“අපේ ජාතික භාෂාවට මුල්තැන ලැබිය යුතුමය. ඒ සමඟම යටත් පිරිසෙන් අප තව එක් භාෂාවක් හෝ ඉගෙන ගත යුතුය. එයින් ඉංග‍්‍රීසි බස ඉගෙන ගැනීමෙන් අපට බොහෝ ප‍්‍රයෝජන ලැබිය හැකිය.”
ඉහත සඳහන් වන්නේ මහාචාර්ය ගුණපාල මලලසේකරයන් කියූ කියමනකි. එතුමන් එය කියා නිහඬ වූයේ නැත. අප හට ඉංග‍්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට මහත් පිටුවහලක් වන සිංහල ශබ්දකෝෂය නිර්මාණය කර දායාද කළේය.
මහාචාර්ය ගුණපාල මලලසේකරයන් භාෂා කිහිපයක් දැනසිටි මහා උගතෙක් විය. එතුමන්ගේ උගත්කම සේම එතුමන් තම ජාතියට ආගමට දැක්වූ ගෞරවය ද සුළුකොට තැකිය නොහැක. සිංහල ජාතික ඇඳුමෙන් සැරසී ඕනෑම රටකට, ඕනෑම උත්සවයකට සහභාගි වූ ඔහුගේ පෞරුෂය පෙන්නුම් කළේ ඔහු හිත ඇතුළේ තිබූ මානවීය ගුණය සහ ආගමට ජාතියට ඇති ළෙන්ගතුකමයි. ලංකාවේ පමණක් නොව සියලුම බෞද්ධයන් එකාව එකාවන්ව එක්විය යුතුයැයි මතයේ සිටි එතුමන් බෞද්ධ මහා සම්මේලනයේ නිර්මාතෘ ද විය. එපමණක් නොව ලොව බෞද්ධ විශ්වකෝෂයේ නිර්මාතෘ ද ඔහු විය.
මහාචාර්යය මලලසේකරයන් බලයට, තනතුරුවලට කෑදරකමින් කටයුතු නොකළ උතුම් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් විය. ඔහුගේ පෞරුෂය දැනුම අවංකභාවය තුළින් යමක් ලබාගන්නා විශේෂ ප‍්‍රසිද්ධිය තකා එතුමන් කිසිවක් නොකළ බවට නිදසුනක් වන්නේ 1959 ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ඝාතනයෙන් හිස් වූ එම පක්‍ෂයේ නායකත්වය භාරගන්න යැයි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ආරාධනා කළ අවස්ථාවේ එම ආරාධනාව කාරැණිකව ප‍්‍රතික්ෂේප කිරීමෙනි.
මහා පුරුෂයකු ලෙස තම දැනුම ප‍්‍රඥාව කොතෙක් තිබුණ ද ලියන්නන් වාලේ ග‍්‍රන්ථකරණයට පිවිසුණේ නැති එතුමන් සිය ජීවිත කාලය තුළම ලියා ඇත්තේ ග‍්‍රන්ථ දහයකට අඩු සංඛ්‍යාවකි. එයින් ඉංග‍්‍රීසි සිංහල ශබ්දකෝෂය සහ බෞද්ධ විශ්වකෝෂය ප‍්‍රමුඛස්ථානයක් ගනී.
මහා උගතුන්, බුද්ධිමතුන් සිටිය යුත්තේ තම දේශය බැබළවීමට මිස දේශපාලන අතකොලුවක් වී සිටීමට නොවන බව ඔහු නිරන්තර සිතූ, කියූ කරුණකි. මහා මානව දයාවකින් පරිපූර්ණ වූ මලලසේකරයන් නිරන්තර පැවසූ දෙයක් වූයේ “අප අපගේ මතය, අප කළ නොකළ දේ විමසුමට මිස අන් අය කළ නොකළ දේ විමසුමට යොමු නොකළ යුතු බවයි.
ප‍්‍රජාතන්ත‍්‍රික ආණ්ඩුවකින් බලාපොරොත්තු විය යුත්තේ තම ඡන්ද දායකයන්ගේ ආර්ථිකය ගොඩනැගීම පමණක් නොව, අධ්‍යාත්මික ගුණ වගාව ඔවුන් තුළ ඇති කිරීම ද කළ යුතු බව නිරන්තරව පෙන්වා දුන් මහාචාර්ය මලලසේකරයන් තම ආගමට හෝ අන් ආගම්වලටත් ගරු කළ යුතු බව නිරන්තර තම දේශනාවලින් ද පෙන්වා දුන්නේය. නායකයන්ට හිමිවන ගෞරවය ස්තූති ප‍්‍රශංසාවලට ගිජුකමින් නායකත්වය භාර නොගෙන මහජනයාට සෙතක් සැලසීමේ අරමුණින් නායකත්වය භාරගන්නා ලෙස එතුමන් පවසා ඇත්තේ අදට ඉතාමත් ගැලපෙන කාරණයක් එතුමන්ගේ දුරදක්නා නුවණින් දුටු නිසායැයි හැඟේ.
