2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා

යුද හමුදාවේ අලුත් යෝධයා

 2019 නොවැම්බර් 16 වන සෙනසුරාදා, ප.ව. 12:30 84

ශ්‍රී ලාංකික ගෘහනිර්මාණ ශිල්පයේ අභිමානය සටහන් කරමින් යුද හමුදා ශ්‍රමබලකාය මැදිහත්ව ඉදිකළ ලංකාවේ සුවිශාල කාර්යාල ගොඩනැගිල්ල හෙවත් නව ආරක්ෂක මූලස්ථානය දැන් රටට දායාද කොට තිබේ. ඉංජිනේරැ තාක්ෂණයත් ශ්‍රම දායකත්වයත් ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් විසින්ම ලබාදී අක්කර 77ක් පුරා විහිදි ගොඩනැගිලි සංකීර්ණයේ යුද ගුවන් හා නාවික යන ත්‍රිවිධ හමුදාවන්ට අයත් මූලස්ථාන පිහිටුවා ඇත. නවීන ආරක්ෂක හා තාක්ෂණික ක්‍රමවේදයක් සහිත ආරක්ෂක මූලස්ථානය පසුගිය 8 වැනිදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරනු ලැබීය.

රුපියල් බිලියන 53.3ක ආයෝජනයක් සිදුකිරීමට නියමිත ව්‍යාපෘතියේ දැනට ආසන්න වශයෙන් රුපියල් බිලියන 25.5ක් වැය කර නවීන අංග උපාංග සහිතව පළමු පියවර වශයෙන් ගොඩනැගිලි අංක 6 සහ 7 ඇතුළත් වන යුද හමුදා මූලස්ථානය ඉදිකර අවසන්ය. 4000කට අධික පිරිසක් එකවර සේවයේ නිරතවීමට කාර්යාල පහසුකම් ඇති ගොඩනැගිලි සංකීර්ණය නවතම ආරක්ෂක පද්ධතියක්, නවීන කාර්යාල කාමර, හෙලිකොප්ටර් ගොඩබෑමේ අංගන දෙකක්, නවාතැන් පහසුකම්, රථගාල්, උද්‍යාන නවතම භෝජනාගාර, ආපනශාලා, විදුලි ජනන යන්ත්‍ර, ජල ටැංකි, පුස්තකාල මෙන්ම වැසි ජලය ලීටර් 40,000ක් රැස් කිරීමට හැකි හා නවීන තාක්ෂණයෙන් පිරිපහදු කිරීමට පහසුකම් ඇතුළු යටිතල පහසුකම්වලින් සමන්විතය.

සුවිශාල බිමක ඉදිකළ ආරක්ෂක මූලස්ථානයේ ත්‍රිවිධ හමුදා මූලස්ථාන යාකරමින් ගුවන් පාලම් මගින් ඒකාබද්ධ කොට පවතී. එවැනි ගුවන් පාලම් 13ක් එම පද්ධතියට අයත්ය. ආරක්ෂක මූලස්ථානයේ පැවතිය යුතු ඉහළම ආරක්ෂාව වෙනුවෙන් සී.සී.ටී.වී. කැමරා නිරීක්ෂණය සඳහා එල්.සී.ඩී. තිර 16කින් සමන්විත නිරීක්ෂණ ඒකකයක් ද පිහිටුවා තිබේ. එමෙන්ම සංකීර්ණයේ විදුලි සෝපාන 19ක් සහ මෙගාවොට් 15ක අතිරේක විදුලි සැපයුම් පද්ධතියක් ද සහිතය.

අක්කර 77ක් පුරා විහිදී ආරක්ෂක මූලස්ථාන භූමිය ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවට හා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අධිකාරියට අයත්ව පැවති ඉඩමකි. යාබදව පැවති පෞද්ගලික ඉඩම් කිහිපයක් මුදල් ගෙවා පවරාගෙන තිබෙන අතර එම පරිශ්‍රවල ක්‍රීඩාපිටිය, ආගමික කටයුතු සඳහා ස්ථානයක් ඉදිකිරීමට නියමිතය. ඊට අමතරව ආරක්ෂක මූලස්ථානය අවට හා පිවිසුම් මාර්ග සංවර්ධනය කර ඇත.

