අද අප ඔබට කියන්නට සැරසෙන්නේ නපුරු සිහින අල්ලා රඳවා සුව නින්දකට පාර කියන ඩ්‍රීම් කැචර් පිළිබඳ කතාවයි. ඉතා වේගයෙන් ලොවපුරා පැතිර ගිය මේ සිහින පෙරණය අද ලක්වාසීන්ගේ ද ආකර්ශනය දිනාගෙන තිබේ. අප රටපුරා නිවෙස්වල මෙන්ම රථ වාහනවල ඩ්‍රීම් කැචර් නම් මේ සැරසිල්ල එල්ලා ඇත. මෙම නිර්මාණය හුදෙක්ම අරුත් විරහිත සැරසිල්ලක් ලෙස අපි මුලදී සිතුවෙමු. එහෙත් රටපුරා වේගයෙන් පැතිර යන ඩ්‍රීම් කැචර් රැල්ල පිළිබඳ වූ කුහුල නිසාම අපි මේ පිළිබඳ සොයා ගියෙමු. ඒ අනුව අප කළ ගවේෂණයේදී හමුවූ තොරතුරු සිත් අලවන සුළු විය. එනිසාම මෙය අපි ඔබ වෙනුවෙන් ලියා තබමු. මීට අපූරු අතීත කතාවක් මෙන්ම විශ්වාසදාමයක් තිබේ. නිරන්තර අතීතයේ රසබර මතක අතර සැරිසරන අපට මේ කතාව චිත්තාකර්ෂණීය වූයේ ඒ නිසාම විය යුතුය.
නූතන ලෝක බිත්ති සැරසිල්ලක් ලෙස බහුලව දකින්න ලැබෙන ඩ්‍රීම් කැචර් වාසනාවේ සංකේතයක් යැයි කීමේ වරදක් නැත. කුඩා රවුම් වළල්ලක් වටා ගොතන ලද නූල් සහ එල්ලන ලද විවිධ පක්ෂි පිහාටු, පබළුවලින් සමන්විත ඩ්‍රීම් කැචර් එකකින් සිද්ධ වෙන්නෙ නපුරු හීන අල්ලා ගැනීම බව කියැවෙයි. එසේ නම් මේ සිහින පෙරණයකි. නමේ හැටිය ඊට දිය හැකි හොඳම අරැත එයයි. එහෙත් සිහින අල්ලා රඳවා ගැනීමට යම් උපකරණක් සමත් වේ යැයි කීම මිත්‍යාවක් බව ඔබට හැඟෙන ඇත. එහෙත් එය මිත්‍යාවක් වෙතත් නොවෙතත් පුරා පුරාවෘත්තයක් බව අපි ඔබට කියමු. සුව නින්දක් පතා නපුරු සිහින වළකාලන්නට නිදි යහනට සමීපව ඩ්‍රීම් කැචර් එල්ලා නිදන්නෝ අදද ලොව වෙසෙන බව අසා ඔබ පුදුම විය යුතු නැත. එහෙත් එම අරුතෙන් සිහින පෙරණ භාවිත කරන්නන්ට වඩා අද ලොවපුරා මේවා භාවිත කරන්නේ හුදු අලංකරණය පිණිසයි.
මෙම සිහින පෙරණ ඉතිහාස කතාව සොයා මෙදා අප පිය මනින්නේ ලෝකයේ අනෙක් කෙළවරටයි. මේ ඇමෙරිකාවේ ස්වදේශික රතු ඉන්දියානුවන් වනගතව ජීවත් වූ යුගයයි. සොබාදහමේ සමීපතමයන් වූ මේ ආදිතමයන් පූජනීය සිහින පෙරණ සැකසුවේ එක්තරා සුවිශේෂී අරමුණක් පෙරදැරිවය. එම නිසාම නිමැයුමේ ස්වභාවිකත්වය ප්‍රධාන විය. ස්වාභාවික කෙඳි වර්ග ගෙන ලී වළල්ලක් මත දැලක් සාදා කුරුලු පිහාටු සහ පබළු වැනි අර්ථවත් පූජනීය භාණ්ඩ අමුණා වළල්ලේ පතුලේ සිට පහළට එල්ලා ඔවුන් මෙය සකස්කොට තිබේ. වළලු සාමාන්‍යයෙන් සකසා ඇත්තේ නැමුණු රතු විලෝ ගසේ කොටස් භාවිතයට ගනිමිනි. හම්වලින් රාමුව ඔතා ගැනීම ඇතැම්විට සිදුවී තිබේ. කෙසේ නමුත් මේ නිමැවුමේ සමඟ ඇති කතාන්දර ඇසුරේ මෙහි සැකැස්ම හඳුනා ගැනීම වටී.