තානාපතිවරයකු ලෙස කීර්තිමත් සහ සුවිශේෂී චරිතයකි මලලසේකරයෝ. 1956ට පෙර සෝවියට් දේශයත්, මහජන චීනයත් සමඟ කිසිඳු සබඳතාවක් ඇති කර නොගෙන සිටි ශ‍්‍රී ලංකාව බණ්ඩාරනායක අගමැතිතුමන්ගේ මැදිහත් වීමෙන් එම රටවල් දෙක අතරම මිත‍්‍රත්වයක් ඇතිකරගෙන එම රටවල් සඳහා තානාපති සබඳකම් ගොඩනගා ගැනීමේදී, සෝවියට් දේශයට ලංකා තානාපති ලෙස පත් කළ යුත්තේ ශ‍්‍රී ලාංකික මහා බුද්ධිමතකු බව තීරණය විය. ඒ අනුව බණ්ඩාරනායක, එම අවශ්‍යතාවය සඳහා ගැලපෙනම පුද්ගලයා මහාචාර්ය මලලසේකර බව තීරණය කළේය. ඒ අනුව කොමියුනිස්ට් රටක් වූ සෝවියට් දේශයේ (රුසියාවේ) මුල්ම තානාපතිවරයා වූයේ මහාචාර්ය මලලසේකරයන්ය.
රුසියාවේ ප‍්‍රථමවරට පැවැත්වූ නිල උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වූ එවකට සෝවියට් දේශයේ ජනාධිපති නිතිකා කෘශෙප්ට සැමදා අන් රටවල තානාපති උත්සවවලදී පිළිගන්වන වොඩ්කා ඇතුළු මත්පැන් නොගෙන්වා ඒ වෙනුවට පළතුරු යුෂ පිළිගැන්වූයේ මත්පැන්වල ආදිනව ගැන ද පවසමිනි. බණ්ඩාරනායක අගමැතිතුමාගේ මිතුරුකම අනුව තානාපතිවරයාගේ ගතිසොබාව පෙර සඳහන් කර තිබූ නිසා සෝවියට් ජනාධිපති පැවසුවේ,
“උතුමාෙණනි, ඔබේ ආගන්තුක සත්කාරය ඉතා ඉහළයි. නමුදු, ඊටත් ඉහළින් මා සලකන්නේ ඔබේ දහමට ඇති කැපවීම සහ ප‍්‍රතිපත්තිගරුක බව” යන්නයි. සිංහල ජාතිය කිසි විටකත් දීන, නීච නොවී අභිමානවත් විය යුතු බව නිරන්තර ප‍්‍රකාශ කළ එතුමන් එය කි‍්‍රයාවෙන් ඔප්පු කර පෙන්වූයේ එසේය. සිංහල, ඉංග‍්‍රීසි, පාලි, සංස්කෘත විද්වතුන් කළ මෙහෙයට අමතරව කලාවට ද එතුමන් කළ සේවය අපමණය. ලංකා කලා මණ්ඩලය පිහිටුවීමට ජනකවි, උඩරට නැටුම් කලාව නගා සිටුවීමට චිත‍්‍ර කලාව දියුණු කිරීමට ද ඔහු කටයුතු කළේය. මුල්ම සිංහල ජනකවි සංග‍්‍රහය රාජ්‍ය සභා මන්ත‍්‍රී ආතර් ද සිල්වා සමඟ එක්වී ප‍්‍රකාශයට පත් කළේය.
මහා කතුවරයකු, කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ සී.බී. ධනපාල මහාචාර්ය මලලසේකරයන් ගැන නිරන්තර පැවසූ දෙයක් ඇත. එනම් ‘‘මලලසේකර හපුතලේ කපොල්ල වැනිය. ඒ තරමට පුළුල්ය. විවෘතය. එතුළින් පෙනෙන දර්ශනය ඉතාම රමණීයය, ඉතා විශිෂ්ටය.”
මහාචාර්යය ගුණපාල මලලසේකරයන් බෞද්ධ දර්ශනය, අධ්‍යාපනය, ඉතිහාසය, විවිධ භාෂා ඥානයෙන් පරිපූර්ණ වූ ජාතික වීරවරයෙකි. එතුමන් නිරන්තර පැවසූ ‘‘අපගේ අධ්‍යාපන ක‍්‍රමය, ආර්ථික සංවර්ධනය හා ගැලපෙන පරිදි සිදුවිය යුතුය. සෑම සංස්කෘතියක් සඳහාම කැපී පෙනෙන පුද්ගලයන් බිහිවීම අත්‍යවශ්‍යය. ඔවුන් බිහිවිය යුත්තේ එක් ජාතියක්, එක් ආගමක් හෝ එක් පන්තියකින් නොව, ඔවුන් සමාන පහසුකම් ඇති සමාජයක් තුළ තරගකාරීත්වය තුළින් බිහිවිය යුතුය.’’
එතුමන්ගේ මෙම කියමන අද සමාජයට අතිශයින් ගැලපේ.
මහඳුරු ගුණපාල මලලසේකර වැනි වියතුන් උගතුන් අප රටට අවැසිම යුගයයි.
එවන් උගත් උතුමෙකුගේ 120 වැනි ජන්ම දින සැමරුම 2019 නොවැම්බර් 9 වැනි දින පෙරවරැ 9 ට කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන මූලස්ථානයේදී පැවැත්වීමට නියමිතය.
මලලසේකර පදනම
► දර්ශනා ශම්මි විජේතිලක