වාණිජ අවශ්‍යතා හේතුවෙන් කොළඹ ගාලුමුවදොර අභියස පැවති යුද හමුදා මූලස්ථාන භූමිය මුදාහැරීම හේතුවෙන් එම මූලස්ථානයේ පැවති අධ්‍යක්ෂ මණ්ඩල 90%ක් පමණ අධික කුලී යටතේ පෞද්ලික ගොඩනැගිලිවල පවත්වාගෙන ගොස් තිබිණි. එබැවින් පළමු අදියරේදී යුද හමුදා මූලස්ථානය ඉදිකිරීමට ප්‍රමුඛත්වය දී තිබිණි.

ආරක්ෂාව සම්බන්ධයෙන් වූ සියලු ආයතන එකම ස්ථානයක ආරම්භ කිරීමට ලංකාව ආදර්ශයට ගෙන ඇත්තේ ඇමරිකාවේ පෙන්ටගන නිර්මාණයයි. 1941 වර්ගයේ ආරම්භ කෙරුණු පෙන්ටගනය ආදර්ශයට ගෙන සංවර්ධනය වෙමින් පවතින ලංකාවේ ආරක්ෂක මූලස්ථානය පිළිබඳව අවධානය පළමුව යොමුකොට තිබුණේ 1979 වසරේදීය. එවකට කොළඹ ප්‍රධාන භූමි සැලසුම මගින් කොළඹ නගරයේ පැවති රජයේ කාර්යාල ජයවර්ධනපුර ප්‍රදේශයට ගෙනයාමට තීරණය ගෙන තිබිණි. එමගින් වාණිජ අතින් වටිනා කොළඹ නගරයේ බිම් කොටස් මුදාහැර සංවර්ධනය සඳහා යොමු කිරීමට අපේක්ෂා කර ඇත. ඒ අනුව ප්‍රථමයෙන් මාර්ග පද්ධතිය නිමවා 1982 වසරේ පාර්ලිමේන්තුව බත්තරමුල්ලේ ස්ථාපිත කෙරිණ. අනතුරුව තිස් වසරක පුරා පැවති යුද සමය එකී සංවර්ධනයට බාධා ඇති කළේය. එහෙත් යුද්ධය නිමාවත් සමඟ ආරක්ෂක අමාත්‍යාංශ කාර්යාල, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානිගේ කාර්යාලය, යුද ගුවන් හා නාවික හමුදා මූලස්ථාන බත්තරමුල්ල අකුරෙගොඩ වෙත මාරු කිරීමට සැලසුම් කෙරිණ. අනතුරුව 2011 මාර්තු 11 වැනිදා ඉංජිනේරු සේවා රෙජිමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් අඹන්පොළ සහ අකුරෙගොඩ ආරක්ෂක මූලස්ථාන පරිශ්‍රයේ ඉදිකිරීම් කළමනාකරණ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් වීරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයට මුල්ගල් තබනු ලැබීය.

ව්‍යාපෘතිය සඳහා ත්‍රිවිධ හමුදාව විසින් සැපයූ ඉංජිනේරු තාක්ෂණික සහ ශ්‍රම දායකත්වය නිසා ඇස්තමේන්තු ගත වියදමෙන් 10%ක් ඉතිරි කරගැනීමට හැකියාව ලැබී ඇත. සියලු වැඩ අවසන් වූ ගොඩනැගිල්ලේ හමුදා නිලධාරීන් හා සෙසු පාලකයන් සඳහා වන භෝජනාගාරවල වරකට සාමාජිකයන් 10,250කට රාජකාරි සඳහා භාවිත කළ හැකිය. ගොඩනැගිල්ල විවෘත කිරීම සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නව මුද්දරයක් හා පළමු දින කවරයක් එළිදැක්වනු ලැබීය. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර ආරක්ෂක මූලස්ථානයේ පළමු අදියර ආරක්ෂක රාජකාරින් සඳහා විවෘතව පවතී.

 සමන්ත ප්‍රදීප් විල්තෙර
     සේයාරූ - යුද හමුදා මාධ්‍ය ඒකකය 

 2025 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 08 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 01 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 15 වන සෙනසුරාදා, ප.ව. 02:00