සිහින පෙරණයේ ඉතිහාසය හා සම්භවය පිළිබඳ පුරාණ රතු ඉන්දියානු ජනප්‍රවා ද රැසකි. ස්වදේශික ඇමරිකානු ගෝත්‍ර කිහිපයක් මෙහි මූලාරම්භකයන් ලෙස සැලකේ. ඒ අතරින් ඔජිබ්වේ සහ ලකෝටා ගෝත්‍රිකයන් ප්‍රධානය. මෙම ගෝත්‍රවල ආරම්භයේ විසූ බලසම්පන්න කන්තාවක් පිළිබඳ පුරාවෘත්තක් ඇත. සිහින පෙරණ බිහිවීම හා කතා බැඳී ඇත්තේ ඈ වටාය. මේ යුගයේ ගෝත්‍රයේ පිරිමි නිරන්තර දඩයමේ ගියෙන් කූඩාරම්වල රැඳී සිටීම ඉතා විරල විය. දඩයම් සොයා ඔවුන් වනවැදුණු විට ගැහැනුන් සහ දරුවෝ නිරන්තර අනාරක්ෂිත වන තත්ත්වයට පත්වූහ. මූලාරම්භයේදී දරුවන් කතුන් රකින ගෝත්‍රයේ අධ්‍යාත්මික ආරක්ෂකයා වූයේ අප පෙර කී කාන්තාවයි. ඇය “මකුළු කාන්තාව” නමින් පුරාවෘත්තවල හඳුන්වයි. මහා බලසම්පන්න මාතෘත්වයේ පිළිබිඹුවක් මේ කතා වටා ජනප්‍රවාද රැසක් නිර්මාණය වී තිබේ.
මකුළු කාන්තාව නමින් ඇය හැඳින්වීමට විශේෂ හේතුවක් විය. ලාංකික අපට මෙන්ම ලෝකයේ බොහෝ රටවල මකුළුවා එතරම් ප්‍රිය උපදවන සතකු නොවේ. එහෙත් මේ යුගයේ ස්වදේශීය ඇමරිකානුන්ගේ රැකවරණයේ සහ සැනසිල්ලේ සංකේතය මකුළුවා විය. ඒ නිසාම මකුළුවා පූජනීය සත්වයෙක් විය. මේ බලසම්පන්න කතා පුරාවෘත්තවල මකුළු කාන්තාව මැය යැයි හඳුන්වා ඇත්තේද අය ගෝත්‍රයේ රැකවරණය සහ සැනසීම වූ නිසාවෙනි. ගෝත්‍රයේ ළමා ළපටින් මෙන්ම කන්තාවන්ද ආරක්ෂා කරමින් සිටි මේ තැනැත්තියට අාධ්‍යාත්මික බලයක් වූ බව ගෝත්‍රික විශ්වාසය විය.
එහෙත් ඉතිහාසය කතාවට අනුව ගෝත්‍රය එන්න එන්නට පුළුල් වූයෙන් මකුළු කාන්තාවට සියල්ලන්ම ආරක්ෂා කිරීම අපහසු වී ඇත. ඔජිබ්වේ ගෝත්‍රික ජනයාගේ වර්ධනය සහ ව්‍යාප්තිය නිසාම පළමු ඩ්‍රීම් කැචරය මකුළු කාන්තාව විසින්ම නිර්මාණය කර ඇත. එය ගෝත්‍රයේ අනෙක් කාන්තාවන්ට ලබාදීමට ඕ කටයුතු කළාය. ඒ සමඟම එය බලා ඒ අයුරින් සිහින පෙරණ සැකසීමට ගෝත්‍රික කාන්තාවෝ හුරු වූහ. ආරම්භයේ දී “පූජනීය වළලු” ලෙසද මේවා හැඳින්විණි. රාත්‍රියේ නින්දෙන් බියවන දරුවන් නරක බියකරු සිහිනවලින් මුදාලන්නට මේවා සමත්වෙන බව ඔවුහු විශ්වාස කළහ. ඊට අපූරු විශ්වාසයක් පදනම් විය. ස්වදේශික ඇමරිකානුවන් විශ්වාසයන්ට අනුව රාත්‍රී සුළඟ හොඳ සහ නරක සිහිනවලින් පිරී ඇත. උදෑසන හිරු එළියට විවරවන ස්ථානයක නිදන සයනයට ඉහළින් පූජනීය වළලු එල්ලූ විට නපුරු සිහිනවලට නිදා සිටින කිසිවෙක් ළඟට ළඟා විය නොහැක. නපුරු සිහින, සිහින පෙරණයේ පැටලෙයි. උදෑසන හිරු එළිය සමඟ එසේ රැඳුණු සිහින පිළිස්සී යයි. රාත්‍රිය පුරා ඔවුන් වෙත පැමිණෙන්නේ සුභ සිහින පමණි.
