා විට, මත්ති චරිතය රඟපෑ මහේන්ද්‍ර තම රංගනය සියුම් ලෙස ඉදිරිපත් කළේය. එම සියුම් බව නිසා දුම්රියක් හඬ නගාගෙන යන විට නැගෙන බටනලා වාදනයක් මෙන් මහේන්ද්‍ර රඟපෑ චරිතය කැපී පෙනුණේය.

හෙලේනා මෙම නාට්‍ය නිෂ්පාදනය උදෙසා මුළු රංග ශාලාවම යොදා ගත්තාය. රංග ශාලාවේ මැද ආසන ඉවත්කොට ඒවා මැදට මුහුණලා සිටින පරිදි දෙපසට යොදා රංග ශාලාවම මෙම නාට්‍ය උදෙසා විශේෂයෙන් සකස් කෙරිණි. වේදිකාව පුන්තිලාගේ සාලයයි. අනෙක් කෙළවරේ පුන්තිලාගේ පින්ලන්තයේ සාවුනා නෑම නාගන්නා නාන කාමරයයි. ඒ අසල ඔහුගේ මෝටර් රථය තිබිණි. ශාලාවේ මැදත් දෙකෙළවරත් නාට්‍යයේ රංගනය උදෙසා අගේට යොදා ගැනිණි.

සාමාන්‍යයෙන් බ්‍රෙෂ්ට්ගේ බොහෝ නාට්‍යවල දෙබස් ඉතා ප්‍රාණවත්ය. ජීවිතය රඳවාගන්නට මිනිසුන් කරන සටකපටකම් එම චරිත ලවා බ්‍රෙෂ්ට් කියා පාන්නේ උපහාසය හා හාස්‍ය මතුවන පරිදිය. නිදහසේ සිනාසෙමින් නාට්‍ය දකින නරඹන්නා නාට්‍යයේ සිදුවීම් පෙළට ආසක්ත නොවී ඊට ඈත්ව විචාරශීලී ලෙස එම සිදුවීම් රසවිඳීමට පුරුදු කරන්නට බ්‍රෙෂ්ට ඕනෑ විය. මීයට පිම්බාක් මෙන් ඉන්නට ප්‍රේක්ෂකයා දමනය කර ගන්නට බ්‍රෙෂ්ට ඕනෑ වූයේ නැත. ප්‍රේක්ෂකයාගේ විචාර බුද්ධිය වර්ධනය කිරීම බ්‍රෙෂ්ට්ගේ මුඛ්‍ය පරමාර්ථයක් විය. ඇතැම්විට ඔහුගේ නාට්‍යවල එන ගීත නාට්‍යයේ සිද්ධියට සම්බන්ධ නොවූ ගීතයන්ය. පුන්තිලා නාට්‍යයේ තිබූ එවැනි එක් ගීතයක් චැටර්ලේ ආර්යාවගේ පෙම්වතාගේ දර පලන පෙම්වතා සිහි ගන්වන්නක් විය.

දර පලන්නා වෙතට ළං වී
හෙමෙන් රහසින් මිමුණුවා
බුරුල් වී ඇත මගේ හැට්ටය
බොත්තමක් එහි ගැලවිලා

පියවපං බොත්තම නොපියවුණු
හොරෙන් මා වෙත ළං වෙලා

ඔබේ පියයුරු සුදු පැහැති මුත්
මේ පොරෝ මුව ඉතා මුවහත්
රුදුරු මරණය ඉතා කටුකය
ආදරය සුන්දර දෙයක්

නිහාල් සිල්වාගේ රංග කුසලතාව පුන්තිලා නාට්‍යයෙන් අනතුරුව ලැබුණේ ප්‍රහසන නාට්‍යවලටයි.

