ONE UP all day breakfast & coffee කියන්නේ බම්බලපිටියේ පිහිටලා තියෙන බොහොම අපූරු අවන්හලක්. අපූරුයි කියලා මම කියන්නේ කෑම බීම හින්දා විතරක්ම නෙමෙයි. මෙතැන පරිසරය ඒ වගේම අවන්හල පවත්වාගෙන යන නවසීලන්ත ජාතික මිතුරන් දෙදෙනා නිසාත් මේ අවන්හල බොහොම සුවිශේෂී වෙනවා.
Caleb සහ Oash කියන මිතුරන් දෙදෙනා පවත්වාගෙන යන මේ අවන්හලේ බොහොම රසවත් යුරෝපීය පන්නයේ උදෑසන ආහාර රැසක් පිළිගැන්වෙනවා. මම මුලින්ම රස බැලුවේ Mr. Benny කියලා නම්කරලා තිබෙන ආහාරයකුයි. එය බිත්තර යොදාගෙන පිළියෙල කරලා තියෙන කෑමක්. ඊට සැමන්, කකුළුවන් හෝ අලිගැටපේර යන වර්ග තුනෙන් එකක් එක් කරගන්නත් පුළුවන්. මෙතැන විශේෂත්වයක් තමයි පාන්වල ඉඳන් සෝස් දක්වා සියල්ල ගෙදරදී සකස් කරපු ඒවා වීම.
මම ඊළඟට රස බලපු ආහාරයේ නම Isla Fisher. ඒකත් බිත්තර, සැමන් සහ චීස් වගේ දේවල් කිහිපයක් යොදාගෙන හදපු කෑමක්. දිව්‍ය ලෝකයේ රස පරාදයි කියන්න පුළුවන් විදිහේ ආහාරයක්.
Margot Robbie කියන්නේ තවත් ඒ වගේම රසවත් ආහාරයක්. ප්‍රංශ පාන් ටෝස්ට්වලට අයිසින් සීනි ඉහලා තියෙන මේ කෑමට සාරවත් පොල් කිරි යෙදවමුකුත් කෙසෙල් ක්‍රීම් වගේම නිල් කටරොළු මල් කිහිපයකුත් අඩංගුයි. නිල් කටරොළු මල් කෑමට ගන්න පුළුවන් කියන දේත් මේ කෑම දීසිය නිසා දැනගන්න ලැබුණා.
♦ ධනූ
ඡායාරූප | You’re My Favorite