ආරම්භයේදී මෙහි සියලු කොටස්වලට අරුත් තිබිණි. ඔවුන් විලෝ වල්ලේ සිහින් කෙඳි වර්ග ගෙන දැලක් වියා තැබුවේ නපුරු සිහින අල්ලා ගැනීමටයි. එසේම විවිධ ඇටවර්ග ඒ දැලේ තැන තැන තැබීමට ඔවුන් කටයුතු කළේ නපුරු සිහින කෑමට ගන්නා මකුළුවන් නිරූපණය කිරීමටයි. එම ඇටවර්ග දැලේ රුඳුණු නපුරු සිහින බවට ද මතයක් තිබේ. කුරුළු පිහාටු ගෙන හැර පෑවේ සුව නින්දකට අවශ්‍ය සැනසිල්ලයි. සිහින කැචරයේ හැඩය රවුමක් වීම හරහා ජීවන කවය නිරූපණය වන බව අපට දැන ගන්නට ලැබුණි. ඒ අනුව බලන විට හින්දු මිත්‍යාවල් ලෙස බැහැර කළ නොහැකි ඓතිහාසික වටිනාකමක් මේ සිහින කැචරවලට තිබේ. ලෝකයේ සෑම ශිෂ්ඨාචාරයකම මෙවන් අපූරු නිමැවුම් තිබේ. ඒවා විවිධ විශ්වාසයන් මතින් බිහිවී ඇත. එහෙත් පුදුමය නම් මෙවන් විශ්වාස බැහැර කරන නූතන ලෝකයද මේවා වාණිජත්වය සහ අලංකාර යන තේමාවන් ඔස්සේ ඉතා තදින් වැළඳ ගැනීමයි. අද ලංකාවේ ඇති ඩ්‍රීම් කැචර් රැල්ල ඊට කදිම උදාහරණයකි.
ස්වදේශික ඇමෙරිකානු සංස්කෘතිය පිළිබඳ විශේෂ උනන්දුවක් 1960 සහ 1970 දශකවල ඇමෙරිකාව තුළ ඇතිවීමේ ප්‍රතිඵලයක් ලෙසට ඩ්‍රීම් කැචර් නූතන ලෝකයට විවර වී තිබේ. පසුකාලීනව මතුවූ ස්වදේශික ඇමෙරිකානු ව්‍යාපාරවල පළමු ජාතීන්ගේ සංස්කෘතීන් සමඟ හඳුනා ගැනීමේ පොදු සංකේතය ලෙස ද මෙය භාවිතා වී තිබේ. ක්‍රමයෙන් 80 සහ 90 දශකවල මෙය ඇමරිකාවේ ආකර්ෂණීය වෙළඳ භාණ්ඩයක් බවට පත්ව තිබේ. පසුව ගෝලීයකරණයේ ප්‍රතිඵලයක් ලෙස සිහින කැචරය යුරෝපයටත් පසුව ආසියාවටත් සංක්‍රමණය විය. මෙහි අරුත හෝ ඉතිහාසය පිළිබඳ වගක් අද කිසිවෙකුට නොමැත. හුදු අලංකරණය පිණිස වන සැරසිල්ලක් ලෙස ලොව පුරා මෙය භාවිත වේ. වාසනාව පිළිබඳ යාන්තමට වන විශ්වාසය නම් තවමත් මැකී ගොස් නැත.
අද වනවිට ඔන්ලයින් මිලදී ගැනීම අතර ප්‍රමුඛ සැරසිල්ලක් බවට ඩ්‍රීම් කැචර් පත්ව තිබේ. සුපිරි වෙළඳ සල්වල්වල මේවා දක්නට ලැබේ. එදා මෙන් අද මීට ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත නොවේ. එහෙත් මුළු මහත් ලෝකයම ඩ්‍රීම් කැචර් උමතුවක සිටින බව පෙනේ. විශ්වාස මෙන්ම ඉතිහාසය ද මානවයාගේ පැවැත්මේ ජීවනාලිය බඳු යැයි අපට හැඟෙයි.
► චමිඳු නිසල්