දයානන්ද ගුණවර්ධනගේ මධුර ජවනිකා නාට්‍යයේ (නෙයිනගෙ සූදුව) ජවනිකාව එකල රූපවාහිනිය නිසා ජනප්‍රිය වූයේය. එසේ (නෙයනගෙ සූදුව) ජනප්‍රිය වීමෙන් අනතුරුව ඒ නමින් දයා වයමන් වෙනම නාට්‍යයක් නිෂ්පාදනය කළේය. එම නාට්‍යයේ සාර්ජන්ට් නල්ලතම්බි චරිතය නිරූපණය කළේ නිහාල් සිල්වාය. ඔහු ඒ වන විට රැස්කරගෙන සිටි සියලු රංග කුසලතා කැටිකොට දයා වයමන්ගේ, නෙයිනගෙ සූදුව නාට්‍යයේ, සාර්ජන්ට් නල්ලතම්බි චරිතය නිහාල් රඟපෑවේය. ටික කලකට පසු නිහාල් සිල්වා එම නාට්‍යයෙන් ඉවත් වී (සාර්ජන්ට් නල්ලතම්බි) නම් ප්‍රහසන නාට්‍යයක් අලුතෙන් නිෂ්පාදනය කොට එහි සාර්ජන්ට් නල්ලතම්බි චරිතය රඟපෑවේය. අතිශය ජනාදරයට පත් ඒ නාට්‍ය නගරයක් නගරයක් පාසා ප්‍රදර්ශනය වෙමින් ප්‍රේක්ෂක ජනාදරය දිනාගත්තේ නිහාල්ගේ රංගනය නිසාමය. එය සංවිධානය කළ උදවියට ඒ කාලයේ ප්‍රදර්ශනය වූ වෙන කිසිම නාට්‍යයකට වඩා ලාභ ලැබිණි. එය වාණිජ නාට්‍ය රැල්ලක් බවට පත් විය.

නිහාල්ගේ නල්ලතම්බි නාට්‍ය නිසා එතෙක් නාට්‍ය රසවිඳි ප්‍රේක්ෂක ජනයාට අමතරව තවත් ප්‍රේක්ෂක පිරිසක් නාට්‍ය කලාවට එකතු වූහ. එම අලුත් ප්‍රේක්ෂක පිරිසෙන් කොටසක් කලාත්මක නාට්‍ය රසවින්දනයට ද හුරු වූවෝය.

නිහාල් සිල්වා නම් අසහාය නළුවා මියගිය පුවත මගේ කන වැකුණේ එම වසරේ (1990 පමණ) කටුකුරැන්දේ මෝටර් රථ ධාවන තරග නරඹා පැමිණි වේලේය. ඔහුට ජීවිතයේ මැදි වියට එළඹෙන්නට හෝ වාසනාව නොතිබිණි. දැනට වසර කිහිපයකට පෙර පුන්තිලාගේ දියණියගේ චරිතය රඟපෑ කාන්ති ෆොන්සේකා මියගිය පුවත ද සැලවිණි.

පුන්තිලා නාට්‍යයේ එදා අපට මත්ති චරිතය රඟපා වැඩ දමා පෙන්වූ මහේන්ද්‍ර පෙරේරා අද අපේ සිනමාවේ ඉන්නා, අති සියුම් චරිත මෙන්ම, ප්‍රහසනය ද සියුම්ව රඟපෑමේ දක්ෂතා පෙන්වන කෘතහස්ත නළුවෙකි. එදා ඇම්බසියේ ලේකම්ගේ චරිතය රඟපෑ ලින්ටන් සේමගේ ඉන්පසු රන් සලකුණ, වැනිසියේ වෙළෙන්දා, පංචායුද, ඔත්තුකාරයෝ ආදී නාට්‍යවල රඟපා සාර්ථක චරිත නිරූපණයක යෙදුණේය. මී හරකා චිත්‍රපටයේ ඔහු රඟපෑ චරිතයට දක්ෂතම නළුවාගේ සම්මානය හිමි විය. ලින්ටන් සේමගේ ඉන්පසු (මගේ වම් අත) චිත්‍රපටය නිර්මාණය කොට චිත්‍රපට අධ්‍යක්ෂණයේ ද දක්ෂතා පෙන්වූයේය.

වසන්ත නවරත්න බණ්ඩාරගේ රචනයත්, නිහාල් සිල්වාගේ රංගනයත් නාට්‍ය ලෝකයේ දළුලා වැඩුණේ ඒ ආකාරයෙනි.

 සමන් පුෂ්ප ලියනගේ

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00